We need to work - Sri Lankan people

අජිත් පැරකුම් ජයසිංහ

මෙම සටහන තබන අප්‍රේල් 24 දින මධ්‍යම රාත්‍රිය වන විට කොවිඩ්-19 ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිරෙන බවට සාධක ලැබෙමින් තිබේ. මේ වන විට ආසාදිතයන් සංඛ්‍යාව 400 ඉක්මවා තිබේ. කෙසේ වෙතත්, ආසාදිතයන් හඳුනාගැනීම වැඩි වීමට හේතුව PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි වීම විය හැකි ය. සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් විශ්වාස කරන්නේ රෝගීන් අයත් වන්නේ හඳුනාගත් පොකුරු කීපයකට බව සහ වයිරසයේ සමාජ ව්‍යාප්තියක් නොමැති බවයි. එහෙත්, ඇතැම් රෝගීන්ට වයිරසය ආසාදනය වූ ආකාරය තවමත් අභිරහස් ය.

Translations

මේ අතර, ඇඳිරි නීතියට මාසයක් සම්පූර්ණ වී හමාරයි. බස්නාහිර පළාතේ නම් ඇඳිරි නීතිය එක දිගට ම මාසයකට වඩා ක්‍රියාත්මකයි. මෙය ඇඳිරි නීතියක් යයි කීවත්, ඇත්තෙන් ම එයින් සිදු වී තිබෙන්නේ ආර්ථිකය අඩපණ වීම පමණයි කියා කිව හැකියි. පොරොන්දු වූ පරිදි භාණ්ඩ බෙදාහැරීමේ ජාලයක් නිර්මාණය කරන්නට රජය බරපතල විදියට අසමත් විය. ඒ නිසා සිදුවන්නේ තිබුණ කඩවල ම පිටුපස දොරෙන්, බොහෝ විට වැඩි මිළට, භාණ්ඩ විකිණීමයි. මේ කඩවල මෙන් ම, රජයෙන් ලබාදෙන රු. 5,000 දීමනාව ලබාගැනීමට අදාළ කටයුතු සඳහා ද ජනතාව නිතර නිතර රැස්වෙති.

බස්නාහිර පළාත හා විශේෂයෙන් ම කොළඹ නගරය විවෘත නොකර වෙනත් දිස්ත්‍රික්ක විවෘත කළ පමණින් ආර්ථිකය සක්‍රිය වන්නේ නැත. එසේම, රාජ්‍ය අංශයේ කාර්යාල ක්‍රියාත්මක වූ පමණින් ද ආර්ථිකය සක්‍රිය වන්නේ නැත.

ඇඳිරි නීතිය විසින් මේ වන විට ආර්ථිකය අඩපණ කර හමාර ය. නිදහස් වෙළඳපොළ විකෘති වී ඇත. භාණ්ඩ බෙදාහැරීමේ ජාලයන් අඩපණ වී ඇත. ඒ වෙනුවෙන් රජය විසින් ඉදිරිපත් කරන ලද විසඳුම් බොහෝ දුරට අසාර්ථක ය. මේ වන විට, සෑම මට්ටමක ම ව්‍යවසායන් බිඳවැටී ඇත. ව්‍යාපාරිකයන්, සුළු වෙළඳුන්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්, ස්වයං රැකියා කරන්නන්, පෞද්ගලික අංශයේ සේවකයන්, නොවිධිමත් අංශයේ කම්කරුවන්, සංචාරක මෙහෙයුම්කරුවන්, විදෙස්ගත ශ්‍රමිකයන්, ගොවීන්, ධීවරයන් ආදී රටේ ආර්ථිකය සැබැවින් දරා සිටින සියලු බලවේග මේ වන විට දුර්වල වී අවිනිශ්චිත තත්වයකට පත් වී තිබේ. දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් වැනි මහජන මුදලින් යැපෙන්නන්ට තවමත් වැටුප් ලැබෙන බැවින් ඔවුන් සතුටින් සිටිය ද ආර්ථිකය කඩාවැටීමත් සමග රජය ඔවුන්ට වැටුප් ගෙවන්නේ කෙසේ ද යන්න ද ප්‍රශ්නයක් බවට පත් වේ.

මේ අතර, බඩු මලු බෙදන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට ඉන්දියාවේ සිට සිසුන් ලංකාවට රැගෙන එන ශ්‍රීලන්කන් ගුවන් ටිකට් පත දක්වා ම කල දුටු කල වල ඉහගන්නා කළුකඩ ජාවාරම් බහුල ය. අවාසනාව වන්නේ මෙහි සඳහන් කළ අන්ත දෙකේ ම ඉන්නේ රජයේ ආයතන වීමයි. අතරමැද අඩු බර පාන් විකුණන චූන් පාන් වෙළෙන්දා, පස්සා දොරෙන් වැඩි මිළට බඩු විකුණන මුදලාලි, ගල් අරක්කු බෝතලය රු. 10,000ට විකුණන බාර්කාරයන්, කසිප්පු පෙරන්නන් ආදී බොහෝ අය වෙති.

මෙම තත්වය තුළ දිගින් දිගට ම ඇඳිරි නීති පවත්වා ගැනීමේ කිසිදු තේරුමක් ඇති බවක් නොපෙනේ. මහජනතාව විසින් ප්‍රශ්න නොකරනු ලැබුව ද මෙම ඇඳිරි නීතිය නීත්‍යානුකූල ද යන ප්‍රශ්නය ද තිබේ. මහජන සාමය පිළිබඳ කාරණයක් නොවන සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් ඇඳිරි නීති පැනවීම සඳහා නීති තිබේ ද යන්න ගැන මතභේදයක් තිබේ. නීති විශාරදයකු නොවන නිසා ඒ පිළිබඳ මා හට යමක් පැවසිය නොහැකි ය. මෙවැනි කාරණා ඇතැම් විට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විග්‍රහ කරගත යුතු වනු ඇත.

මේ වන විට 30,000කට වැඩි ජනගහනයක් හා වාහන දහස් ගණනක් ඇඳිරි නීති කැඩීම නම් වරදකට අත්අඩංගුවට ද ගෙන තිබේ. ඔවුන්ට පොදු සමාවක් නොදී නීතිය ක්‍රියාත්මක කරන්නට ගියහොත්, මෙම ඇඳිරි නීතියේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් විග්‍රහයක් ද අවශ්‍ය වනු ඇත.

මාධ්‍ය මගින් නිරතුරු පෙන්වන පොලිස් මර්දනය දැක දැක මිනිසුන් ඇඳිරි නීති හා සමාජ දුරස්ථකරණය පිළිබඳ නීති කඩන්නේ ඇයි ද යන්න පිළිබඳව ද රජයට හරි අවබෝධයක් නැත. පර්චස් 15ක වත්තක සිටින මිනිසුන් 200කට වැඩි පිරිසකට පරතරය තියා නොගෙන සිටියා යයි දොස් පැවරීමේ තේරුමක් තිබේ ද?

ඇඳිරි නීතියෙන් අපේක්ෂා කළේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමට නම්, සංඛ්‍යාලේඛන මගින් පෙන්වන රෝග ව්‍යාප්තියේ ස්වභාවය අනුව අපට සතුටු වීමට තිබෙන්නේ එකම එක ආකාරයකට පමණි. එනම්, ඇඳිරි නීති නොතිබුණා නම්, තත්වය මීට වඩා නරක් වනු ඇති ය යන උපකල්පනය මතයි.

මෙම සටහන අවසානයේදී අප යෝජනා කරනුයේ රජය මෙම ඇඳිරි නීතිය ඉවත් කළ යුතු බවයි. ඒ වෙනුවට, ආර්ථිකය සක්‍රියව පවත්වාගෙන යා හැකි අන්දමේ යම් පාලනයක් ඇති කළ යුතු ය. තම ඉරණම මහා සාගතයක් හෝ මහා වසංගතයක් වෙත යොමු කර නොගෙන ඉදිරියට යාමේ වගකීම කවදා හෝ ජනතාවට භාර දෙන්නට රජයට සිදු වන නිසා එය දැන් ම කරන ආකාරයක් ජනතාව සමග සාකච්ඡා කළ යුතු ය.

නව තත්වයට ඔබින ලෙස කරන ලද පාලනයක් පිළිබඳ නිදසුනක් වන්නේ රජය විසින් බස්රථවල ගමන් කරන මගීන් සංඛ්‍යාව 25කට සීමා කිරීමට නීති පැනවීමයි. රජය නීති පැනවූ අතර පොලිසිය මහමග සිට එම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බලපෑම් කරනු දක්නට ලැබේ. එහෙත්, බස් හිමිකරුවන් හා සේවකයන් කියන්නේ ඔවුන්ට පාඩු පිට බස් සේවා පවත්වාගෙන යා නොහැකි බවයි. මගීන් කියන්නේ යන්නට ප්‍රමාණවත් බස් නැති බවයි.

නීති දාන පළියට ඒවා ක්‍රියාත්මක කළ හැකි පහසුකම් මේ රටේ නැති බව ද රජය අවබෝධ කරගත යුතු ය. නීති දමන විට ප්‍රායෝගිකත්වය ගැන ද සිතිය යුතු ය.

ඇඳිරි නීති දැන්ම ඉවත් කරන තරමට හොඳ ය. නැතිනම්, ජීවත් වීමට ආදායම් නැති ජනතාව වැඩි වැඩියෙන් ඇඳිරි නීති කඩා අත්අඩංගුවට පත් වන තත්වයක් ඉදිරියේදී නිර්මාණය වන්නට පවා ඉඩ ඇත.

ඔවුන් ඉල්ලන්නේ රජයේ පන්දහසින් බැඳි පියලි නොවේ. තම ජීවනෝපාය වෙනුවෙන් වැඩ කිරීමට අවස්ථාවයි. රජය කල්පනා කළ යුතුව තිබෙන්නේ නව සංදර්භය තුළ ආර්ථිකය ආරක්ෂා සහිතව සක්‍රිය කළ හැකි ආකාර මිස තවදුරටත් මෙය වසාගෙන සිටිය හැකි ආකාර ගැන නොවේ.

කොවිඩ්-19 සෞඛ්‍ය අර්බුදයක් පමණක් නොවන බවත්, එය සමාජ අර්බුදයක් බවත් අපි මුල සිට ම පැවසුවෙමු.

ලෝකය ඉදිරියේ තිබෙන අභියෝගයේ තරම මෙම ලිපියෙන් කියවන්න <<කොවිඩ්-19ට වැඩි පිරිසක් සාගතෙන් මිය යාවි – ලෝක ආහාර වැඩසටහන>>

1 thought on “ඇඳිරි නීතිය සාර්ථක ද?

  1. ත්‍රස්තවාදී සැකකරුවන් හසුකරගැනීමට ඇඳිරි නීතිය දමා, පුද්ගළයින්ගේ movements සීමාකර, සැකකරු අල්ලා ගන්නා ක්‍රමයට මේ නව කොරෝනා වෛරසයත් අල්ලා ගන්න ඇයි ලෝකයේ දරුණුම ත්‍රස්ථවාදය පරාජය කරන්නට හමුදා මෙහෙයුම් සැළසුම් කළ අපේ වැඩකරන විරුවාට බැරි උනේ ඇයි දෙයියනේ? වරද කොතනද?

Leave a Reply to ටෝනී R. Cancel reply

Your email address will not be published. Required fields are marked with *.