United Nations - Nations United

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත, 2021 පෙබරවාරි 21

මේ මොහොතේ ලංකාවේ බොහෝ දෙනෙක් හිතන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ බටහිර ජාතීන්ගේ උවමනාවන් ඉටු කර ගැනීමට පිහිටුවා තිබෙන ආක්‍රමණික සංවිධානයක්ය කියායි. හේතුව තමයි ජිනීවා.

Translations by Creative Content Consultants

හැම අවුරුද්දකම දෙතුන් වතාවක් ශ්‍රී ලංකාවෙ මාධ්‍ය, දේශපාලනඥයන් හා සිවිල් සමාජය ජිනීවා දෙස බලනවා. ශ්‍රී ලංකාවේ මිනිසුන්ට ජිනීවා කියන්නේ හුදු ස්විට්සර්ලන්තයේ නගරයකට එහා ගිය දේශපාලන අරුතක් දෙන වචනයක්. මානව හිමිකම්, යුද අපරාධ, අතුරුදහන්වීම්, ජාතික ප්‍රශ්නය, දේශපාලන විසඳුම් ආදිය සමග ජිනීවා සම්බන්ධයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව (UNHRC) කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අන්තර් රාජ්‍ය ආයතනයක්. මානව හිමිකම් සම්බන්ධ සියලු ප්‍රශ්න හා තේමා සාකච්ඡා කිරීමේ අයිතිය මෙම සභාවට තිබෙනවා. සෑම වසරකම මාර්තු, ජූනි හා සැප්තැම්බර් මාසවල සාමාන්‍යයෙන් මානව හිමිකම් සභාව රැස්වෙනවා. මාර්තු සැසිය සති හතරක් හා සෙසු සැසි සති තුනක් පැවැත්වෙනවා. සාමාජික රාජ්‍යයන් තුනෙන් එකක් විසින් ඉල්ලීමක් ඉදිරිපත් කළහොත්, මානව හිමිකම් ගැටලුවක් සම්බන්ධයෙන් හදිසි සැසියක් පවත්වන්නට පවා පුළුවන්. ඒ අනුව, 2021 පෙබරවාරි 22 සිට මාර්තු 23 දක්වා පැවැත්වෙන්නේ මානව හිමිකම් සභාවේ 46වන සැසිවාරයයි.

1946 සිට පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙනුවට 2006දී එක්සත් ජාතීන්ගේ මහ සභාව විසින් යෝජනා සම්මතයක් මගින් මානව හිමිකම් සභාව පිහිටුවනු ලැබුවා. එහි පළමු රැස්වීම පැවැත්වුණේ 2006 ජුනි මාසයේදීයි.

ලොව පුරා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ හා ආරක්ෂා කිරීම වෙනුවෙන් වගකියන රාජ්‍ය 47කින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව සමන්විත වෙනවා. එම රාජ්‍යයන් තෝරාගනු ලබන්නේ මහ සභාවේදී රහස්‍ය ඡන්දයෙන්. ඒ ඒ රටවල් මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේදී හා ආරක්ෂා කිරීමේදී දක්වනු ලබන කැපවීම ද මෙහිදී සැලකිල්ලට ගන්නවා. අප්‍රිකානු රටවල් 13ක්, ආසියා-ශාන්තිකර කලාපයේ රටවල් 13ක්, ලතින් ඇමරිකානු හා කැරිබියානු රාජ්‍යයන් අටක්, බටහිර යුරෝපීය හා වෙනත් රාජ්‍යයන් හතක් සහ නැගෙනහිර යුරෝපීය රාජ්‍යයන් හයක් එහි නියෝජනය වෙනවා. මෙම රාජ්‍යයන් වසර තුනෙන් තුන මාරුවෙනවා. 2020 ජනවාරි වන විට ශ්‍රී ලංකාව ඇතුළු එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් 117ක් මානව හිමිකම් සභාවේ සාමාජිකත්වය වරින් වර දරා තිබෙනවා. ශ්‍රී ලංකාවේ හිතවත් අසල්වැසි රාජ්‍යයන් වන ඉන්දියාව, චීනය, පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය, ජපානය වැනි රටවල් ද වර්තමානයේ එහි සාමාජිකයන් වෙනවා.

සභාවේ ඉහළ මණ්ඩලය කලාප පහ නියෝජනය කරන පස්දෙනෙකුගෙන් සමන්විත වෙනවා. 2021 වසරේ සභාපතිත්වය දරන්නේ ෆීජි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය වූ නෂාට් ෂමීම් ඛාන් මෙනෙවියයි.

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය පිහිටුවනු ලැබුවේ 1993දීයි. එහි සත්වන කොමසාරිස් ලෙස චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපතිනියක් වන මිෂෙල් බැෂලේ මහත්මිය වර්තමානයේදී කටයුතු කරනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය (OHCHR) සමග සමීපව කටයුතු කරමින් එක්සත් ජාතීන්ගේ විධිවිධාන සමග සම්බන්ධ වෙනවා. එය මානව හිමිකම් සභාවේ ලේකම් කාර්යාලය ලෙස ද සැලකෙනවා.

මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය යනු එක්සත් ජාතීන්ගේ ලේකම් කාර්යාලයේ අංශයක්. ජාත්‍යන්තර නීති හා විශ්ව මානව හිමිකම් ප්‍රකාශනය මගින් තහවුරු කරන ලද මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම එහි කාර්යභාරයයි. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය නිල බලයෙන්ම එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන කණ්ඩායමේ සාමාජික වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, ජාත්‍යන්තර කම්කරු සංවිධානය වැනි එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන 36ක් එහි සාමාජික වෙනවා.

කොරෝනා වසංගතයත් එක්ක ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වැදගත් භූමිකාවක් ඉටුකළා. සෞඛ්‍ය ප්‍රශ්නවලදී ලෝක සෞඛ්‍ය සංවිධානය වැදගත් වෙන විදියටම තමයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයත් වැදගත් වෙන්නෙ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයක් අපට අවශ්‍ය ඇයි කියන කාරණයත් නැවත සිතා බැලිය යුතුයි. ප්‍රවාහනයේ දියුණුව හා යටත්විජිතවාදයේ බලපෑමත් සමග ලෝ‍කයේ රටවල් අතර ගනුදෙනු හා සම්බන්ධතා වැඩි වුණා. ඒ නිසා ඒ සම්බන්ධකම් පවත්වාගෙන යාම සඳහා යම් යම් නියාමනයන් ද අවශ්‍ය වුණා. ජාත්‍යන්තර ටෙලිග්‍රාෆ් සංගමය ආරම්භ වුණේ 1865දීයි. විශ්ව තැපැල් සංගමය ආරම්භ වුණේ 1874දීයි. මේවා පටන් ගත්තේ නවීන මිනිස් සම්බන්ධතා විසින් එවැනි ආයතන ඉල්ලා සිටි නිසායි.

ජාත්‍යන්තර අර්බුද යුද්ධ දක්වා දිග්ගැසීම වළක්වා ගන්නට අන්තර්ජාතික සංවිධාන අවශ්‍ය වුණා. 1899දී නෙදර්ලන්තයේ හේග්හිදී පවත්වන ලද ජාත්‍යන්තර සාම සම්මේලනය එවැනි ප්‍රයත්නයක්.

ලෝකයේ රටවල් අතර සංවිධානයක් පිළිබඳ අදහස ප්‍රවර්ධනය කිරීමේ ගෞරවය එම්මානුවෙල් කාන්ට් නම් දාර්ශනිකයාට හිමි වෙනවා. මුලින් ම එවැනි සංවිධානයක් බිහි වන්නේ පළමු ලෝක යුද්ධයෙන් පසුවයි. එහි නම ලීග් ඔෆ් නේෂන්ස්. එය අසාර්ථක වීමට හා දෙවන ලෝක යුද්ධයක් පැන නැගීමට ප්‍රධාන හේතුව වන්නේ ලෝකයේ බලවත් ම රටවල් එහි සාමාජිකත්වය ගැනීම ප්‍රතික්ෂේප කිරීමයි.

එහෙත් දෙවන ලෝක යුද්ධය අවසන් වූ සැණින් මෙවැනි සංවිධානයක් පිහිටුවා ගැනීමේ අවශ්‍යතාව වැඩිපුර ම දැනුණේ ලෝකයේ බලවත්ම රටවලටයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ ලෝක සාමය සඳහා ඉවහල් වන අන්තර් රාජ්‍ය නියාමනයක් ගොඩනඟා ගැනීමයි. රටවල් 50කින් ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය අද වන විට සාමාජික රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 200කින් පමණ සමන්විතයි. එය මානව වර්ගයාගේ ජයග්‍රහණයක් නෙමෙයිද?

Translations

3 thoughts on “එක්සත් ජාතීන්ගෙන් සෞඛ්‍ය හිමිකම් ඕනැ; මානව හිමිකම් එපා

  1. දේශපාලඥයන් විසින් පැල කරන මත හැරුණු විට තමන්ගේ ම කියා මතයක් මෙරට ජනතාවට නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳ දුර්මත මෙරට ස්ථාපිත කිරීම සඳහා වර්තමාන පාලක පක්ෂයේ අයවලුන් විශාල වශයෙන් දායක වුණා. ඒ වගේ ම, ඉන්දියාව යනු ලංකාවේ සතුරු රාජ්‍යයක් යන මතය මෙරට ජනගත කිරීමට ආර්. ප්‍රේමදාස අගමැති සහ ඔහුගේ හෙංචයියකුව සිටි ඒ. ජේ. ආර්. රණසිංහ යනාදී අයවලුන් දායක වුණා (එම මතය පසුව ජවිපෙ විසින් හයිජැක් කිරීම වෙනම කතාවක්). මේ දෙපිරිස ම එවැනි දුර්මත ජනගත කළේ ඔවුන් විසින් මෙරට ජනතාවගේ අයිතීන් පාගා දැමීමේ හේතුවෙන් බාහිරින් පැමිණි බලපෑම් නිසා. රජයකට දුර්මතයක් ජනගත කිරීමට එක වාචාලයෙක් ඇති. වර්තමානයේ එය අමාත්‍ය ධුරයෙන් දරණ කුඩා පක්ෂයක නායකයෙක් මැනවින් ඉටු කරනවා.

  2. කිසිදු වැදගම්මකට නැති ලංකාවේ අධ්‍යාපන ක්‍රමය නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන තබා රටේ අසල්වැසි ඉන්දියාව ගැන වත් අවබෝධයක් ජනතාවට නොමැත. එය හොඳින් ම ප්‍රදර්ශනය කරන්නේ දේශපාලනයේ නියැලෙන අය යි. අධ්‍යාපනයක් නැති සමාජයක දුර්මත පැල කිරීම ඉතා පහසු ය.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.