Amani al-Khatahtbeh, US blogger

කැකිරාව අධ්‍යාපන කලාපයේ කඩාටුගම, ජයා මුස්ලිම් පාසලේ අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ විභාගයට පෙනි සිටීමට පාසල් නිල ඇඳුමින් සැරසි ගිය සිසුවියන් 80ක පමණ පිරිසක් එම පාසල‍ෙ විභාග මධ්‍යස්ථානාධිපතිවරයා විසින් නොවැම්බර් 2 දින ආපසු හරවා යවා ඇතැයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසයි. මෙම විභාග මධ්‍යස්ථානාධිපතිවරයා සිසුවියන්ට පර්දාව ඇඳ විභාගයට පෙනී සිටීමට ඉඩ දී නැත. එහෙත්, පර්දාව එම සිසුවියන්ගේ නිල ඇඳුමේ කොටසකි. මෙවැනි ජාතිවාදී ක්‍රියාවන්හි යෙදෙන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් රජය කුමක් කරනු ඇද්ද?

Translations by Creative Content Consultants

පර්දාව යනු කුමක් ද? පහත පළවන්නේ ප්‍රකට සිංහල ජාතිකවාදියකු වන උදය ගම්මන්පිල විසින් පර්දාව පිළිබඳ 2013දී ලියන ලද පැරණි ලිපියකි. උපුටාගැනීම UdayaGammanpila.com

ඇය නමින් නාලනීය.  ඇය මා කුඩා කළ සිට හඳුනන්නීය.  ඒ නිසාම මම ද ඇය කෙතරම් වෙස් වලා ගත්තත් හොඳින් හඳුනමි.  වසර පහලොවකට පමණ පසු මෑතක දී ඇය මට හදිසියේම මුණ ගැසිණි.  ඇය සිටියේ මුස්ලිම් කාන්තාවක් මෙන් පර්දාවකින් සිය උඩුකය වසාගෙනයි.  ඇයගේ මේ වෙනස දුටු මම “ඇයි නාලිනි දැන් නලීමා වෙලාදැ”යි ඇසුවෙමි.  මා ඉන් අදහස් කලේ නාලිනි ඉස්ලාම් ආගම වැළඳ ගත්තේදැයි විමසීමයි.  එවිට ඇය පැවසුවේ ගින්නකට ගොදුරු වී දරුණු ලෙස විරූපි වූ බවත් අන් අයට තමන් පිළිබඳ පිලිකුලක් ඇතිවීම වළක්වා ගැනීමට ඇය පර්දාවෙන් සිරුර ආවරණය කරගත් බවයි.

පර්දාවෙන් සිරුර ආවරණය කර ගන්නේ හුදෙක් මුස්ලිම් කාන්තාවන් පමණක් නොවන බව මට අවබෝධ වූයේ එදිනයි.   ඉන්පසු මුස්ලිම් නොවන අය පර්දාව පලඳින බවට තවත් නිදසුන් මතකයට නැගිණි.  ඉන්දියාවේ ගැමි හින්දු කාන්තාවන් සියළුදෙනාම පාහේ සිටින්නේ සිය සාරි පොටින් හිස ආවරණය කරගෙනය.  එමෙන්ම ඉස්ලාම් දහම බිහිවීමට වසර හයසීයකට පමණ පෙර සිදු වූ ජේසු බිළිඳුගේ උපත මට සිහිපත් විය.  එම උපත දැක්වෙන සෑම සිතුවකම ජේසුතුමන්ගේ මව සිටින්නේ පර්දාවක් පැළඳය.

ඉහත නිදසුන්ට අනුව කාන්තාවන් පර්දාවන් පැළඳීම ඉස්ලාම් දහම බිහිවීමට සියවස් ගණනාවක පෙර සිටම පැවැති බව පෙනේ.  පර්දාවේ සිට බුර්කාව දක්වා විවිධ මුස්ලිම් ඇඳුම් අතීතයට මෙන්ම වර්තමානයට ද අයිති නමුත් සමහර රටවල අනාගතයට අයිති නොවන බව බටහිර රටවලින් ලැබෙන තොරතුරු වලින් පෙනේ (මෙහිදී පර්දාව සහ බුර්කාව යන පද යොදා ගත්තේ කුරාන අරුතෙන් නොව සිංහල භාවිතා අරුතෙනි.  ඒ අනුව පර්දාව යනු හිස ඇතුළු උඩුකය ප්‍රදේශය ආවරණය කිරීමට යොදා ගන්නා විශාල ලේන්සුවයි.  බුර්කාව යනු සමස්ත සිරුරම ආවරණය වන අයුරින් හඳින ලෝගුවයි).

පසුගිය ජූලි 13 දා ප්‍රංශයේ පාර්ලිමේන්තුව විසින් එරට තුල ප්‍රසිද්ධ ස්ථානයන්හි මුහුණ සඟවා ගැනීමේ අරමුණින් ඇඳුම් ඇඳීම තහනම් කරන නීතියක් සම්මත කරන ලදී.  එකී නීතියට විරුද්ධව එක් ඡන්දයක් ලැබෙන විට පක්ෂව ලැබුණු ඡන්ද ගණන 335කි.  එකී නීතිය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ දී කතා කළ මන්ත්‍රිවරුන් විසින් මෙම නීතියට පක්ෂව විවිධ කරුණු ඉදිරිපත් කරන ලදී.  ඒ අතර පීඩාවට පත් කාන්තාවන්ට විමුක්තිය ළඟා කර දීම, කාන්තාවන්ගේ සුන්දර සිනාව විඳීමට සමාජයට අවස්ථාවක් ලබාදීම,  තමන් කතා කරන පුද්ගලයාගේ මුහුණේ ඇතිවන හැඟීම් දැක ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම, අපරාධකරුවන්ට මුහුණ සඟවා ගැනීමට අවස්ථාවක් නොදීම සහ ප්‍රංශ සංස්කෘතියට බුර්කාව නොගැලපීම වැනි කරුණු තිබිණි.

ඉහත දැක්වූ සුන්දර වදන් තුල සැබෑ අරමුණ සැඟවීමට වෙර දැරුවත් ඔවුන් කලේ සිය රට තුල වසන සහෝදර මුස්ලිම් ජනතාවට එරෙහිව යුද ප්‍රකාශ කිරීමයි.  වෙනත් වචන වලින් පැවසුවොත් දෙදහසක් පමණ වූ බුර්කා අඳින කාන්තාවන්ට විමුක්තිය සැලසීමට යැයි කියමින් මිලියන 5ක් පමණ වූ මුස්ලිම් ජනගහනයෙන් පලි ගැනීමයි.  ප්‍රංශ මුස්ලිම්වරුන්ගෙන් මෙසේ පලි ගැනීමට හේතු වූයේ කිසි දා ඔවුන් දැක නැති නොහඳුනන තවත් මුස්ලිම් පිරිසක් ඇෆ්ගනිස්ථානයේ යුද්ධයෙන් ජය පැන් බීමට ප්‍රංශයට ඉඩ නොදීමයි.

පිරිමින් රිසි පරිදි සිරුර ප්‍රදර්ශනය කරමින් කාන්තාවන්ට සමස්ත සිරුරම වසා ගැනීමට යම් රටක නීතියකින් බල කරන්නේ නම් එය බලවත් වරදකි.  එමෙන්ම කාන්තාවක් තම සිරුර සම්පූර්ණයෙන් ආවරණය කර සිටීමට ප්‍රිය කරන්නේ නම් එය නීතියෙන් තහනම් කිරීම ද පෙර වරද තරමින්ම බරපතල වරදකි. ප්‍රංශය කර ඇත්තේ එම බරපතල වරදයි.  කාන්තාවන්ට රිසි නම් සිරුර සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇඳුම් ඇඳීමේ අයිතියේ යම් ව්‍යතිරේඛයන් ඇති බව මම පිලිගනිමි.

මුහුණ වසාගෙන යන්නේ කෙනෙකු තම මුහුණ රජයේ නිළධාරින්ගෙන් සැඟවීමට යැයි සැකයක් ඇතිවිට මුහුණ පෙන්වන මෙන් ඉල්ලා සිටීමට එකී නිළධාරින්ට අයිතියක් ඇත.  එසේ මුහුණ පෙන්වන මෙන් කාන්තාවන්ගෙන් ඉල්ලා සිටීමට කාන්තා නිළධාරින් යෙදවීමෙන් එය වඩාත් මානුෂිකව කළ හැක.  එමෙන්ම යම් ආයතනයක නිල ඇඳුමකට පර්දාව හෝ බුර්කාව පැලඳීම නොගැලපේ නම් එවැනි නිල ඇඳුමකට පර්දාව නොපලඳින මෙන් නියම කිරීමට ද එවැනි රැකියාවකට පර්දා පලිඳින්නියන් නොගැන සිටීමට ද අයිතිය තිබේ.  එමෙන්ම කෙනෙකුට පර්දාව අඳින මෙන් බල කිරීම තහනම් කිරීමට ද අයිතිය තිබේ.  නමුත් පර්දාවක් පැලඳීමට රුචි කෙනෙකුට එය පැලඳීම තහනම් කිරීමට නම් කිසිවෙකුට අයිතියක් නැත.

ප්‍රංශ ආණ්ඩුව පර්දා පලඳින දෙදහසකට ආසන්න කාන්තාවන්ගෙන් ඔවුන් එය පලඳින්නේ බල කිරීමකට ලක් වී දැයි රහසිගතව හෝ විමසා නැත.  එබැවින් පර්දා පැලඳීමෙන් මුස්ලිම් කාන්තාවන් පීඩාවට පත් වී ඇතැයි යන්න උපකල්පනයක් පමණි.  පර්දා පලඳින ප්‍රංශ කාන්තාවන් අතර බල කිරීමට ලක් වූ කාන්තාවන් සිටිය හැක.  එමෙන්ම සිය විරූපි වූ සිරුර සමාජයෙන් සඟවා පෞරුෂත්වයකින් යුතුව සමාජයට මුහුණ දෙන නාලිනි වැනි අය ද සිටිය හැක.  එබැවින් තහනම් කළ යුත්තේ බල කිරීම මිස පර්දාව නොවේ.  එවිට රුචිකත්වය ඇත්තන්ට පර්දාවේ රැ‍ඳෙන්නටත් පීඩාවක් වී ඇති අයට පර්දාවෙන් මිදීමටත් හැකි වේ.

පර්දා තහනමේ වඩාත් හාස්‍යජනක දෙය නම් ශ්‍රී ලංකාව සුළු ජනතාවට සැලකිය යුතු ආකාරය ඉගැන්වීමට පැමිණෙන රටවල් අතර ප්‍රංශය ඉදිරියෙන්ම සිටියි.  අන් අයගේ සංස්කෘතින්ට, විශ්වාසයන්ට මෙන්ම පුද්ගල නිදහසට ද ගරු කළ යුතු බව ප්‍රංශය අපට නිරතුරුව සිහිපත් කරයි.  තමන්‍ නොකරන දෙයක් කරන මෙන් අනුන්ට දෙසන විට එය “වැදි බණ” ළෙස හැඳින්වීමට අපි පුරුදුව සිටිමු.  ප්‍රංශ ජාතිකයින් එවැනි දෙසුම් හඳුන්වන්නේ කුමන නමකින්දැයි මම නොදනිමි.  නමුත් ඔවුන් දෙසන්නේ වැදි බණ බව දැන්වත් අප තේරුම් ගත යුතුය.  “ඔවාදෙනු පරහට – තමා සම්මතයේ පිහිටා සිට” කියා කවියෙන් අපට ඉගැන්වූයේ අප කුඩා කාලයේ දීය.  එවැනි කවියක් ලිවීමට පැරණි ප්‍රංශ කවියන්ට නොහැකිවීම ප්‍රංශ ජාතියේම අවාසනාවක් යැයි මට සිතේ.

ප්‍රංශයේ මිලියන 64ක් වූ ජනගහනයෙන් මුස්ලිම්වරුන් 8%කි.  වෙනත් වදන් පෙලකින් පැවසුවොත් ප්‍රංශයේ මුස්ලිම් ජනගහනය ප්‍රතිශතාත්මකව ලංකාවේ මුස්ලිම් ජනගහනයට සම වේ.  නමුත් ප්‍රංශයේ මුස්ලිම්වරුන්ට ලංකාවේ ලැබී තිබෙන නිදහස නම් ලැබී නැත.  එකී නිදහසේ සීමාව පර්දාවට පමණක් සීමා වී නැත.  පල්ලියක් ඉදි කිරීමේ දී එය කැපී පෙනෙන අයුරින් ඉදි කිරීම තහනම්ය.  දැවැන්ත පල්ලියක සැලසුමක් නගර සභාවට ඉදිරිපත් කළ විට එවැනි පල්ලියකින් නගරයේ ගෘහ නිර්මාණ කලාවට බාධා පැමිණෙන බව දක්වමින් අනුමැතිය ලබා‍ නොදෙයි.  පර්දාව පමණක් නොව මුස්ලිම් තොප්පි පළඳින පිරිමින් ද සමාජයේ කොන් කෙරේ.

ශ්‍රී ලංකාවේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.  මුස්ලිම් ජනතාවගේ ආගමික නිදහස ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර තිබේ.  ඉතිහාසයට අනුව ලංකාවේ මුස්ලිම්වරුන් පදිංචි වූයේ පවුල් පිටින් පැමිණ නොවේ.  වෙළදාමේ පැමිණි මුස්ලිම් පිරිමින්ගේ බිරියන් වූයේ සිංහල සහ දෙමළ කතුන්ය.  වසර පන්සීයක් පුරා මුස්ලිම් ජනගහනය 8% දක්වා වර්ධනය වූයේ සංක්‍රමණ හේතුවෙන් නොව මුස්ලිම්වරුන් සමග විවාහ වන බෞද්ධයින් සහ හින්දුන් ඉස්ලාම් ආගම වැළද ගැනීමෙනි.  වසර පන්සීයක් පුරා සිංහලයින් විවාහ හරහා ඉස්ලාම් ආගමට එක්වීම තුලින් 8%ක් දක්වා මුස්ලිම්වරුන් වර්ධනය වුවත් කිසිවෙක් මෙතෙක් නීතියෙන් හෝ බලහත්කාරයෙන් එය වැළැක්වීමට වෙර දරා නැත.  එය බෞද්ධයින්ගේ සහජීවනයයි.

වර්තමානයේ යුරෝපීය රටවල් රාශියක් ප්‍රංශය පෙන්වා දුන් මග ගමන් කරමින් පර්දා තහනමට එක්වීමට කතිකාවන් අරඹා තිබේ.  එබැවින් සුද්දන් මත යැපෙමින් සුද්දන් ලවා අපට සුළු ජනතාවට සැලකිය යුතු ආකාරය උගන්වන ඊනියා විද්වතුන්ට සහ එන්ජීඕ ක්‍රියාකාරින්ට පැවසිය යුත්තේ අපි එහිලා යුරෝපයට වඩා ගව් ගණනක් ඉදිරියෙන් බවයි.

Translations

ඡායාරූපයේ සිටින්නේ එක්සත් ජනපද බ්ලොග් රචිකාවක වන Amani al-Khatahtbeh ය.

1 thought on “කැකිරාවේ විභාග මධ්‍යස්ථානාධිපති ගැලවූ පර්දාව යනු කුමක්දැයි ගම්මන්පිල කියයි

  1. Janapathiwaranyen lada jaya samaroo jana samudaagen yam nischitha adahas darana kulakayak visin “Ape aanduwa ” kiyamin siyum lesa rate podu niethiya athata ganimin sitiema suba katayuththk novei .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.