අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත – 2020 සැප්තැම්බර් 6

උපාධිධාරී රැකියා විරහිත පුද්ගලයන් 60,000කට රැකියා ලබාදීම සංකේතවත් කරමින් පැවැත්වුණු උත්සවයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නව රැකියාලාභීන්ගෙන් ඉල්ලා සිටියේ නිෂ්පාදනයට උදව් වන ආකාරයට තම රැකියාව කරමින් සංවර්ධන ක්‍රමවේදයේ කොටස්කරුවන් වන ලෙසයි.

ඉදිරි සතියේදී දිළිඳු පුද්ගලයන් ලක්ෂයකට ද රජයේ රැකියා ලබාදෙන බව ජනාධිපතිවරයා පැවසී ය.

මෙම සියලුදෙනාටම පුහුණුවෙන් පසු රජයේ විශ්‍රාම වැටුප් සහිත ස්ථිර රැකියා හිමි වේ. රජයේ සේවයට පුද්ගලයන් ආකර්ෂණය වීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ මෙම විශ්‍රාම වැටුපයි. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක එකම සුරක්ෂිත විශ්‍රාම වැටුප් ක්‍රමය රජයේ සේවක විශ්‍රාම වැටුප යයි කිව හැකි ය.

සමාජ ආරක්ෂණ මණ්ඩලයේ විශ්‍රාම වැටුප් ක්‍රම පිළිබඳ වීඩියෝ දැන්වීමක දැක්වෙන්නේ කපු මහතකු හා මනාලියගේ මව හා පියා අතර සංවාදයකි. මනාලයා පෞද්ගලික අංශයේ රැකියාවක් කරන නිසා, විශ්‍රාම වැටුපක් නොලැබෙන නිසා, තම දියණිය ඔහුට ආවාහ කර දිය නොහැකි බව වැඩිහිටි දෙපළ කපු මහතාට කියයි.

රජය විසින් පවා පෞද්ගලික අංශය පිළිබඳ ප්‍රවර්ධනය කරනු ලබන්නේ එවැනි නිශේධාත්මක අදහසක් නම්, සමාජයේ තත්වය සිතාගන්නට පුළුවන. උපාධිධාරීන් සහ දිළිඳු ජනයා තමන් කරමින් සිටි පෞද්ගලික අංශයේ රැකියා, ස්වයං රැකියා, ව්‍යාපාර ආදිය අතහැර, ඵලදායී නොවන රජයේ රැකියාවලට එන්නේ මෙම සමාජ ආකල්පය නිසා ය.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2016 වසරේ සංඛ්‍යාති අනුව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය සන්නද්ධ හමුදා සාමාජිකයන් ලක්ෂ තුනක් ද සමග ලක්ෂ 14ක් වේ. රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සංඛ්‍යාව ලක්ෂ හයහමාරක් පමණ වේ. අලුතෙන් බඳවා ගනු ලබන පිරිස ද සමග රාජ්‍ය සේවකයන් සහ විශ්‍රාමිකයන් සංඛ්‍යාව ලක්ෂ 22 ඉක්මවනු ඇත. එය මෙරට ජනගහනයෙන් 10%කි. සෑම දහදෙනෙකුගෙන් ම එක් අයෙකු ඍජුව ම රජයෙන් යැපෙන අයෙකු වනු ඇත. ඔවුන්ගෙන් යැපෙන්නන් සංඛ්‍යාව තුනක් ලෙස ගණන් බැලූ විට රටේ ජනගහනයෙන් 30%ක්වත් රජයෙන් යැපෙන්නන් වනු ඇත.

ප්‍රශ්නය වන්නේ, මෙම සියලු වියදම් දරන්නේ පෞද්ගලික අංශයේ නිෂ්පාදන හා සේවා ආර්ථිකයේ විධිමත් හා අවිධිමත් අංශවල ශ්‍රමිකයන් විසින් කරනු ලබන නිෂ්පාදනයෙනි. එහෙත්, එකී පෞද්ගලික අංශය ගැන රජය පවා සමාජය තුළ ප්‍රවර්ධනය කරනු ලබන්නේ නිශේධාත්මක අදහසකි.

මිනිසුන් ව්‍යවසායකත්වය පැත්තට යොමු වීම රටේ සංවර්ධනය පැත්තෙන් හොඳ ය. එහෙත්, ලංකාවේ ජනතාව අතරින් ව්‍යවසායකයන් සිටින්නේ 5%කටත් අඩු පිරිසකි. කාන්තා ව්‍යවසායිකාවන් සංඛ්‍යාව 1%ටත් අඩු ය.

වසර 20ක සේවයෙන් පසු මම රජයේ ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගත්තෙමි. අඩු වයසින් විශ්‍රාම යන කාන්තාවන්ට විශ්‍රාම යන දිනයේ සිට ම යම් ප්‍රතිශතයක විශ්‍රාම වැටුපක් ගෙවන මුත් පිරිමි පුද්ගලයන්ට විශ්‍රාම වැටුප් හිමි වන්නේ වයස අවුරුදු 55 පිරුණු පසු ය. ඉදිරි සැප්තැම්බර් මාසයේදී මට වයස අවුරුදු 55 සපිරේ. කොරෝනා ඇඳිරි නීතියෙන් පසු රජයේ කාර්යාල විවෘත කළ වහා ම මම විශ්‍රාම වැටුප සඳහා අවශ්‍ය ලියකියවිලි භාර දුන්නෙමි. මගේ විශ්‍රාම වැටුප සැකසීම සඳහා මා වැන්දඹු හා අනත්දරු අරමුදලට දායක වූ බවට මා මීට අවුරුදු 25කට පමණ පෙර කාලයේදී සේවය කළ කැබිතිගොල්ලෑව හා අනුරාධපුර කලාපවලින් ලියුම් ගෙන්වාගත යුතුව තිබේ. එය මගේ කාර්යයක් නොවේ. කලාප කාර්යාල දෙකක් අතර ලියුම් හෝ දුරකථන ඇමතුම් මගින් අවශ්‍ය ලේඛනයක් ගෙන්වා ගැනීමට බැරි තරමට රජයේ සේවය කාර්යක්ෂම ය. ශත වර්ෂ කාලක පමණ කාලයක් මා සම්බන්ධතා පවත්වා නොමැති කාර්යාලයක් වෙත කිලෝමීටර් සිය ගණනක් ගෙවා ගොස් ලියුමක් රැගෙන එන්නැයි දැන් මගෙන් ඉල්ලා තිබේ. මා දැනට ව්‍යාපාරයක යෙදී සිටින නිසා මට මෙම කුඩා විශ්‍රාම වැටුප ගැන ලොකු උනන්දුවක් නැත. එහෙත්, මහළු වියේදී දරිද්‍රතා රේඛාවෙන් පහළට මා නොවැටී සිටීමට හෝ එය ප්‍රයෝජනවත් වනු ඇත.

මා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කළ සමයේ මගේ සේවා ගිවිසුම අනුව මා ඔවුන් විසින් ලබාදෙන සමාජාරක්ෂක දීමනාව මවිසින් සොයාගත් විශ්‍රාම වැටුප් ගිනුමක ආයෝජනය කළ යුතු විය. මෙය එවැනි ආයතන විසින් තම ඩොලර් විශ්‍රාම වැටුපෙන් මෙන් ම දේශීය ඊපීඑෆ්, ඊටීඑෆ් ආදියෙන් ද සේවකයන් බැහැර කර ඇඟ බේරාගැනීම සඳහා කරන දෙයකි. එය නොකරන ලංකාවේ එකම එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය ජාත්‍යන්තර කම්කරු සංවිධානය පමණි. සේවා ගිවිසුමේ සඳහන් ඉහත කී අවශ්‍යතාව සඳහා මම පෞද්ගලික විශ්‍රාම වැටුප් ක්‍රම පිළිබඳ සොයා බැලුවෙමි. ඇත්තෙන් ම, සොයා බලන්නට තරම් විවිධ විශ්‍රාම වැටුප් ක්‍රම රැසක් මේ රටෙහි නැත. විවිධ බැංකු විසින් ලබාදෙන දායකත්ව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම තිබේ. එහෙත්, ඒ කිසිවකින්, විශේෂයෙන් ම ජීවිතයේ වයස්ගත ම අවධියේදී පුද්ගලයකු දිළිඳුභාවයට පත්වීම වැළැක්වීමේ ක්‍රමවේදයක් සැපයෙන්නේ නැත. ඒවා බොහෝ විට ළමා ඉතිරිකිරීමේ ගිනුම් වැනි දිගුකාලීන ඉතුරුම් ගිනුම් වන අතර, රටේ පවතින උද්ධමනය අනුව අදාළ කාලසීමාව අවසානයේදී ගිනුමෙහි ඉතිරි වන මුදලට වටිනාකමක් තිබේද යන්න ගැටලුවකි. ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් පෙන්ෂන් ප්ලස් නම් විශ්‍රාම වැටුප් දායකත්ව ඉතුරුම් ක්‍රමයක් හඳුන්වා දී තිබෙන මුත්, එහි දැන් ආකර්ශනීය පොළියක් නැත. පසුගිය රජය සමයේ හඳුන්වා දෙන ලද වැඩිහිටි ස්ථාවර තැන්පතුවලට ඊට වඩා ඉහළ පොළියක් ලැබේ. එහෙත්, එහි ආයෝජනය කළ හැක්කේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ය.

රාජ්‍ය විශ්‍රාම වැටුපක හිමිකම නොමැති පුරවැසියන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ සහතික කිරීම වෙනුවෙන් ම රජය විසින් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය පිහිටුවා තිබේ. රාජ්‍ය විශ්‍රාම වැටුපක හිමිකම් නොමැති තැනැත්තන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා විශ්‍රාම වැටුප් ලබා දීම, හදිසි අකර්මන්‍යතාවයන්හිදී හා මරණයේදී මූල්‍ය සහනය ලබා දීම සදහා , විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබ තිබේ. එහෙත්, එහි කියුම් තරමට කෙරුම් තිබේදැයි පැහැදිලිව දැකගැනීමට තරම් සමාජ ආරක්ෂණ මණ්ඩලය ජනතාව අතරට ගොස් නැත. රාජ්‍ය ආරක්ෂාව ඇති දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රම ජනතාව අතර ප්‍රචලිත කිරීමට රජය කටයුතු නොකරන්නේ ඇයි ද යන හේතුව අපැහැදිලි ය.

නිල සංඛ්‍යාලේඛන අනුව, මේ වන විට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60ට වැඩි ජනතාවගෙන් කුමන හෝ ආකාරයක විශ්‍රාම වැටුපක් ලබන්නේ 30%ක් පමණි. තවත් 18%කට දිළිඳු සහනාධාරය ලැබේ. එහෙත්, මෙකී විශ්‍රාම වැටුප් ලබන වයස අවුරුදු 60ට වැඩි ජනගහණයෙන් දරිද්‍ර‍තා රේඛාවෙන් ඉහළ මට්ටමේ ආදායමක් ලබන්නේ රාජ්‍ය සේවා විශ්‍රාම වැටුප ලබන 20% පමණක් බව පර්යේෂිකා නිශා අරුණතිලක විසින් සටහන් කර තිබේ.

2012 ජන හානිවාස සංගණනය අනුව,  ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටි ජනගහණය සමස්ත ජනගහණයෙන් 12.7%ක් පමණ විය. මීළඟ ජන සංගණනයේ ප්‍රතිඵල ලැබෙන 2022 පමණ වන විට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් පහෙන් පංගුවක් වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් විය හැකි ය. විශ්‍රාම වැටුප මෙතරම් වැදගත් මාතෘකාවක් වන්නට හේතු තිබේ.

4 thoughts on “පැන්ෂන් පඩිය

  1. Aluthen ekwana raajapurusayanta vissrama wetup gewanna denma sidu nowana bawa hondinma dannaa aanduwa senasiliwadanin adaala janathawa sathapawathi .

  2. එකම දෙපාර්තමේන්තුවේ කාර්යාල දෙකක් අතර ලියුම් ගෙන යාමේ වැඩ කටයුත්ත විශ්‍රාමික සේවකයෙකුට පැවරීම තරම් විහිළුවක් තවත් වේද

  3. මගේ දින පොතෙන්.
    දිනය 1981 පෙබරවාරි 12 අඟහරුවාදා

    ලංකා බැංකුවේ පෙන්ෂන් ස්කීමය.
    රුපියල් 30 ගානේ මාස 240 ක් තැන්පස් කළ පසු අවුරුදු පහක් මසකර 253 බැගින්. ඊළඟට *** බැගින්. අවසානයේ රුපයිල් 900 ගණනක් ලැබෙනවා. හරි වාසි වැඩක් වගේ පෙන්නේ. ඒ වුණාට මුදල්වල අගය කොයි තරම් අඩුවෙනවාද?

Leave comment

Your email address will not be published. Required fields are marked with *.