public service

අජිත් පැරකුම් ජයසිංහ

ඊයෙ මං මහජන බැංකුවේ මතුගම ශාඛාවට ගියා මුද්දර ගාස්තුවක් බඳින්න. එය දේපළක් සම්බන්ධ ලක්ෂ කීපයක මුදලක්. රජයට ලැබෙන ශුද්ධ ආදායමක්. දේපළක් මිළදී ගන්නා විට ඔප්පුව වෙනුවෙන් 4%ක මුද්දර ගාස්තුවක් පළාත් සභාවට ගෙවිය යුතුයි.

ඉතින් මේක ගෙවන්නට පිරවිය යුතු අනුපිටපත් තුනක් සහිත පෝර්මය ගන්නට එක පෝලිමක ගියා. ඉන්පසු එය ආපසු භාරදිය යුත්තේ කොතැනටදැයි ඇසූ විට එහි විමසීම් කවුන්ටරයෙන් එම පෝලිමම පෙන්නුවා. එම පෝලිම දිගේ ගිහින් කවුන්ටරයට එය දුන්නාම කියපි, මේ කවුන්ටරයට නෙමෙයි වෙනත් කවුන්ටරයකට ඒක දෙන්නය කියලා. ඒ කවුන්ටරේ ගිහින් පෝර්මය දීලා මුදල් ගෙව්වා. ඉන්පසු, එහි සිටි තරුණිය ලදුපතේ එක් පිටපතක් තියාගෙන අනෙක් පිටපත් ටික මට දුන්නා. එහි බැංකු නිලධාරීන්ගේ අත්සන් දෙකක් තිබිය යුතුයි. මං ඒ ගැන ඇහුවා.

“සර්ට දෙන්න,” කවුන්ටරේ සිටි ගෑනු ළමයා කිව්වා. සර් ඉන්නෙ ඇයගෙ අල්ලපු මේසෙ. එයා හමුවෙන්න මං තව පෝලිමක යන්න ඕනැ.

“ඔතනින් දෙන්න,” මං කිව්වා. ඒ පාර දුන්නා. එම සේවිකාව ඒ වැඩේට මාව නැවත පෝලිමක යවන්නට ඕනැ නැහැ. ඒක ඇය කර දෙන්නට ඕනැ. ඒක ඇගේ වගකීම. මං ඒක මතක් කරන්නට ඕනැ නැහැ.

සර් බලලා අත්සනක් ගහලා, සීල් ගහලා ආපහු මට දුන්නා. මං නැවතත් කවුන්ටරේට ගිහින් මේ පිටපත් තුනම මටද කියලා ඇහුවාම ඔන්න එකක් ආපහු ගත්තා. අත්සන් දෙකක් තියෙන්නට ඕනැ පෝර්මයේ තියෙන්නෙ එක අත්සනයි. අර ගෑනු ළමයා අත්සන් කරලා නැහැ. සර් කියන පුද්ගලයා හෝ මේ පුංචි ප්‍රශ්නයට විසඳුමක් මට කිව්වෙ නැහැ. නීතීඥවරයා හමුවෙලා අහන්නට ඕනැ එහෙම හරිද කියලා.

අමාරුවෙන් උපයපු ධනයෙන්, ජීවිතය පහසු කරගන්නට දේපලක් මිලදීගැනීම වෙනුවෙන් මේ රජයට ගෙඩි පිටින් සල්ලි මිටියක් දුන්න බදුගෙවන්නකුගේ අද්දැකීම තමයි ඒ. රජයේ කාර්යාලවලට යම් කාර්යයක් කරගන්නට ගියාම අපි නිරතුරුවම මෙවැනි ගැටලුවලට මුහුණදෙනවා. එහෙම නැති තැනුත් තියෙනවා. මං මේක ලිව්වෙ අපේ ගැටලුව තියෙන්නෙ කොහෙද කියලා කියන්න.

මහජන බැංකුව රජයට අයිති බැංකුවක්. පෞද්ගලික බැංකුවලින් මහජන බැංකුවෙන් තරම් සේවයක් පොඩි මිනිසුන්ට වෙන්නෙ නැහැ. හැබැයි, පෞද්ගලික බැංකුවල නිලධාරීන් ළඟ තිබෙනවා, ගනුදෙනුකරුවන්ට සැලකීම සම්බන්ධ මෘදු කුසලතා. මහජන බැංකුවේ නිලධාරීන් ළඟ නැත්තෙ ඒවායි. පෞද්ගලික බැංකුවලත් සේවාවන් දුර්වලයි. හැබැයි උන් ප්‍රියමනාප ලෙස හැසිරෙන්නට, කතාකරන්නට දන්නවා. අඩුගානෙ වැඩක් නොකර ඉන්න එක වුණත් සන්නිවේදනය කරන හැටි දන්නවා. මේ ලිපියත් කියවන්න: සම්පත් බැංකුව එක්ක අවුරුදු විස්සක්>>

ගනුදෙනුකරුවකු සමග හිනාවෙලා කතාකරන්නට, ලබාදෙන සේවය අඩුපාඩු නොතියා කරන්නට, කාරුණික වන්නට අමතර කිසිදු මුදලක්, වෙහෙසක් වැයවෙන්නෙ නැහැ. ඒකට අවශ්‍ය ආකල්ප විතරයි. රජයේ සේවකයන් අතරින් බොහෝදෙනෙකුට නැත්තෙ ඒක.

බැංකු සේවය කියන්නෙ අනෙකුත් රාජ්‍ය සේවාවන්ට සාපේක්ෂව වැටුප්, වරප්‍රසාද වැඩි, ඉල්ලුමක් තිබෙන රැකියා විශේෂයක්. ඒවායේ සේවයට බඳවාගන්නා තරුණ තරුණියන් පවා මෙවැනි මූසලයින් බවට පත්වන්නේ ඇයි?

හේතු ගණනාවක් තිබෙනවා. නායකත්වයක් නැහැ. මගපෙන්වීමක් නැහැ. ඇගයීමක් නැහැ. සමස්තයක් ලෙසම රජයේ සේවය තුළ පාරිභෝගිකයා වන මහජනයාට සේවා සැපයීම පිළිබඳ යහපත් ආකල්ප නැහැ. පුළුවන් නම්, ආපු වැඩේ කරගෙන පෙන්නපන් කියන එක තමයි ආදර්ශ පාඨය වෙලා තියෙන්නෙ. රජයට බදු ගෙවනකොට වුණත් එහෙමයි.

මේව වෙනස් කරන්නට අපි ආණ්ඩු පෙරළන්නට ඕනැද? නැහැ. ආණ්ඩු පෙරළුවත් මේවා වෙනස් වෙන්නෙ නැහැ. මෙතන තිබෙන්නේ ශ්‍රමය පිළිබඳ, රැකියා පිළිබඳ, රාජ්‍ය සේවය පිළිබඳ ආකල්පමය ගැටලුවක්. කෙනෙකුට කියන්නට පුළුවන්, ඒක අධ්‍යාපන ක්‍රමයේ ගැටලුවක්ය කියලාත්.

අධ්‍යාපනය කියන්නේ දෙන දේ විතරක් ගන්න එකට නෙමෙයි. ගවේෂණය කර අවබෝධ කරගැනීම අධ්‍යාපනයේ ප්‍රධාන කොටසක්. වෘත්තීය අධ්‍යාපනය වුණත් එහෙමයි. අපට ලැබෙන වෘත්තීය පුහුණුවට අනුව විතරක් වැඩ කළොත්, අප කරන රැකියාවෙදි අපට හොඳ වෘත්තිකයෙකු වෙන්නට ලැබෙන්නෙ නැහැ. ලොක්කන් ඉදිරියේදී කරන රංගනය හෝ විභාග සමත්වීම මගින් අපට රැකියාවේ ඉහළ යන්නට පුළුවන් වේවි. එහෙත්, මූලික ගැටලු ඉතිරි වෙන තාක්කල් අපට හොඳ වෘත්තිකයන් වෙන්නට බැහැ. රජයේ සේවයට වෙලා තිබෙන අලකලංචියේ මුල තිබෙන්නෙ ඔතන. එහි පහළ සිට ඉහළ දක්වාම ඉන්නෙ මූලික මෘදු කුසලතා නැති අය.

දැන් ඉතින් මේ ගැටලුව විසඳාගන්නට අප ඒකාධිපතියෙකු පවා පත්කරගත්තානේ. ප්‍රශ්න විසඳුනාද? නැහැ. ඇයි ඒ? ප්‍රශ්න වැඩිහරියක් තියෙන්නෙ ආණ්ඩුවේ, ජනාධිපතිගේ, ඇමති මණ්ඩලයේ, පාර්ලිමේන්තුවේ නෙමෙයි. අප ළඟමයි.

මේ ගැටලු අවබෝධ කරගත් රජයේ සේවකයන් සිටින කාර්යාලවලින් අපට මීට වඩා හොඳ අත්දැකීම් ලැබෙනවා. රජයේ කාර්යාලවලින් අප ලබන අත්දැකීමේ හොඳ, නරක තීරණය කරන්නට මේ පුද්ගල ගුණ, අගුණ හේතු වෙලා තිබෙනවා. ඒත්, වෙන්න ඕනැ ඒක නෙමෙයි. සමස්ත පද්ධතියම ඵලදායී විදියට වෙනස් වෙන්න ඕනැ. කාර්යක්ෂම වෙන්න ඕනැ. ගුණාත්මක වෙන්න ඕනැ. රාජ්‍ය ආයතනවල ප්‍රොටොකෝල මගින් අකාර්යක්ෂමතාවට අවස්ථාව වළක්වන්නට ඕනැ.

රජය සම්බන්ධයෙන් විශාල වගකීමක් රාජ්‍ය නිලධාරීන්ට තිබෙනවා. හිතන්නට ඕනැ පුංචි දෙයක් විතරයි. තමන්ට වැටුප් ගෙවන මහජනතාව වෙනුවෙන් ඔබ කරන්නේ කුමක්ද?

2 thoughts on “රජයට බදු ගෙවන්නට යන අයට වෙන වැඩ ඇසුරෙන් රාජ්‍ය අංශය ගැන

  1. රාජ්‍ය සේවයේ පරිහානියට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ දේශපාලඥයන් මගින් සිදුකෙරෙන පත්වීම්ය.එවැනි පත්වීම් ලද බොහෝදෙනා තම සමාජ වගකීම් පිළිබඳ තැකීමක් නොකරයි.රැකියාව දේශපාලඥයා හා ආධාරකරුවා අතර සිදුවන ගනුදෙනුවක ස්වභාවයකට පත්ව තිබේ.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.