විදේශ ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන කුලුනකි. 2018 වසරේදී ඔවුන් විසින් ශ්‍රී ලංකාවට එවන ලද විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන හතකට වැඩි ය. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 8%ක් පමණ වේ.

ශ්‍රී ලංකාවේ සෑම කුටුම්බ 14කින්ම එකකට විදේශ ශ්‍රමිකයකු විසින් එවනු ලබන මුදල් ලැබේ. එසේ එවනු ලබන සාමාන්‍ය මුදල් ප්‍රමාණය වසරකට රු. 250,000ක් පමණ වේ.

විදේශ ශ්‍රමිකයන් විසින් එවනු ලබන මුදල් රජයේ හා ආණ්ඩුවේ පැවැත්මට මහෝපකාරී වේ. ඒ නිසා ම රජය විදේශ ශ්‍රමිකයන් රට විරුවන් ලෙස මුරුංගා අත්තේ තබන යුගයක් තිබිණි.

එහෙත්, කොවිඩ්-19 වසංගත සමග තත්වය වෙනස් වී තිබේ. කුවේට් සිට පසුගිය සතියේ ශ්‍රී ලංකාවට ආපසු එවන ලද ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන් පිරිස රජය දැන් හඳුන්වන්නේ බෝම්බයක් ලෙස ය. හේතුව, ඔවුන් විශාල පිරිසක් කොරෝනා වයිරසය ආසාදිත අය වීමයි. කුවේට් සිට පැමිණි එක් කාන්තාවක් නිරෝධායන මධ්‍යස්ථානයකදී ම මිය ගියාය.

මෙම රෝගීන් ශ්‍රී ලාංකිකයන් පිරිසක් වුවත්, ලංකාවේ රජය දැන් ඔවුන් සලකන්නේ තමන්ගේ කොවිඩ්-19 මර්දන සංඛ්‍යාලේඛන අවුල් කිරීමට කුවේටය විසින් එවන ලද ඔවුන්ගේ රෝගීන් පිරිසක් ලෙසයි. ඔවුන් තෝරා එවනු ලැබුවේ කුවේටය විසින් ඔවුන්ගේ ගුවන් යානයකින් බව රජය පුන පුනා කියන්නේ ඔවුන් ගෙන්වා ගත්තේ තමන් නොවන බව අවධාරණය කිරීමටයි.

සංඛ්‍යාලේඛන කිළිටි වීම රජයේ නම්බුව පිළිබඳ ගැටලුවකි. මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස විසින් සිදු කරන ලද වෙනත් වරදක් නැත. ඔවුන් මේ රටේ පුරවැසියන් ය. ඔවුන් විදේශ රැකියාවලට ගියේ ජීවත් වීමට ය. ඔවුන් විසින් එවන ලද මුදල් ලංකාවේ රජය නඩත්තු කිරීමට ද මහෝපකාරී විය. ඔවුන් ආපසු පැමිණ තිබේ. ආපසු පැමිණි අය අතර ලෙඩුන් සිටී. ලෙඩුන් වුණත් ඒ අපේ මිනිසුන් ය. කතාව එච්චර ය.

විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් 40,000කට වැඩි පිරිසක් මේ වන විට ආපසු සියරට පැමිණීම සඳහා ලියාපදිංචි වී සිටිති. ඒ අතරින් බහුතරය මැද පෙරදිග රටවල සිටින සංක්‍රමණික සේවකයෝ ය.

නීත්‍යානුකූලව එම රටවල රැඳී සිටින සේවකයන් සේ ම, අවිධිමත් ක්‍රමවලින් නීතියෙන් රිංගා නිදහස් පදනමින් එම රටවල වැඩ කරමින් සිටි සේවකයන් ද, වීසා නොමැතිව රැඳී සිටි අය ද මෙම පිරිස අතර වේ.

මෙම සෑම ආකාරයක ම සේවකයන් විශාල පිරිසකට මේ වන විට රැකියා අහිමි වී තිබේ. ඇතැමෙකුගේ වීසා කාලයන් ද ඉක්ම ගොසිනි. ඔවුන්ට එම රටවලදී ආහාර ලබාගැනීම පවා දුෂ්කර වී තිබේ. රාමසාන් සමයේ නිකම් ලැබෙන එක ආහාර වේලකින් පමණක් දිවි ගැටගසා ගන්නා පිරිස් ද මේ අතර සිටිති.

මෙම කම්කරුවන් ඒ රටවල ලාභ ශ්‍රම කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය පිරිස් විය. ඔවුන් බහුතරය රැඳී සිටින්නේ පහසුකම් සහිත ස්ථානවල නොවේ. බොහෝ නවාතැන් තදබද ය. එසේම, ශ්‍රමිකයන් විශාල පිරිස් නවාතැන් ගන්නා කඳවුරු ද තිබේ. මේවා තුළ සමාජ දුරස්ථභාවය තබාගැනීම ඉතා දුෂ්කර ය. එමෙන් ම, වැසිකිලි වැනි මූලික සනීපාරක්ෂක පහසුකම් පවා අවම ය. මෙවැනි පිරිස් අතර කොරෝනා වයිරසය පහසුවෙන් පැතිරී යයි. මැද පෙරදිග රටවල කොවිඩ්-19 රෝගීන් අතරින් සැලකිය යුතු සංඛ්‍යාවක් මෙවැනි සංක්‍රමණික ශ්‍රමිකයෝ ය.

වැඩ අරගෙන ලෙඩ වූ පසු ඔවුන් මව්රටවලට තල්ලු කර දැමීම ආචාර ධාර්මිකව මෙන් ම, නීතියට අනුව ද වැරදි සහගත ය. (නීති විරෝධීව රැඳී සිටි බව කියන කම්කරුවන්ට ද එය අදාළ ය.) එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් රෝගී පිරිස් සුව කිරීමෙන් තොරව ආපසු සියරට නොයැවීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. එහෙත්, රැකියා විරහිත සංක්‍රමණිකයන් දිගටම එරට තබාගැනීමට ඔවුන් පවා කැමැත්තක් දක්වන්නේ නැත. එම ශ්‍රමිකයන්ට ද එසේ සිටීමේ උවමනාවක් හෝ හැකියාවක් හෝ නැත. ඔවුන්ට ද අවශ්‍ය හැකි ඉක්මණින් ආපසු සියරට පැමිණීමට ය.

මෙම ගැටලුව ශ්‍රී ලංකාව පමණක් නොව, මැද පෙරදිගට ශ්‍රමිකයන් සැපයීමෙන් ආදායම් උපයන ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, පිලිපීනය වැනි බොහෝ රටවල් මුහුණ දෙන ප්‍රශ්නයකි. එහෙත්, මේ මිනිසුන් ආපසු සියරට ගෙන්වා නොගෙන සිටීමට කිසිදු රජයකට බැරි ය. ඉන්දියාව, පකිස්තානය, පිලිපීන වැනි රටවල් මේ වන විටත්, තම සේවකයන් සියරට රැගෙන යාම ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මැද පෙරදිග රැකියා අහිමි වී ආපසු පැමිණෙන සංක්‍රමණික සේවකයන්ගේ කතා වූහාන් සිට රැගෙන ආ සිසුන්ගේ කතාව හෝ ඉතාලි නැවේ සිට ගොඩබාගත් ශ්‍රී ලාංකික සේවකයාගේ කතාව මෙන් සුන්දර නැත. ඔවුන් ලස්සන ඉලක්කම් කැත කරනු ඇත. එහෙත්, ඔවුන් වනාහි අපේ අවලස්සන දුප්පත්කම දුරලීම සඳහා ලස්සන ඉලක්කම්වලින් දායක වූ අපේ ම මිනිසුන් බව අප අමතක කළ යුතු නැත.

ඒ මිනිසුන් ද එකක් තේරුම් ගත යුතු ය. ලංකාවේ පාලකයන්ට ද ඔවුන් මැද පෙරදිග පාලකයන්ට මෙන් ම මිනිස් කසල ය. රටවිරු වර්ණනාව මුළාවකි.

3 thoughts on “ලස්සන කොරෝනා ඉලක්කම් කැත කරන බෝම්බ

  1. බළධාරීන් මුග්ධ අයුරින් මාර්තු 19දා සිට ශ්‍රී ලාංකිකයින් හට පවා රටට ඇතුළුවීම වැළැක්වූයේ නැතිනම් මොවුන් සෑම දෙනාම පාහේ රටට එන්නේ නිරෝගී පුද්ගළයින් ළෙසය.

  2. Yathaarthya musuwoo boru warnanaawa asaa thutuwanno bohomayak ema warnanaawata lakwanno nowa paribaahirayan viema uthpraasayaki .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.