– අජිත් පැරකුම් ජයසිංහ

ළඟදි අධ්‍යාපන චාරිකාවක් ගිය මගේ දුව හරි සතුටින් කිව්වා, උදේ කෑමට නවත්තපු තැන පිට්ටනියක බස් පහම මියුසික් හෝන් ගහමින් ඇලකරගෙන වේගෙන් රවුමට රවුමට ගියාලු.

මේ වගේ ගමනකදි නුවරඑළිය පැත්තෙදි ළමයෙකුම බස්එක පදවන අයුරු දැක්වෙන වීඩියෝවකුත් සංසරණය වුණා.

මං ගුරුවරයකු කාලෙ ළමයින් එක්ක, අධ්‍යාපන චාරිකා, ක්‍රීඩා තරගවලට එක්කගෙන යන ගමන් බිමන් එහෙම සෑහෙන්න ගිහින් තියෙනවා. ළමයින් කියන්නෙ ළමයින්. හැබැයි, අපේ රටේ ගුරුවරුන්, බස් සේවකයන් ආදී හැමෝම ඒ ළමයින්ට වඩා ලොකු වෙනසක් නැහැ.

රියදුරන් ගැන කියනකොට මට මෙහෙම හිතෙනවා. ලංකාවේ අප අතරින් බොහෝ දෙනෙකු කාර් රේස් යන්නට ලැබුණු අවස්ථා අහිමි වුණ සාංකාවකින් පෙළෙන පිරිසක්. ඒ නිසා වාහනයක් අතට ගත්තත්, වෙන කෙනෙකු පදවන වාහනයක යන විටත් ඒ අය රිය පැදවීමේ විනෝදය විඳිනවා. ඒ අයට රථගාය කියන්නෙ නොසිඳෙන ආසාවක්.

ලංකාවේ බස් රියදුරන් වැනි අය බස් එළවන ගමන් දුරකථන ඇමතුම් දීම්, මැසේජස් බැලීම, යැවීම, මාර්ගයේ යන එන අනෙක් වාහන තිබෙන තැන ෆලෝ කිරීම, වෙනත් අයට දැනුම් දීම, විට කෑම, වතුර බීම, සිංදු ඇහීම විතරක් නෙමෙයි සිංදු කීමත් කරනවා. ඔවුන් නොකරන ප්‍රධාන දෙය තමයි, තමන්ගේ දෑතේ රැඳී තිබෙන ජීවිත ගැන නොසිතීම.

ආරක්ෂාව වගේ දේ අපට වැදගත් නැහැ. බස් එකත් අපට ත්‍රාසය ජනනය කරන තැනක්. බස් කියල ජාතියකුත් නැහැ. ලොරි බොඩිවල තදබද කරලා සීට් ගහපු, විවිධ පාට ගාපු, සුදු යකඩ අල්ලපු, නයිට් ක්ලබ් වගේ පාට පාට ලයිට් දාපු, සයිලන්සරේටත් හෝන් සවිකරපු, මහ හයියෙන් සිංදු දාන, හයියෙන් යන, ඇල කරලා වංගු ගන්න, හිටිහැටියේ බ්‍රේක් ගහන, ෆෝන් කණේ ගහන් තනි අතින් එළවන වාහන ජාතියක අපි යනවා.

අපේ පැත්තෙ බස් සීයකට වඩා අයිති සමගි ජන බලවේගෙ සංවිධායක ජගත් මේ ලොරි චැසි බස් වැඩිදියුණු කරන්න තවත් ලක්ෂ 20ක් විතර වියදම් කරන බව වීඩියෝවක සඳහන් වුණා. දේශපාලන නායකයකු වන ඔහුට තේරෙන්නෙ නැහැ ඔහුට අවශ්‍ය නම් ඇත්ත බස් හඳුන්වා දෙන්නට පුළුවන් බව.

අපි සමාජයක් විදියට බස් ගැන, ප්‍රවාහනය ගැන ඉන්නෙ ළමා මානසිකත්වයක. අපේ ගුරුවරුන්, විදුහලේපතිවරුන් පවා එහෙමයි.

අපි ඉදිරියට යන්න ඕනැ මේ යථාර්ථය පිළිඅරන්, එතන ඉඳන්. ලෝකෙ හොඳම ප්‍රමිතියි අපේ තත්වයයි අතර ලොකු පරතරයක් තියෙනවා. ඒක ආර්ථික පරතරයක් විතරක් නෙමෙයි, සංස්කෘතික අගාධයක්. ඒ පිම්ම පනින්නම ඕනැ නැහැ. අපි අලුත් සංස්කෘතියක් හදමු.

පාසල් අධ්‍යාපන චාරිකාවලට යම් විනයක් අවශ්‍යයි. ඒවායේදී ළමයින් විනෝද වීම වරදක් නැහැ. ඒත්, යම් අධ්‍යාපනික දෙයක් අනිවාර්ය වෙන්න ඕනැ. වර්තමානයේ අධ්‍යාපන චාරිකාවල ඒ ගුණාත්මකබව අවමයි.

පදවියේ සිට පුල්මුඩේට යන පාරෙ දහයෙ කණුවෙ පරණ මැදවච්චියේ ඉස්කෝලෙක 1940 දශකයේ පරණ ලොග් පොතක තිබුණු සටහන් වගයක් ගැන මට වරක් එක් ගුරුවරයකු පැවසුවා. ඒ අනුව, පාසලේ සිසුන් පිරිසක් මුල් ගුරුතුමා සමග අධ්‍යාපන චාරිකාවක් ගිහින් තිබුණේ වර්තමන පදවි පරාක්‍රමපුර වන වන්නච්චිය හරහායි. ඔවුන් ගිහින් තිබුණේ තෙන්නමරවාඩි නම් පැරණි දෙමළ ගමට. ඒ ගමනෙ අරමුණක් ලෙස සඳහන් වුණේ උළු ගෙවිල්ලපු ගෙයක් බලන එකලු.

1 thought on “බස් එලෝන ළමයි හා අධ්‍යාපන චාරිකා

  1. පාසල් දරුවන් වෙනුවෙන් මෙවැනි සංචාර සංවිධානය කිරීමේදී වඩා අත්දැකීම් ඇති පළපුරුදු නිවුණු හැඟීම් ඇති රියැදුරන් යොදාගත යුතුය. මේ සඳහා නිසි නියාමනයක් තිබිය යුතුය. නැත්නම් පපරේ ශබ්දය පරයා යමින් වාහනය ධාවනය කරන්නා යන්නේ මහපාරේ නොව අහසේය. මෙලෙස වේගයෙන් ගමන් ගන්නා බස් රථයේ ගමන් කළ ගුරුවරුන්ට මේ අපරික්ෂාකාරීබව ගැන අවබෝධයක් නොතිබුණේද? ඔවුන්ද සංගීතයේ ඇලී සිටියාද? සිකුරාදා රාත්‍රියේ නුවරඑළිය සිට කොළඹ දක්වා ධාවනය කළ පාසල් සිසුන් රැගත් පෞද්ගලික බස් රථය හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ කර්බර්ග් වතුයාය ප්‍රදේශයේදී වෑන් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටී අනතුරට පත් බස් රථය මීටර් 100 පමණ ප්‍රපාතයට ගමන් කර තිබිණි. මේ බස් රථය පෙරලුනේ නැති නිසා පාසල් දරුවන්ට බරපතළ අනතුරක් වූයේ නැත. එය මහත් වාසනාවකි. හදිසියේ හෝ මේ බස්රථය පෙරළී වට කිහිපයක් කැරකුනා නම් කතාව වඩාත් ඛේදනීය ලෙස සටහන් වනු ඇත.

    වයස අවුරුදු 15-45 අතර මරණවලට ප්‍රධානම හේතුව මාර්ග අනතුරු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන ඒකකය මඟින් නිකුත් කළ වාර්තා පෙන්වාදෙයි. සෑම වසරකම ප්‍රතිකාර සඳහා රෝහල්ගතවන පස් දෙනකුගෙන් එක් අයෙකු හදිසි අනතුරකට මුහුණ පෑ අයෙකු බව එකී සමීක්ෂණ වාර්තා හෙළි කරයි. මේවන විට ලංකාවේ සිදුවන රිය අනතුරුවලින් දිනකට මිය යන සංඛ්‍යාව 8-9 අතර අගයක් ගන්නා බව පෙනේ.

    පසුගිය 2015 වසරේ සිට මේ දක්වා රිය අනතුරු සම්බන්ධයෙන් සංඛ්‍යා ලේඛන අධ්‍යයනය කර බලන විට පෙනී යන්නේ සෑම වසරකම 3000ට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බවය. එසේම 15,000 ක පමණ පිරිසක් සදාකාලික ආබාධිතයන් බවට පත්ව ඇත. මේ කතා නිරන්තයෙන්ම උපුටා දක්වන නමුත් අනතුරුවල වැඩිවීමක් මිස අඩුවක් නම් දක්නට නැත. කොරෝනා සමයේ වාහන අනතුරු අඩුවූයේ රට වසා දමා තිබුණු බැවිණි. 2020 වසරේ දී වාර්තා වූ මාරක රිය අනතුරු සංඛ්‍යාව අනෙකුත් වසරවලට සාපේක්ෂව අඩු අගයක් ගත්තද ඉන් මිය ගිය සංඛ්‍යාව 2141කි. එම නිසාම පාට පාටින් හැඩ කළ සංගීත බස් රථවල අවදානම් ගමන් නොයෑමට සියලුදෙනා දත යුත්තේය. මේ මනුෂ්‍ය ජීවිතය රැක ගැනීමද ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවේ.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: