Chamila Thushari - Dabindu

ඩාබිඳු සාමූහිකයේ චමිලා තුෂාරි සමග සාකච්ඡාවක් (හරි ටීවී වීඩියෝව ලිපිය අග)

රට පුරා නිදහස් වෙළඳ කලාප 15ක් පමණ තිබෙනවා. කටුනායක, වතුපිටිවල, බියගම, හොරණ, සීතාවක, කොග්ගල, මාවතගම ආදී නිදහස් වෙළඳ කලාප අතරින් කටුනායක ප්‍රධානයි. කොවිඩ්-19 පැතිරීමේ තර්ජනයත් සමග පසුගිය මාර්තු 27දා සිට නිදහස් වෙළඳ කලාපවල සියලු කර්මාන්ත ශාලා නැවත දැනුම් දෙනතුරු වසා දමන්නට රජය ආයෝජන මණ්ඩලය හරහා පියවර ගත්තා.

Translations by Creative Content Consultants

කටුනායක නිදහස් වෙළඳ කලාපය ආශ්‍රිතව කම්කරු කාන්තාවන් සමග සමීපව කටයුතු කරන සංවිධානයක් වන ඩාබිඳු සාමූහිකයේ ක්‍රියාකාරිනියක වන චමිලා තුෂාරි පවසන අන්දමට කටුනායක වෙළඳ කලාපයේ කම්කරුවන් මෙම ඇඳිරි නීති නිසා මහත් දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා.

“නිදහස් වෙළඳ කලාපවල සේවය කරන කම්කරුවන් 275,000ක් අතරින් බහුතරය වයස අවුරුදු 18-30 අතර කාන්තාවන්. ඇඟලුම් අපනයනය තමයි රටේ දෙවෙනි ප්‍රධාන විදේශ විනිමය උත්පාදන මාර්ගය. එමගින් දළ දේශීය නිෂ්පාදනයෙන් 7%ක් සපයනවා. අපනයනවලින් 40%කට වඩා ඇඟලුම්.” 2019 වසරේ ඇඟලුම් අපනයනයෙන් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 5.6ක් උපයාගෙන ඇති බව නිල සංඛ්‍යාලේඛන පවසයි.

“මේ කාන්තාවන් ඈත ප්‍රදේශවලින් සංක්‍රමණය වූ අය. ඔවුන් සාමාන්‍ය පෙළ වගේ මට්ටමට තමයි ඉගෙනගෙන තියෙන්නේ. වෘත්තීය සමිතිවල සංවිධානය වෙලා තිබෙන්නේ 5%ක් වගේ ඉතා සුළු පිරිසක්. වැඩිදෙනෙකු වෘත්තීය අයිතිවාසිකම් දන්නේ නැහැ. ඇතැම් කාන්තාවන්ගේ බලාපොරොත්තුව අවුරුදු පහක් සේවය කර පාරිතෝෂිකයත් අරගෙන ගමට යන්න. ඇතැම් කාන්තාවන් පවුල්වල සාමාජිකයන්ට උදව් කරන්නට වගේ ම විවාහය සඳහා අවශ්‍ය දෑවැදි සොයාගන්නත් මෙම රැකියා කරනවා. ඔවුන් ආරක්ෂාව ඇතුළු බොහෝ ගැටලුවලට මුහුණ දෙනවා. ඔවුන්ට රැකියාව වෙනුවෙන් දවසේ පැය 24 ම නිවසින් බැහැරව කටයුතු කරන්නට සිදු වී තිබෙනවා,” යි ඇය පෙන්වා දෙනවා.

මෙම ශ්‍රමිකයන්ට ගම්බිම් බලා යාමට හමුදාව මගින් පහසුකම් සැලසුවත්, එසේ ගම්බිම් බලා නොගිය පිරිස අති විශාලයි. එයට හේතු ගණනාවක් චමිලා තුෂාරි පෙන්වා දුන්නා.

“මාර්තු 20 තමයි මුලින් ම ඇඳිරි නීති පැනෙව්වෙ. ඇඳිරි නීති ඉක්මණින් ඉවත් කරයි කියලා හිතලා ඇතැම් කර්මාන්ත ශාලා කළමනාකරුවන් සේවකයන්ට නොගිහින් ඉන්න කිව්වා. මාර්තු 27දා හැමෝම ගම්බිම්වල ගියේ නැහැ. ඇතැම් අය පවුලත් සමග කුඩා නවාතැන්වල පදිංචි වෙලා ඉන්නවා. සමහරුන්ට ගමේ ගිහින් ඉන්න තැනක් නැහැ. ගිහින් කරන්නට දෙයක් නැහැ. ඒ වගේම, සමහරුන්ට වැටුප් ලැබුණෙ නැහැ. ඔවුන් ළඟ ගමේ යන්න වගේම මෙහේ ඉන්නත් මුදල් තිබුණෙ නැහැ. ඔවුන් පුරුදු වෙලා ඉන්නෙ ණයට භාණ්ඩ ලබාගන්න. වැටුප් ලැබුණාට පස්සෙ තමයි නවාතැන් කුලී, කඩ කුලී ආදිය ගෙවන්නෙ.”

“වැඩියෙන්ම පීඩාවට පත් වූ පිරිසක් වන්නේ රු. 900-1,200 අතර වැටුපට සේවය කරන මෑන්පවර් සේවකයන්. එවැනි සේවකයන් වැඩ කරන්නේ වඩා නිදහස් පදනමින් මෑන්පවර් සේවායෝජකයන් 15ක් පමණ ප්‍රමාණයක් සමගයි. ඔවුන් කැමති තැනක වැඩ කරනවා. ඔවුන්ගේ සේවා ස්ථාන, වැඩ කරන කාලය හා කරන වැඩත් දවසින් දවස වෙනස් වෙනවා. ඇතැම් වැඩ අවදානම්. එහෙත්, ඔවුන්ට ස්ථිර සේවකයන්ට හිමි කිසිදු වරප්‍රසාදයක් ලැබෙන්නේ නැහැ. දෛනික වැටුප පමණයි.”

ඇඳිරි නීතිය දිග්ගැසෙන විට මෙම පිරිස්වලට කෑම බීම සපයාගැනීම පවා දුෂ්කර වුණා. වෙනත් විකල්පයක් නැති නිසා ඔවුන්ට ආපසු ගම්බිම් බලා යන්නට අවශ්‍ය වුවත්, ඒ සඳහා ඇඳිරි නීති බලපත්‍ර ලබා නොදෙන ලදී. 15,000ක් 20,000ක් පමණ පිරිසක් මේ අන්දමින් කටුනායක නිදහස් වෙළඳ කලාප අවට හිර වූ බව චමිලා තුෂාරි පෙන්වා දෙනවා.

අවාසනාවන්ත තත්වය වන්නේ මෙම පුද්ගලයන් කටුනායක ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් නොවූ නිසා ඔවුන්ට රජය විසින් ලබාදෙන ලද රු. 5,000 දීමනාව ද නොලැබීමයි.

මෙම කම්කරුවන්ගේ මාසික අවම වැටුප රු. 14,500ක් වන අතර චමිලා තුෂාරි අධ්‍යයනයක් පාදක කරගෙන පෙන්වා දෙන්නේ යහපත් ජීවිතයක් සඳහා මේ වන විට පුද්ගලයකුගේ ආදායම රු. 72,000ක් විය යුතු බවයි.

මේ අතර සේවායෝජකයන් නියෝජනය කරන සංවිධාන මාධ්‍යවලට පැවසුවේ 30%ක් පමණ රැකියා කප්පාදුවක් කිරීමට සිදු වනු ඇති බවයි. එහෙත්, කම්කරු අමාත්‍යාංශයේ කාර්ය සාධන බලකාය විසින් කිසිදු රැකියා කප්පාදුවක් නොකරන්නැයි උපදෙස් දී තිබෙන බව චමිලා තුෂාරි පෙන්වා දෙයි. මේ වන විට, සමාජ දුරස්ථකරණ හා වෙනත් සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව කාණ්ඩ වශයෙන් බොහෝ කර්මාන්ත ශාලා නැවත ආරම්භ කර තිබේ.

“ඒ වුණත්, මාර්තු, අප්‍රේල් වැටුප් පවා සේවකයන්ට දුන්නෙ නැති සමාගම් තියෙනවා. සේවකයන් ඉවත් කරපු සමාගම් තිබෙනවා. අවුරුදු පහක් සේවය කරලා පාරිතෝෂිකය ලබාගන්නට මාස දෙක තුනක් අඩුවෙන් සිටි අයව සේවයෙන් පහ කර නැවත බඳවාගැනීම හරහා ඔවුන්ට පාරිතෝෂිකය අහිමි කළ සමාගම් ද තිබෙනවා. සෑම සමාගමක් වගේ සේවකයන් අවුරුද්දක් විතර වැඩ කිරීමෙන් අයිතිවාසිකම් කියූ බෝනස් එක කපා දැම්මා. රජය ආයෝජකයන්ට බදු සහන සහ සියලු යටිතල පහසුකම් සපයනවා. එහෙම තිබිලාත්, මාස දෙකකින් කර්මාන්තයක් කඩාවැටෙනවා නම් එවැනි ජීවනෝපාය මාර්ග ගැන අප නැවත සිතා බැලිය යුතුයි. 2018දී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා, නිදහස් වෙළඳ කලාපවල පුරප්පාඩු 74,000ක් තිබෙනවා ය කියලා. ඒ කියන්නෙ සේවකයන් තෘප්තිමත් නැහැ. කොහොම වුණත්, වැඩ කරන අය දැඩි කැපකිරීම් කරලා නිෂ්පාදනය නංවලා තිබෙනවා.

“අඩු වයස් කාන්තාවන් සහ යුද වැන්දඹුවන් වැනි පිරිස් බඳවාගැනීම හරහායි මේ පුරප්පාඩු පිරෙව්වේ. ඒවායින් ඇති වුණ අලුත් ප්‍රශ්නත් තිබෙනවා,” යි චමිලා පවසයි.

කටුනායක වැනි නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව සේවය කරන සංක්‍රමණික කම්කරුවන් මුහුණ දෙන ගැටලු සංකීර්ණයි. “ඔවුන්ගේ නවාතැන් පවතින්නේ ජීවත් වීමට එතරම් සුදුසු තත්වයක නොවෙයි. සමහර තැන්වල සිය ගණන් සේවකයන් ඉන්නවා. ඒවායේ සමාජ පරතරයන් තබාගැනීමට ඉඩ නැහැ. නාන ස්ථාන හා වැසිකිළි විශාල පිරිසක් විසින් හවුලේ භාවිතා කරනවා. ඒ නිසා කොවිඩ්-19 හේතුවෙන් ඔවුන් දැඩි අවදානමකට ලක් වනවා.”

එසේම, මේ වන විට ඔවුන්ගේ රැකියාවලට ද තර්ජනයක් එල්ල වී තිබෙනවා. “ලංකාවේ බොහොමයක් ඇඟලුම් නිෂ්පාදනය කරන්නේ වික්ටෝරියාස් සීක්‍රට්, අඩිඩාස්, මාක් ඇන් ස්පෙන්සර් වගේ කීර්තිමත් සන්නාමවලට. ඒ ඇණවුම් නතර කිරීමට ඉඩ නොදී රජය
ඔවුන්ගේ රැකියා ආරක්ෂා කර දෙන්නට ඕනැ මේ කාන්තාවන් බහුතරයකට ස්වයං රැකියාවක්වත් කරගන්නට තරම් විධිමත් පුහුණුවක් නැහැ. ඔවුන්ට ඇඳුමක් සම්පූර්ණයෙන් මසන්නට තරම් දැනුමක් නැහැ. ඔවුන්ගේ සමාජ ආරක්ෂාව ගැන, විකල්ප ඇණවුම් හා රැකියා අවස්ථා ගැන රජය මැදිහත්ව කටයුතු කරන්නට ඕනැ,” යි චමිලා තුෂාරි පැවසුවා.

චමිලා තුෂාරි නියෝජනය කරන්නේ සේවකයන්ගේ පාර්ශ්වයයි. ආයෝජකයන්ට ද මෙම තත්වය හමුවේ ගැටලු ඇති බව අපි පිළිගන්නෙමු. ඒවාට ද විසඳුම් සෙවීම සමාජ වගකීමකි.

Translations

1 thought on “කොවිඩ්-19 නිසා නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ට මොකක්ද වෙන්නෙ? (වීඩියෝ)

  1. ස’ට කියමු,
    ඉතිං වෙන මොනවා කරන්නද?
    කෙසේ වෙතත්, රටට ඉහළම සේවාව ලබාදෙන විදෙස් ශ්‍රමිකයින්ට සහ අපනයන කර්මාන්තවල සේවය කරන අයට රජය (සහ පොදුවේ මහජනතාවත්) සළකන ආකාරය නම් හරිම කැතයි!

Leave comment

Your email address will not be published. Required fields are marked with *.