Colombo beggars

අජිත් පැරකුම් ජයසිංහ

ආපදා ධනවාදය යන යෙදුම ප්‍රචලිත වුණේ ධනේශ්වර ගෝලීයකරණයට එරෙහි ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියක වූ නයෝමි ක්ලයින්ගේ THE SHOCK DOCTRINE නම් කෘතිය සමගයි. ආපදාවන් උපයෝගී කරගෙන ධනවාදය සිය උවමනාවන් ඉෂ්ඨ කර ගන්නා ආකාරය නයෝමි ක්ලයින් සිය කෘතියේ නේවා දෙයි. යුද්ධ, ස්වාභාවික ආපදා ආදී ව්‍යසනයන්ගෙන් කම්පිත ජනතාවන් හා රටවල් මතින් නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය ලෝකය තුළ සිය ආධිපත්‍යය තහවුරු කර ගත් අන්දම ඇය පෙන්වා දෙයි. ඉරාක සිවිල් යුද්ධය මැද ඇමරිකා එක්සත් ජනපදය ඉරාකයේ තෙල් සම්පත් ෂෙල් සහ බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් නම් බහුජාතික සමාගම්වලට හිමි වන පරිදි නීති සැකසූ අන්දම ඇය සිය කෘතියේ උදාහරණයක් ලෙස දක්වයි. ලංකාවේ ආණ්ඩුව සුනාමියෙන් පසු වෙරළේ සිට මීටර් සියයක් මෙපිටින් පදිංචි වීම තහනම් කර වෙරළ ධීවරයන්ගෙන් කොල්ල කන්නට දැරූ උත්සාහය පිළිබඳව ද ඇය සිය කෘතියේ සඳහන් කරන්නී ය.

තවත් නිදසුනක් ලෙස, යුද්ධය මුවාවෙන් ත්‍රිකුණාමලය වරාය ආසන්නයේ ඉපැරණි ගම්මානයක් වන සාම්පූර්හි වැසියන් 2007 ජුලි මාසයේදී ඉවත් කර එම කලාපය හමුදාව යටතට පවරාගත්තේ විශේෂ ආර්ථික අරමුණු සහිතව ය. සාම්පූර්හි ඉඩම් අක්කර 2000කට අධික ප‍්‍රමාණයක් ගල් අඟුරු බලාගාරයක් හැදීමට ඉන්දීය ජාතික තාප බල සංස්ථාවට පවරා දෙන්නට ද කලක් සැලසුම් තිබිණි.

Translations

කොවිඩ්-19 වසංගතය සමග ආපදා ධනවාදය යළි ක්‍රියාවට නැංවෙන බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. අප මෙම ලිපියෙන් විමසන්නට උත්සාහ කරන්නේ මෑත සිද්ධියක් පාදක කරගෙන ආපදා ධනවාදය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇති ආකාරය පෙන්වා දීමටයි. අප මෙය කරන්නේ මෙම ක්‍රියාමාර්ගවලට කිසිදු පක්ෂපාතිත්වයක් හෝ විරෝධයක් හෝ නැතිව සිදු වන දෙය පෙන්වා දීමට පමණකි. මන්ද, මෙම ක්‍රියාමාර්ග හරි ද වැරදි ද යන්න විනිශ්චය කිරීම තරමක් දුෂ්කර නිසා ය.

සිද්ධිය ඊයේ දිනයේ රජය විසින් කොළඹ නගරයේ වීදිවාසීන් නිරෝධායනයට යැවීමයි. බොහෝ මාධ්‍ය මෙම පුද්ගලයන් යාචකයන් ලෙස හැඳින්වුව ද, කොළඹ වීදිවල රාත්‍රිය ගතකරන ජනයා අතර නාට්ටාමීන්, සනීපාරක්ෂක හා වෙනත් කම්කරුවන්, සංක්‍රමණික කම්කරුවන්, සුළු වෙළඳුන්, ඉබාගාතේ යන්නන්, මානසික රෝගීන්, ගැට කපන්නන් ඇතුළු සුළු අපරාධකරුවන්, කුඩුකාරයන්, ගණිකාවන් ආදීන් ද වන බව අප අමතක නොකළ යුතු ය. ඔවුන්ට කොළඹ ස්ථිර නවාතැන් නැති බැවින් ඔවුන් නිදාගන්නේ බස් නැවතුම්, දුම්රිය නැවතුම්, මගී පාලම්, පදික වේදිකා වැනි තැන්වල ය.

ඔවුන් නිසා කොළඹ ලස්සන නැති වන බව ඇත්ත ය. ඔවුන් මධ්‍යම පන්තිකයන්ට කරදරකාරී පිරිසක් බව ද ඇත්ත ය. එහෙත්, ඔවුන් කොළඹ නගරයේ කොටසකි. ඔවුන් විසින් කරනු ලබන නිශ්චිත, අත්‍යවශ්‍ය කාර්යයන් ද තිබේ. එහෙත්, ඔවුන්ගේ ජීවිත ගත වන ආකාරය සමාජයට පමණක් නොව ඔවුන්ටමත් ගැටලුවකි.

රජය මෙම පිරිස් නිරෝධායනයට යොමු කරන ලද අතර, ඔවුන් අතරින් දුර්වල පුද්ගලයන් දිගට ම රඳවා තබාගන්නට හා සෙසු පිරිස පුනරුත්ථාපනය කිරීමට හෝ පිටමං කිරීමට රජය උත්සාහ කළ හැකි බව බලධාරීන්ගේ ප්‍රකාශවලින් ඇඟවේ. කෙසේ වෙතත්, ඉදිරි කාලයේදී ඔවුන්ට තමන් මෙතෙක් ගෙවූ නිදහස්, කාලකණ්ණි ජීවිතය අහිමි වන්නට ඉඩ තිබේ.

මෙය පැරණි සැලැස්මක් බව තේරුම් ගන්නට 2019 ජනවාරි 21 දින මෙම ප්‍රවෘත්ති වීඩියෝව බලන්න. එවකට පැවති ආණ්ඩුවට මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට නොතිබුණු ශක්තියක් වත්මන් ආණ්ඩුවට තිබේ.

මෙය තවත් බොහෝ අයට සිදුවීමට නියමිත දෙයකි. බේබද්දන්, ගංජාකාරයන්, කුඩුකාරයන්, රස්තියාදුකාරයන්, සුළු අපරාධකරුවන්, ගණිකාවන් පමණක් නොව නගරවල දඩාවතේ යන බල්ලන්, හරකුන් පවා කොරෝනා මර්දන ක්‍රියාමාර්ගවලදී නිදහස්, කාලකණ්ණිකම අහිමි වන පිරිස අතර වේ.

මීට පෙර පැවති විවිධ ආණ්ඩු විසින් උත්සාහ කර අතහැර දමන ලද කොළඹ නගරයේ අනවසර පදිංචිකරුවන්ගේ ප්‍රශ්නය වැනි ධනවාදයට හිසරදයක් වී තිබෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ද යම් සැලසුම් ක්‍රියාත්මක වුවහොත් පුදුම විය යුතු නැත.

රටක් සංවර්ධනය වනවා ය කියන්නේ ඒ රටේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යාමයි. දිළිඳුකම නැති වීමයි. ආර්ථික හා සමාජ විෂමතා අවම වීමයි. එසේ නොමැතිව සුළු පිරිසක් අසීමිත අන්දමින් රටේ සම්පත් හිමි කර ගනිමින් දිළින්දන් තවත් දිළිඳුභාවයට ඇද දැමීම සංවර්ධනයක් වන්නේ නැත. 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ලංකාවේ සිදුවන්නේ කුමක් ද යන්න පුරෝකථනය කරන්නට හදිසි විය යුතු නැත. කෙසේ වෙතත්, එකක් පැහැදිලි ය. කොරෝනා අර්බුදයත් සමග ලංකාව විපර්යාස වීම ආරම්භ වී තිබේ. ඒවා දෙස නිශේධාත්මක ඇසකින් නොබලා විමසිලිමත් ඇසකින් බැලිය යුතු ය.

1 thought on “යාචකයන් ඉවත් කිරීම හා ආපදා ධනවාදය

  1. Yaachakayan da minissuya .
    Phalaya nowa hethuwa uputaa damannenam
    Colamba awalassanaviema awama karagatha heka .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.