Makumbura

පොදු ප්‍රවාහනයේ වර්තමාන තත්වය ගැන කතාවක්

මේක මං ෆේස්බුක්හි ලිව්ව කතාවක්. ඇත්ත අත්දැකීමක් නිසා කැමති නම් පොදු ප්‍රවාහනයේ වර්තමාන තත්වය ගැන කේස් ස්ටඩි එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්.

තේ ඉස්මාට් ට්‍රැවලර් – The Smart Traveller

අජිත් පැරකුම් ජයසිංහ

මං ලොකුවට හිතාගෙන හිටියා මං හෙණ ස්මාට් පබ්ලික් ට්‍රාන්ස්පෝට් ට්‍රැවලර් කෙනෙකුය කියලා. විශේෂයෙන්ම මතුගම කොළඹ අතර හයිවේ, නෝමල්, ඒසී, දුම්රිය කලවම් කරගෙන ඉක්මණින් ගමන් යන ස්මාට් ක්‍රම මං දැනගෙන හිටියා. සමහර වෙලාවට මං කලුතරින්, පානදුරෙන්, මොරටුවෙන් බැහැලා කෝච්චිවල යනවා. ආපහු එනකොටත් ට්‍රැෆික් එකේ ස්වභාවය අනුව තමයි ප්‍රවාහන මාධ්‍ය තෝරාගන්නෙ. දුම්රිය ගැන, බස් ගැන, ඒවයෙ සෙනග මට්ටම ගැන මං හොඳින් දැනගෙනයි හිටියෙ. ඒවුණාට කොරෝනාවලට කලින් මං යූඑන් එකෙන් අයින් වෙලා මගේ පොදු ප්‍රවාහන ගමන් නැවැත්තුවා. ආයෙ මම පොදු ප්‍රවාහනයෙ යන්න පටන් ගත්තෙ මෑතක ඉඳලා.

හැබැයි, ළඟදි සිදුවුණ සිදුවීම් දෙක තුනක් නිසා කොළඹ එන එකයි, පොදු ප්‍රවාහනයයි ගැන නැවත හිතන්න වෙලා තියෙන්නෙ. ගිය සෙනසුරාදා එක පරිප්පුවක් කෑවා. කොළඹ හැවිලොක් ටවුම හරියේ තිබුණු වැඩක් ඉවර වුණාම මොන කරුමෙකටද මන්දා මට හිතුණා 138ක මාකුඹුරට ගිහින් හයිවේ බස් එකක යනවාය කියලා.

මාකුඹුරෙ ඔය අධික වියදමක් කරලා ප්‍රවාහන මධ්‍යස්ථානයක් හැදුවට අධිවේගී මාර්ගෙ මතුගම යන එක බස් එකක්වත් එතනට යන්නෙ නැහැ. ඒව නවත්තන්නෙ ඒ ළඟ තියෙන පාර පනින සුදු ඉර උඩ. ඉතින් එතනට වෙලා හිටියා හිටියා, ඔන්න බදුරලිය ඒසී එකක් ගහගෙන ගියා. වෙන බස් නැහැ. පැයකටත් වැඩිය බලා ඉන්නකොට මට තේරුණා. දැන් එන බස් ලෝඩ් වෙලායි එන්නෙ මෙතන නවත්තන්නෙ නැති බව. එතකොට කොහොමද ගෙදර යන්නෙ? එක්කො පලයන් ආපහු කොට්ටාවට. එතනින් ඕනැ නම් හොරණට ගිහින් මතුගමට යතැහැකි. නැතිනම්, කටුබැද්දට ගිහින් ගාලු පාරෙ යතැහැකි. දෙකම ඔලුව වටේ අත දාලා කණ අල්ලනවා වගේ. පැය තුනකවත් කෝස්.

දෙයියො බැලුව වගේ කලුතර හයිවේ බස්සෙකක් එතන ස්ලෝ කළා. දොර ඇරගන්න බැරි තරමට ඇතුළෙ සෙනග. යන්තම් රිංගගෙන එක්ස්ප්‍රස්වේ එන්ට්‍රන්ස් එකේදි හා එක්සිට් එකේදි දෙකට නැවිලා පොලිසිය රැවැට්ටුවා කියල හිතාගෙන 270ක් ගෙවලා යන්තං දොඩංගොඩින් බැහැලා ගෙදර ගියා. අනූනමයයි තුන්කාලෙන් ගොඩ.

අනෙක් පරිප්පුව කෑවෙ අද. පොදු ප්‍රවාහනයෙ ආව ගියාට අද උදේ ඉන්ටනැෂනල් බ්‍රෙක්ෆස්ට් මීටිමකට ගියා කිට මරාගෙන හිල්ටන් එකට. ඒක ඉවරවෙලා ගියා පැන්ෂන් ඩිපාට්මන්ට් එකට. ඒකත් ඉවරවෙලා මරදානට ඇවිත් හයිවේ මතුගම එකක් එනකල් බලාගෙන හිටියා පැය එකහමාරක්. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් කාලසටහනට අනුව දෙකට ස්ලෝ කෝච්චියක් තිබුණ නිසා ඒකෙ යනවා කියල හිතාගෙන ටිකට් අරන් ස්ටේෂන් එකට යනකොට මෙන්න 1.30ට ඒ කෝච්චියෙ හත්වෙනි වේදිකාවෙන් මට හූකියාගෙන පිටත් වුණා. අරුන්ගෙ කාලසටහන දැන් හෙණ බොරු කියන්නෙ. ගාලු කුමාරි තිබුණා ප්ලැට්ෆෝම් එකේ. යන්නෙ දෙකහමාරට. කොටුවට යන කෝච්චියක එල්ලිලා එතනදි බැලුවා අර කෝච්චිය වැරදිලාවත් නවත්තගෙන ඉන්නවද කියලා. මොන? උන් ගිහින්. පැනපන් පීල්ල කියල ප්‍රාර්ථනා කරනවා හිතවතුනි!

ඒ පාර කෝච්චි ගමන අමතක කරලා කොටුවෙන් එළියට ආවා. මතුගම බස් එකකට නගින්න නම් මැනිං මාකට් එක පැත්තෙ බැස්ටියන් මාවතේ කොනට යන්න ඕනැ. මතුගම බස් යන්නෙ මැද පාරෙ. එතෙන්ට යන්න කලින් මතුගම ඒසී එකයි, නෝමල් එකයි මදිවට අත්වැල්තොට එකකුත් ගියා මැද පාර දිගේ. නොදකින්. ඒපාර ගිනි අව්වෙ පයින් කාල්ගෑවා බස්ටෑන්ඩ් එකට, මේ ඔක්කොම වාඩුව ට්‍රිප් එකක් යන්න මගේ සුදු කැප් එක අරන් ගිහින් ඒක නැතිකරපු ගෙදර ගෑනිගෙන් ගන්නවා කියල හිතාගෙන.

මතුගම හයිවේ, නෝමල් දෙකෙන්ම සුහද ආරාධනා. හයිවේ කියල නැහැ, කොට්ටාවට යනකල් යන්නෙ ගොන් පාරකනෙ. ඒ නිසා නැග්ගා නෝමල්. ට්කට් එක 270යි. විස්සකුත් දුන්නා. ඉතුරු අටසීය පස්සෙ දෙන්නං කියලා කොන්දොස්තර මල්ලි කිව්වා. ඌ ඒක දුන්නෙ මං ටොප් ගියර් එකේ නිදි වෙලාවක ඇනලා, හොල්ලලා, කුචු කවලා, වතුරත් ගහලා. එතන ඉඳන් නින්ද ගියෙ නැහැ. ෆෝන් එකෙන් ෆේස්බුක් එකේ ගොන්ම පෝස්ටුයි, වඳුරු වීඩියෝයි, ඉන්දියන් ස්ට්‍රීට් ෆුඩ් මළ ජරාව හදන හැටියි බැලුවා යටදොල ෂෙඩ් එක දක්වාම. එතනදි තමයි දැක්කෙ මතුගම කොළඹ දුවන බස් ඔක්කොම එතන තෙල් පෝලිමේ තියෙනවා.

උදේ යද්දි සීටීබී එකක ගියෙ. ඒක රොකට්ටෙක වගේ ගිහින් කලුතර බෝධිය ගාව බස් හෝල්ට් එකේ නවත්තනකොට හික්කඩුවවත් ගිහින් නැති බව ස්ටේෂන් එකේ තත්වෙන් පෙනුණා. මොන කරුමෙකටද මන්දා, මට බහින්න හිත දුන්නෙ නැහැ. ටිකට් ගන්න පිට්ටනිය මැද්දෙන් දුවන්න ඕනැ හින්දා. අනෙක මං 152ක් දීලා කොළඹටම ටිකට් අරන් හිටියෙ. බස්සෙක පානදුර පහුකරන්න පැය භාගයක්ම ගියා. ඒපාර මොරටුවෙන් බැස්සා. ටිකට් අරගෙන පළවෙනි වේදිකාව බැහැලා තරණය කරලා, දෙවෙනි වේදිකාවෙ නවතා තිබුණු දුම්රියක් හරහා ගිහින් තුන්වෙනි වේදිකාවෙ තිබුණු සාගරිකා ගාවට යනකොට ඒක අදිනවා. ෆුට්බෝඩ්වල යන වවුල්ලු අස්සෙ මට හිත දුන්නෙ නැහැ එල්ලෙන්න. ඒ නිසා දෙවෙනි වේදිකාවෙ තිබුණු ගල්කිස්ස හා වැල්ලවත්ත දුම්රිය ස්ථානවල විතරක් නතර නොකරන කෝච්චියෙන් ගිහින් කොම්පඤ්ඤවීදියෙන් බැස්සා. කොම්පඤ්ඤවීදිය ස්ටේෂම හොඳයි චිත්‍ර ප්‍රදර්ශන තියන කලාගාරයකට. ඒකෙන් එළියට බැස්සෙ නොද්දකින් පැත්තකට. එතන ගුවන් පාලමක් හදන නිසා ඒ හරිය දැන් අජූතයි.

අද දවසෙ බස් වියදම 152+270 = 422යි. දුම්රිය වියදම 30+70 = 100යි. ත්‍රීවීල් 120+150 = 270යි. එකතුව රු. 792යි. දවසෙ ආදායමත් නැහැ. ගතවුණ කාලය පැය 10යි. සැපයි.

ආයෙ කොළඹ යන්නෙ නැහැ පුතා, මේ සැප අමතක වෙනකල්. කොහොමත්, මේක දැක්කොත් යූඑන් එකේ කට්ටිය කල්පනා කරයි යකෝ මේ වගේ කබ්බෙකුටද අපි ආරාධනා කරලා ගෙන්නගත්තෙ කියලා. වාසනාවට උන් සිංහල නොදන්නෙ.

අද ගමන කාරෙකේ පලයන්, ඒකට ගෙවන්නං කියල බොස් කියල තියෙද්දි. මං කල්පනා කළේ මෙහෙම ස්මාට් විදියට ට්‍රැවල් කරන්න දන්න මං මොකටද ට්‍රැෆික් මැද්දෙ කාර් එළවන්නෙ කියලා.