Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ

මං පදවියෙ උගන්නන කාලෙ කැලනිය විශ්වවිදාලෙ බාහිර උපාධියකට ලියාපදිංචි වුණා. මං ආසා කරන විෂයයන් වුණ සිංහල, ජනසන්නිවේදනය සහ ඉංග්‍රීසි සාහිත්‍යය තමයි කළේ. පොත් ටික ගෙන්නගෙන කියවලා, විභාගෙ ලියලා ෆස්ට් ඉන් ආට්ස් ඉහළින් සමත් වුණා. කාගෙන්වත් ඉගෙනගත්තෙ නැහැ. සිංහලවලටයි, ජන සන්නිවේදනයටයි බී සාමාර්ථ තිබුණා. ඉන් පසු මාසයක් විතරක් කිරිබත්ගොඩ පන්තියකට ගියා. සිංහල උගන්නපු මහාචාර්ය කුලතිලක කුමාරසිංහ ආපු වෙලාවෙ ඉඳන් කළේ කියවන විට ලිවීම. ඒ සටහනේ ජයතිස්ස හා රොසලින් වගේ නිර්දිෂ්ට ග්‍රන්ථවල පිටු ගණන් තිබුණා. ඒ සටහන පාඩම් කරගත්තාම ඇති. ඒ පොත් කියවන්න ඕනැත් නැහැ. ඒ අධ්‍යාපනයෙ අරමුණ ඒක. රෝහණ ලක්ෂ්මන් පියදාසත් මූලික වශයෙන් සටහනක් දෙන එක තමයි කළේ. එයා සිසුන් එක්ක බාහිර දේත් කතා කළා. ඒ දවස්වල මං කවි පොතක් ලියලා ඔහු අතට පිටපතක් පත් කළාම ඔහු මට ඔහු ඒ දිනවල කළ ආයුබෝවන් වැඩසටහනක සාකච්ඡා අවස්ථාවකුත් ලබාදුන්නා. මේ 1995 විතර කාලෙ. ඒක තමයි මං රූපවාහිනියට ගොඩ වුණ පළමු අවස්ථාව.

Translations by Creative Content Consultants

පදවියේ ඉඳන් එන්න තියෙන අමාරුවයි, මේ සටහන් ලිවිල්ලයි එපා වුණ නිසා මං පන්ති ඒම අතෑරලා අර විදියට ම පොත් විතරක් කියවලා දෙවන, තුන්වන වසර විභාග දෙකේ ම සිංහලවලටයි, ජනසන්නිවේදනයටයි බී සාමාර්ථ ගත්තා. හැබැයි, ඉංග්‍රීසි සාහිත්‍යය එහෙම කරන්නට බැහැ. ඉංග්‍රීසි අංශ ප්‍රධානීන් වුණේ නැසීගිය මැනික් ගුණසේකර, මෛත්‍රී වික්‍රමසිංහ වගේ අය. ඒ විෂය මං අසමත් වුණේ නැහැ. ඒත්, ඌන සාමාර්ථ වුණා. ඒකට ඉගෙන ගන්නට කිසිම ක්‍රමයක් දුෂ්කර පාසල්වල උගන්නපු මට හොයාගන්න බැරි වුණා. ඒ කාලෙ අන්තර්ජාලයත් නැහැ. බ්‍රිටිෂ් කවුන්සිල් එකේ විතරයි පොත පත තිබුණෙ. යමක් අසා දැනගන්නවත් කිසිම කෙනෙකු මං දැනගෙන හිටියෙ නැහැ.

පන්තියකට ගිහින් ඌන සාමාර්ථය සමත් කර දෙන්නට හිතාගෙන හිටියත්, එහෙම පන්තියක් තියෙන තැනක්වත් හොයාගන්නට බැරි වුණා. ඒ කාලෙ කැලනිය බාහිර උපාධියට ඉංග්‍රීසි විෂය විභාගෙට ලිව්වෙත් දහදෙනෙකු විතර සංඛ්‍යාවක්. මං දන්න කිසි කෙනෙක් හිටියෙ නැහැ.

ඒ අතරෙ මං ගුරු විද්‍යාලෙට ඇතුළත් වුණා. ඒ කාලෙ වෙනත් විභාගවලට මුහුණ දීම තහනම්. ඒ අස්සෙ මං නැවතත් හිරු කණ්ඩායමේ පූර්ණ කාලීන මට්ටමේ දේශපාලනයක යෙදුණු නිසා මට ඒ උපාධිය අමතක වෙලා ම ගියා.

එදා ඉංග්‍රීසි සාහිත්‍යය විෂය වෙනුවට වෙන මොකක් හරි සරල විෂයක් කළා නම් මං කිසිම ගුරුවරයෙකුගෙන් ඉගෙන නොගෙන උපාධියකුත් සමත් වෙනවා. ඒ මං දක්ෂ නිසා නෙමෙයි. ඒක ඔබට වුණත් තේරෙනවා. මං කියන්නෙ මේකයි. බාහිර උපාධි කියන ජාතිය උසස් ශාස්ත්‍රීය අධ්‍යාපනයක් නෙමෙයි. පාසලේදි ගණිත විෂයෙන් උසස් පෙළ ඉගෙන ගනිමින් ඉන්න අතරෙ ජවිපෙ පූර්ණ කාලීන දේශපාලනයට යොමු වුණ මං උසස් පෙළ කලා විෂය ධාරාවෙන් සමත් වුණෙත්, වීරවිල රැඳවුම් කඳවුරේදි පොත් විතරක් කියවලා මාස හතරකින් මුළු විෂය නිර්දේශයම ඉගෙනගෙන. උසස් පෙළටත් මං ඉංග්‍රීසි සාහිත්‍යය ඉගෙන ගත්ත නිසා මං හිතුවා උපාධියත් ඒ විදියටම කරගන්නට පුළුවන් වෙයි. කියලා. ඒ විෂය තෝරාගැනීම මගේ ජීවිතේ මට වුණ දැවැන්ත වැරදීමක් වෙන්නත් පුළුවන්.

විශ්වවිද්‍යාල අභ්‍යන්තර උපාධියක් හදාරන සිසුවෙකු විවෘත වන ශාස්ත්‍රීය ලෝකයට බාහිර උපාධි සිසුවෙකු විවෘත වන්නෙ ඉතාම සීමිතව. එතනදි වෙන්නෙ නිකම් ම උපාධි සහතිකයක් පිරිනමන එක විතරයි.

අභ්‍යන්තර උපාධිධාරීන් හැම කෙනෙකුමත් තමන් විවෘත වන ශාස්ත්‍රීය අවකාශය නිසි අයුරින් පරිහරණය කරලා ශාස්ත්‍රාලීය විද්වතෙකු ලෙස ගොඩනැගෙන්නෙ නැහැ. මෑතදී මං මගෙන් ඉගෙන ගත් සිසුවෙකු සමග දීර්ඝ සාකච්ඡාවක් කළා. ඒ සිසුවා ඈත පිටිසර ගමකින් පැමිණ විශ්වවිද්‍යාලයකින් කලා විෂය ධාරාවේ පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබාගත් දක්ෂයෙක්. ඒත්, ඔහු සමග කතා කරද්දි මට තේරුණු දෙය වන්නේ ඔහු පර්යේෂණ සහකාරවරයකු ලෙස මහා පරිමාණෙන් පාවිච්චි කරන මහාචාර්යවරුන් ඒ සිසුවා ශාස්ත්‍රාලීය විද්වතකු ලෙස ඉදිරියට ගන්නට අවශ්‍ය කටයුතු කිසිවක් නොකරන බවයි.

මා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරද්දී මට එහි විවිධ ඉන්ටර්න් වැඩසටහන්වලදී හමු වූ ඉංග්‍රීසි පළමු බස ලෙස කතා කරන්නට පුළුවන්, බොහෝ විට විදේශ විශ්වවිද්‍යාලවලින් හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධි ලබාගත් සිසුන් හා සිංහල පළමු බස ලෙස කතා කරන සිසුන් අතර ඉතා පැහැදිලි වෙනසක් තිබෙනවා. ශාස්ත්‍රාලීය පැත්තෙන් ගත්තාම එය ගව් ගානක වෙනසක්. මේවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අවධානයට යොමු විය යුතු කාරණා. පෞද්ගලික අධ්‍යාපනය ලබන සිසුන් තුළ එවැනි පෞරුෂයක් ගොඩනැගෙන්නේ කෙසේ ද කියන එකත්, රජයේ විශ්වවිද්‍යාලවල කලා උපාධි හදාරන සිසුන් එසේ ගොඩනැගෙන්නේ නැත්තේ ඇයි ද කියනකත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අවධානයට ලක් විය යුතුයි.

මට උපාධියක් නැහැ. මගේ ඉහළම අධ්‍යාපන සුදුසුකම ඉංග්‍රීසි ගුරු පුහුණුව විතරයි. හැබැයි, මගේ හැකියාවන්ගෙන් මම මගේ වෘත්තීය ජීවිතය තුළ බොහෝ දේ කළා. දැනටත් කරමින් සිටිනවා. එක රැකියාවකට කොටු නොවී, කර තිබෙන බුද්ධිමය රැකියා ප්‍රමාණය වුණත් මගේ සහතික සුදුසුකම්වල හැටියට විශාලයි. තනතුරුවලට බඳවාගැනීමේ සුදුසුකම් සඳහා මිස, වැඩ කිරීමේදී මට කවදාවත් අධ්‍යාපන සුදුසුකම ගැටලුවක් වුණේ නැහැ.

අවසාන වශයෙන් මං කියන්නෙ මේකයි. රැකියා ඉලක්ක කරගෙන සිල්ලරට උපාධි දීම ලංකාවේ විශ්වවිද්‍යාල විසින් නවත්වා දැමිය යුතුයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලින් පැවති බාහිර උපාධි වැඩසටහනෙන් වසරකට උපාධිධාරීන් 2,000ක් විතර උපාධි සහතික ගත්තා. මේ සහතික අභ්‍යන්තර උපාධි සහතිකවලට සර්වසමයි. මේවා පවත්වාගෙන යන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ටියුෂන් ව්‍යාපාර සාර්ථක කරගන්නටයි.

අන්තිමේදී මේ ඊනියා උපාධි සහතික අතින් ගත් පිරිස් උපාධිධාරීන් ලෙස මහජන මුදලින් වැටුප්, විශ්‍රාම වැටුප් ලැබිය හැකි රැකියා සිඟාකෑමට පැමිණෙනවා. ඔවුන් රජයේ සේවයට එන්නේ කිසිදු පුහුණුවක් නැතුවයි. ඔවුන්ගේ ශාස්ත්‍රාලීය අධ්‍යාපනයත් විශාල හිදැස් සහිත එකක්.

උසස් අධ්‍යාපනය අවශ්‍ය සිසුන්ට යම් රැකියාවක් කරන ගමන් ඵලදායී , විධිමත්, ශාස්ත්‍රීය උසස් අධ්‍යාපනයක් සාධාරණ මුදලක් ගෙවා ලබා ගත හැකි ක්‍රම රජය විසින් සම්පාදනය කරන්නට ඕනැ. දුරස්ථ අධ්‍යාපන ක්‍රම ඒ වෙනුවෙන් උපයෝගී කරගැනීමේ පහසුව දැන් ඕනැ තරම් තිබෙනවා. වියපත් වුණ අපට වුණත්, නැවතත් විධිමත් අධ්‍යාපනය ලබාගන්නට අවශ්‍ය නම් පුළුවන් යාවජීව අධ්‍යාපනයක් රටේ නිර්මාණය වෙන්නට ඕනැ.

Translations

2 thoughts on “මං බාහිර උපාධිය පවා ෆේල් වුණ හැටි

  1. මැණික් ගුනසේකර මිය ගිය බව දැන ගත්තේ අදයි. ඇය තමයි නවක සිසුන්ට ඉංග්ලිෂ් ඉගැන්වීමේ වැඩසටහනේ ප්‍රධානියාව සිටියේ.

    නම ලියන්නේ Manique කියා වගෙයි මට මතක.

  2. Oba , Maa athulu boho denekta dura athieyedie siduwoo athapauviem saha veradi thierana nisaa noyek apa aasakarana dea gilihi yanna athi . Paschaththapaya pamanak den samahara awasthawanhidie sith thula holman karanu athi .
    Namuth giyanuwana ali athun lawaa ho addhawanta beriya !
    Appamaado amathapadam … sihikalaata ae sambandawa den phala rahithaya .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.