Baby Shaykh Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 නිසා මියගිය පුද්ගලයන් අතර මුස්ලිම් ජාතිකයන් සැලකියයුතු පිරිසක් සිටින බව කියනු ලැබේ. ඒ සම්බන්ධ නිල වාර්තා රජය සතුව තිබේ. මුස්ලිම් ජාතිකයන් ජීවත් වන ජනාවාස ප්‍රදේශ සාමාන්‍යයෙන් ගත් කල තරමක් ජන ඝනත්වයෙන් අධිකය. එය ද ඔවුන් අතර කොවිඩ්-19 ආසාදනය පැතිරීමට හා මරණ සංඛ්‍යාව වැඩි වීමට හේතු විය හැකිය. එසේම, කොවිඩ්-19 ව්‍යාප්තිය හා මරණ වැඩියෙන් වාර්තා වන කොළඹ නගරය තුළ ද විශාල මුස්ලිම් ජනගහනයක් ජීවත් වෙති.

කොවිඩ්-19 වයිරසයට ජාති, ආගම් ආදී වෙනස්කම් නැත. එහෙත්, පන්තිමය වෙනසක් නම් පැහැදිලිවම තිබේ. කොවිඩ්-19 වැඩිපුරම ආසාදනය වන්නේත්, එයින් මියයන්නේත් දිළිඳු පවුල්පල ජනයායි. එයට හේතු පැහැදිලිය. ගෙවල්වල මීටරේ පරතරේ තබාගෙන ජීවත් වීමට තරම් ඉඩකඩ නැත්තේ ඔවුන්ටය. බස්වල තදබද වී ගමන් බිමන් යන්නට සිදුවන්නේ ඔවුන්ටය. අවදානම නොතකා දවසේ ආදායම වෙනුවෙන් රැකියා කරන්නට සිදුවන්නේ ඔවුන්ටය. මාස්ක්, සැනිටයිසර් ආදිය පවා මිලදී ගන්නට මුදල් නැත්තේ ඔවුන්ටය.

ශ්‍රී ලංකාවේ නිවාස සම්බන්ධයෙන් ගත් කල ඉතාම නරක තත්වයක් වතු නිවාසවල තිබේ. ඒවා සියවසකට වැඩි කාලයක් තිස්සේ තවමත් ලයින් කාමරයි. පරම්පරා ගණනක් අලුතින් එකතු වූ මුත් නිවාස එකතු වී නැති තරම්ය. ඒ නිසාම නිවාසවල අධික තදබදයක් ඇත. වැසිකිලි, ජලය වැනි පොදු පහසුකම්වල තත්වය ඉතා දුර්වලය. වතුකරයේ ජනතාව වෙත කොවිඩ්-19 පැතිරීම වළක්වාගැනීම වෙනුවෙන් විශේෂ වෙහෙසක් විය යුත්තේ එහෙයිනි.

කෙසේ වෙතත්, මේ වන විට ගැඹුරුම ප්‍රශ්නය පැනනැගී තිබෙන්නේ කොවිඩ්-19 නිසා මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාවේ අවමංගල්‍ය චාරිත්‍ර විවිධය. මුස්ලිම්, ක්‍රිස්තියානි බැතිමතුන් හට ආගමික වශයෙන් වෙන් කරන ලද සුසානභූමි තිබේ. ඔවුන් මළසිරුරු භූමදානය කරති. ඇතැම් හින්දු හා බෞද්ධ බැතිමතුන් ද මළසිරුරු භූමදානය කරති. ජීවත් වන ඕනෑම පුද්ගලයකුට ගෞරවනීය අවමංගල්‍යයකට අයිතිවාසිකමක් තිබේ. මළසිරුරු රජය විසින් ගංගාවල පාවී යන්නට සැලැස්වූ, පාරවල් අයිනේ ටයර් මත පිළිස්සූ, බල්ලන්ට කන්නට දැමූ, දේශප්‍රේමීන් විසින් දනහිසෙන් ඉහළට ඔසවන්නට තහනම් කළ හා රජය මෙන්ම කොටි සංවිධානය ද මළසිරුරු සමූහ වලවල බැහැර කළ යුගය අවසන් වී අප වඩා ශිෂ්ට සම්පන්න යුගයක ජීවත් වන්නේ යයි අපි සිතමු.

කොවිඩ්-19 මළසිරුරු බැහැර කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව මළසිරුරු භූමදානය කළ හැකිය. එසේම, විද්‍යාත්මක මතය අනුව ද කොවිඩ්-19 වයිරසයට අජීවී මළසිරුරක් මත දිගුකල් පැවැත්මක් නැත. කොවිඩ්-19 රෝගීන්ගෙන් පසට හා ජල මූලාශ්‍රවලට වයිරසය එකතුවෙනවා නම් මළ මුත්‍රවලින් ද එසේ විය හැකිය. භූමදානය කරන ලද මළසිරුරුවලින් කොවිඩ්-19 පැතිරුණු බවක් ලොව කොතැනකින්වත් වාර්තා වී නැත. එහෙත්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හා කොවිඩ්-19 සම්බන්ධ මෙහෙයුම් සිදුකරන සෞඛ්‍ය, පොලිස් හා හමුදා අංශ මේ කිසිවක් පිළිගන්නේ හෝ මළසිරුරු ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ හෝ නැත.

බූරුවාගේ පිට පිදුරු පටවාගෙන පටවාගෙන යන විට අන්තිමට කොන්ද කැඩෙන බර වන්නේ එක් පිදුරු ගහක අමතර බර විය හැකිය. එසේම, කොවිඩ්-19 මළසිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීම පිළිබඳ සමාජයේ ඉවසීම පුපුරා ගිය සිදුවීම වන්නේ දින 20ක් වයසැති බිළිඳු මළසිරුරක් මව්පිය අවසරයෙන් තොරව ආදාහනය කිරීමයි.

මෝදර පදිංචි ත්‍රිරෝද රියදුරකු වන ෆාහිම්ටත් ඔහුගේ බිරිඳටත් සය වසරක බලාපොරොත්තු ඉටුකරමින් ලැබුණු පුතු වන ෂෙයික් රෝහල්ගත කරන්නේ දෙසැම්බර් 7දාය. දරුවාටත් මව්පියන්ටත් කරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවල ප්‍රතිඵල 8දා දහවල ලැබේ. ඒ අනුව දරුවාට කොවිඩ්-19 වැළඳී තිබේ. මව්පියන්ට නැත. දරුවා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර මව්පියන් නිවෙස් නිරෝධායනයට යවනු ලැබේ. සවස දරුවා මියයයි. ඒ බව මව්පියන්ට දැනුම් දෙන්නටත් කලින් රෝහලෙන් මාධ්‍යවලට දැනුම් දෙයි. පියාට රෝහලෙන් ඇමතුම්, කැඳවුම් සිදුවෙයි. පියා ආදාහනයට කැමැත්ත ප්‍රකාශ කරන්නේ නැත. රෝහල් අධ්‍යක්ෂවරයා සිය බලය පාවිච්චි කරමින් වහාම මළසිරුර ආදාහනය කිරීමට පියවර ගනියි. බිළිඳාගේ මළසිරුර බලහත්කාරයෙන් බොරැල්ල කනත්තේදී පුළුස්සා දමන්නේ මව්පියන්ගේ කැමැත්තෙන් තොරවය.

මේ සියල්ල පවත්නා නීතිරීතිවලට එකඟ විය හැකිය. එහෙත්, ගැටලුව තිබෙන්නේ නීතියෙහි නොව වෘත්තිකභාවයෙහිය. රෝහල් බලධාරීන්ට මව්පියන් සමග සාකච්ඡා කර, ඔවුන්ට පැහැදිලි කර දී එකඟතාව ලබාගන්නා තෙක් හෝ බිළිඳාගේ මළසිරුර පුළුස්සා නොදමා තබාගන්නට බලධාරීන්ට ඕනෑ තරම් හැකියාව තිබිණි. නොතිබුණේ සංවේදීකමය.

කොවිඩ්-19 මළසිරුරු සම්බන්ධයෙන් පමණක් නොව රෝගය වැළඳෙන සාමාන්‍ය ජනයා සම්බන්ධයෙන් ද රජයට නැති දෙය ද සංවේදීකමයි. මහජනයා ගැන සංවේදී රජයක් නම් මහජන උවමනාවන් වෙනුවෙන් ප්‍රතිපත්ති වෙනස් කිරීමට සූදානම්ය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: