anthropocene

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත, 2021-01-24

පසුගියදා එළිදක්වන ලද, 2020 වසරේ එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන වාර්තාවේ මාතෘකාව වන්නේ “The Next Frontier: Human Development and the Anthropocene” යන්නයි. එය මෙසේ පරිවර්තනය කළ හැකියි: “ඊළඟ පෙරමුණ: මානව සංවර්ධනය සහ
ඇන්ත්‍රොපසීන අවධිය.”

Translations by Creative Content Consultants

ඇන්ත්‍රොපසීන අවධිය කියන්නේ කුමක්ද? එය නව මානව අවධිය ලෙස සරල ලෙස පරිවර්තනය කළ හැකියි. එය භූගර්භ විද්‍යාත්මක කාල වකවානු සමග සම්බන්ධ සංකල්පයක්. පෘථිවියේ පර්වත ස්ථරවල ෆොසිල තැන්පත් වන ආකාරය අධ්‍යයනය කර පෘථිවියේ භූගර්භ විද්‍යාත්මක යුග හා අවධි ආදිය නම්කිරීමේ බලය සහිත සංවිධානය වන්නේ ජාත්‍යන්තර භූගර්භ විද්‍යා සංගමයයි (IUGS). එම සංවිධානයේ නාමකරණය අනුව නම් පෘථිවිය වර්තමානයේදී ගතකරමින් සිටින්නේ හොලෝසීන අවධියයි. එය අවුරුදු 11,700ක පමණ කාලපරිච්ඡේදයක්. අවසන් අයිස් යුගයේ සිට නූතන අවධිය දක්වා විහිදෙන එම අවධියේ අවසන් කාලයේදී මානවයන් විසින් පෘථිවි භූගර්භය තුළ ස්ථාවර වෙනස්කම් සිදුකර තිබෙන නිසා අලුත් අවධියක් ඇරඹෙන බවට අදහසක් ඉදිරිපත් වුණා. නව මානවයන්ගේ අවධිය හෙවත් ඇන්ත්‍රොපසීන අවධිය ලෙස හඳුන්වනු ලබන්නේ එම අවධියයි. එය සම්පූර්ණයෙන්ම අලුත් භූවිද්‍යාත්මක අවධියක් බවට තර්ක කරනවා.

ඇන්ත්‍රොපසීන අවධිය තවමත් නිල වශයෙන් පිළිගෙන නැහැ. එය පිළිගන්නට නම්, මිනිසා විසින් ග්‍රහලෝකයේ කරන ලද වෙනස්කම් පර්වත ස්ථරවල සටහන් වන තරම් ප්‍රබලද යන්න අධ්‍යයනය කළ යුතුයි. එම සංකල්පය ජනප්‍රිය වුණේ 2000 වසරේදී, නොබෙල් සම්මානලාභී වායුගෝලීය රසායන විද්‍යාඥ පෝල් කෘට්සන් සහ තවත් අය විසින් එය මතුකිරීමත් සමගයි. මේ වනවිට ජාත්‍යන්තර භූගර්භ විද්‍යා සංගමයත් ඇන්ත්‍රොපසීන යුගය පිළිබඳ සාකච්ඡා කරමින් සිටිනවා. එය ආරම්භ වූයේ කුමන කාලයේද යන්න පිළිබඳ මතභේදයක් තිබෙනවා. විද්‍යාත්මක අදහස වී තිබෙන්නේ 1940 දශකයේ අගභාගයේදී මිනිසා විසින් සිදුකරන ලද න්‍යෂ්ඨික පිපිරවීම්, ඒ සමගම සිදු වූ විකිරණශීලීත්වයේ වෙනස්කම්, වායුගෝලයේ කාබන් ප්‍රතිශතය ඉහළයාම, එහි ප්‍රතිඵලයක් ලෙස මිහිතලය උණුසුම් වීම, මුහුදු මට්ටම ඉහළ යාම, ජීව ප්‍රභේද මහා පරිමාණයෙන් වඳවී යාම, ප්ලාස්ටික් ව්‍යාප්තිය, කොංක්‍රීට් මෙන්ම, කුකුළන් වැනි ගොවිපොළවල වගාකරන සතුන්ගේ ඇටකටු පරිසරයට එකතු වීම වැනි හේතු රැසක් සමග මෙම නව මානව අවධිය සම්බන්ධ කරනු ලබනවා. එම අවධියේදී මානවයා විසින් පෘථිවියේ දේශගුණය හා පාරිසරික පද්ධතිය සම්බන්ධයෙන් කර තිබෙන මැදිහත්වීම ස්ථිරසාර එකක් බවයි මෙම සංකල්පය පසුබිමේ තිබෙන අදහස.

“ඊළඟ පෙරමුණ: මානව සංවර්ධනය සහ ඇන්ත්‍රොපසීන අවධිය” නම් වන එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන වාර්තාව විසින් සංවර්ධනය පිළිබඳ අලුත් මිනුම්දණ්ඩක් ඉදිරිපත් කර තිබෙනවා. එනම්, ග්‍රහලෝකයට ඇතිවන පීඩනය අනුව සකසන ලද මානව සංවර්ධන දර්ශකයයි PHDI (Planetary pressures-adjusted HDI).

සාමාන්‍ය මානව සංවර්ධන දර්ශකය අනුව ශ්‍රී ලංකාව ඉහළ මානව සංවර්ධනයක් සහිත රටක්. එය ලොව රටවල් අතරින් 72වන ස්ථානයේ සිටිනවා.

එම සංවර්ධනය ග්‍රහලෝකයට ඇතිවන පීඩනය අනුව සකසනු ලැබූ විට, ශ්‍රී ලංකාව ලොව 38වන ස්ථානයට පත්වෙනවා.

දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් ග්‍රහලෝකයට ඇතිවන පීඩනය අනුව සකසන ලද මානව හිමිකම් දර්ශකයේ පළමු ස්ථානය හිමිවන්නේ ශ්‍රී ලංකාවටයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප්‍රමුඛම ප්‍රකාශනය වන මානව සංවර්ධන වාර්තාව 1990 වසරේ සිට ප්‍රකාශයට පත්කරනවා

මානව සංවර්ධන වාර්තාවට පසුබිම් වන මානව සංවර්ධනය නම් සංකල්පය නිර්මාණය කරනු ලැබුවේ ආර්ථික විද්‍යාඥයකු වන මහබුබ් උල් හක් විසිනුයි. ඒ අනුව, මානව සංවර්ධනය මැනීමේදී සාමාන්‍ය ජනතාවට තම ජීවිතය පිළිබඳ තීරණ ගැනීමට තිබෙන නිදහස හා අවස්ථා වැදගත් වෙනවා. එම සංකල්පය නොබෙල් සම්මානලාභී ආර්ථික විද්‍යාඥ අමර්ත්‍යා සෙන් විසින් මානව ශක්‍යතාවන් පිළිබඳ කරන ලද කාර්යයන් සමගත් සම්බන්ධයි.

ආදායම් හා දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනය ජාතික සංවර්ධනයේ ප්‍රධාන මිනුම් දඬු ලෙස සැලකූ ධාරාවට ප්‍රධාන විකල්පය බවට පත්වුණේ  මානව සංවර්ධනය පිළිබඳ සංකල්පීය කාර්යරාමුවයි. සංවර්ධනය මැනීමේදී මානව ජීවිතයේ ගුණාත්මක වර්ධනයන් ද සැලකිය යුතු බව එහිදී ප්‍රකාශ වුණා. සෞඛ්‍යය, අධ්‍යාපනය, මානව ආරක්ෂාව, පාරිසරික තත්වයන් ආදිය එහිදී වැදගත් වුණා.

ශ්‍රී ලංකාව මේ මොහොත වනවිට සිටින්නේ අතිශය අවිනිශ්චිත අනාගතයක් ඉදිරියේ. වේගවත් ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්නේ කෙසේද යන කාරණය තමයි ආර්ථික හා දේශපාලන විශේෂඥයන්ගේ අවධානයට යොමු වී තිබෙන්නේ. ඒත්, මානව සංවර්ධනය පැත්තෙන් අප විසින් අත්පත් කරගෙන තිබෙන සාර්ථකත්වය රැකගැනීම ඊට වඩා වැදගත් නේද?

Photo credit: Noemi Cassanelli/AFP, via Bloomberg

Translations

1 thought on “මානව සංවර්ධනයේ ඇන්ත්‍රොපසීන අවධිය

  1. Maa hithana vidiyata oya kiyana AWADHIYA aarambaya aagam karthru ge pahalaviemath samaga arambunaa viya heka .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.