Che on three wheeler

චන්ද්‍ර ජයසිංහ

පළමු කතාව

පහුගිය දවසක රාත්‍රියෙ පුංචි සාදයකට සහභාගි වෙන්න වුණා. පොඩ්ඩක් වෙන්න සප්පායම් වෙච්ච හිංද වාහනය සංස්ථාවේ තියල ගොඩවුනා ත්‍රීවීලර් එකකට. වෙලාව රාත්‍රී එකොලහට විතර. ගමන ටොරිංටන් ඉඳන් වනාතමුල්ලට. ත්‍රීවීලර් පදවන්නා තරුණ හාදයෙක්. යන ගමන් මං නිකමට ඇහුව ත්‍රීවීලර් එක කොහෙ එකක්ද කියල. මේක කියපි හලාවත කියල. මේ ඔහු මගේ ප්‍රශ්න වැලට දුන්න කතන්දරේ. මිනිහ හලාවත ආරච්චිකට්ටුවෙ. ත්‍රීවීලර් එක හයර් දුවන්නෙ කොළඹ අවට. නිශ්චිත නැවතුම්පොළක් නැහැ. දවස් පහක් හයක් එක දිගට හයර් දුවල දවසක් දෙකක් ගෙදර ගිහින් එනව. බෝඩිමක් නවාතැනක් නැහැ. රාත්‍රිය ගෙවන්නෙත් ත්‍රීවීලර් එකේමයි. මුහුණ කට සෝදාගැනීම, නාගැනීම ආදී කටයුතු නගර සභාවෙ පොදු ස්ථානයකින්. සැලකිය යුතු මුදලක් දවස් පහට ඔහු සොයා ගන්නව.

දෙවන කතාව

මං වැඩ ඇරිල සවස හයට විතර 154 බස් එකක් එනකන් ටොරිංටන් හෝල්ට් එකේ වාඩිලෙ. මාව පහු කරගෙන ගිය ත්‍රීවීලර් එකක් නතර වෙනව. මහත්තයා …. මං ඒ දිහා බලල අහක බලා ගත්තෙ ත්‍රීවීලර් එකක යන්න මගේ බලාපොරොත්තුවක් නොතිබුණ හිංද. ත්‍රීවීලර් එක මගේ ලඟටම රිවස් වෙනව. මහත්තයා මාව අඳුර ගත්තෙ නෑනෙ…. මං ජයවතී අක්කගෙ පුතෙක්….. ගමේ අම්මගෙ වයසෙ විතර, ගමම ජයවතී අක්ක හැටියට දන්න ඇය ගැන මට මතකයක් තිබුණ. මෙහෙ මොකද කරන්නෙ…. කොළඹ ත්‍රීවීලර් දුවනව. ඉන්නෙ බෝඩිමක. මාසෙකට සැරයක් විතර ගමේ ගිහින් එනව. ගමේ හයර් දුවනවට වඩා මෙහෙ හොඳයි.

Translations by Creative Content Consultants

පසුගිය කාලවකවානුවේ මැදියම් රැයේ කොළඹ නගරය පුරා සැරිසරන්නට අවස්ථා ලැබිල තියෙනව. අඩු ආදායම් ලාභී පිරිස් ජීවත්වන වනාතමුල්ල, ආමර්වීදිය, බ්ලූමැන්ඩල්, පංචිකාවත්ත, හැටේවත්ත, දෙමටගොඩ, තාරවත්ත, තොටලඟ, ආදී බොහොමයක් ප්‍රදේශවල මාර්ග අසබඩ රාත්‍රී කාලයේ විශාල වශයෙන් ත්‍රීවීලර් නවතා තියෙනව දකින්න පුළුවන්. ඉහත කතා දෙකත් මේ දර්ශනත් එක්ක මට ඔවුන් ගැන නැගුණු සිතුවිලි ….

කොළඹ නගරය පුරා කෙතරම් ත්‍රීවීලර් ප්‍රමාණයක් සැරිසරනවද….

කී දෙනෙක් මේ යටතේ ජීවිතය ගැටගහ ගන්නවද….

දුම්රිය, බස්රිය, වගේම පොදු ප්‍රවාහන සේවයක් නෙමෙයිද ත්‍රීවීලර් …..

මාර්ග පුරා ධාවනයේදී මාර්ග නීති රීති හා විනය පිළිබදව පවතින තත්ත්වයන් සුභදායකද……

කොළඹ නගරය තුල ඇතිවන අධික වාහන තදබදයට ඔවුන්ගේ බලපෑම් කෙතෙක්ද….

මුදල් අයකිරීම අවස්ථාවන් අනුව හා පුද්ගලයන් අනුව විචල්‍ය වෙන්නේ කොහොමද …..

සම්මත ගාස්තු ක්‍රමයක් පැවතිය යුතු නැද්ද….

නගරය පුරා තියෙන වාහන ගාල් කිරීමේ ස්ථාන ඔවුන්ගේ ආධිපත්‍යයට නතු වී නැද්ද ….

තරුණ පරම්පරාව මේ වටා එකතුවීම රටක සංවර්ධනයට බලපෑමක් නොවන්නේද…..

නීතිවිරෝධී හා සදාචාර විරෝධී කටයුතු වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය කෙබඳුද …..

ත්‍රීවීලර් නිසි නියාමනයකට ලක්විය යුතු නැද්ද ….

මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන වලට අනුව 2020 වර්ෂය වන විට ලංකාවේ ලියාපදිංචි ත්‍රීවීලර් ප්‍රමාණය 1,178,303 ක්. සාමාන්‍යයෙන් 2020 ජනවාරි මස සිට මාසයකට අළුතින් ත්‍රීවීලර් 1400 -1500 විතර ලියාපදිංචි වෙනව.

ත්‍රීවීලර් බොහොමයකම හිමිකරුවන් අඩු ආදායම් ලාභී පිරිස්, නැත්නම් මධ්‍යම පන්තියේ පිරිස්. බොහෝ වෙලාවට ඔවුන් සේවය සපයන්නෙත් ඒ අයටම තමයි. මම දකින විදිහට ඔවුන් කරන්නා වූ සේවය සුළුකොට සැලකිය යුතු නැහැ. විශේෂයෙන් රාත්‍රී කාලයේ නාගරික ප්‍රදේශ වල වුණත් පොදු ප්‍රවාහන සේවාවන් නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.ඒ අවස්ථාවලදී ඔවුන්ගේ දායකත්වය අමතක කරන්න බැහැ. නාගරික අතුරු මාර්ගවල පොදු ප්‍රවාහන සේවය සපයන්නෙත් ඔවුන්. ඒ වගේම ජනගහනය අඩු, අවම පොදු ප්‍රවාහන සේවයක් තියෙන දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල සේවය සපයන්නෙත් ඔවුන්.

අද වෙනකොට Pikme,Uber, ආදී ප්‍රවාහන ආයතන හරහා ත්‍රීවීලර් වලට නවීන තාක්ෂණික ක්‍රමවේදයන් ලඟා වෙලා. ජනතාවට යායුතු තැනට නිවැරදිවම ලඟා වීමට හැකියාව වගේම ගමන් ගාස්තු පිළිබඳව අවබෝධයත් කලින්ම ලැබෙනව. මෙමගින් ගමන අවසානයේ ත්‍රීවීලර්කරුවන් හා ජනතාව අතර සිදුවන අනවශ්‍ය කතාබහ හා ගැටුම් අවම වෙනව. ජනතාවගේ පැත්තෙන් බැලුවොත් විශ්වාසනීය සේවාවක් මේ තුලින් ලබා ගන්නත් පුළුවන්. හැබැයි රට පුරාම පැවැත්වෙන විදිහට මේ සංවිධාන ව්‍යූහයන් තවමත් සකස් වෙල නැහැ. ඒ වගේම මේ තාක්ෂණය හා මේ ආයතන සමග ලියාපදිංචි වෙල ඉන්නෙ ත්‍රීවීලර් හිමිකරුවන්ගෙන් අතලොස්සක් විතරයි.

මට හිතෙන දැනෙන විදිහට බස්රිය දුම්රිය සේම මොවුනුත් පොදු මගී ප්‍රවාහන සේවයක් ලෙස සලකා සංවර්ධනය කළ යුතුයි.

හැබැයි ඔවුන් දැඩි නීති පද්ධතියකට හා විනය පද්ධතියක් තුල හසුරවා ගතයුතුයි.

Translations

Leave comment

Your email address will not be published. Required fields are marked with *.