Quaden Bayles

අජිත් පැරකුම් ජයසිංහ

බුලිං කියන ඉංග්‍රීසි වචනයේ අරුත පරිසමාප්තව දෙන සිංහල වචනයක් නැත්තෙ අප සංස්කෘතික වශයෙන් ම බුලි කිරීම හඳුනා නොගන්නා නිසායි. නැතිනම් බුලි කිරීම අපේ සංස්කෘතියේ කොටසක් නිසායි. විශේෂයෙන් ම, ශාරීරික අඩුපාඩු සහිත අයට අපහාසාත්මකව සැලකීම අපේ සංස්කෘතියේ සාමාන්‍ය තත්වයක්. ඒ අය සම්බන්ධයෙන් අනුකම්පා කිරීම හෝ ඒවා එහෙම තමයි කියා භාරගැනීම මිස එවැනි අඩුපාඩු ඇති අය ගැන සංවේදී විය යුතු යයි සංකල්පයක් අපේ සංස්කෘතියේ ම නැහැ. බුලි කිරීම බටහිර සංකල්පයක්. අපි බුලි කරන ජාතියක්.

Translations

කථන ආබාධ සහිත අයට ගොළුවා ය කියන එක, ශ්‍රවණ ආබාධ සහිත අයට බීරා කියන එක, පෙනීම සම්බන්ධ ආබාධ තිබෙන අයට අන්ධයා, පොට්ටයා, කණා, වපරයා කියන එක, කෙස් හැලුණ අයට තට්ටයා කියන එක. ස්කෝලියෝසිස් කෙනෙකුට කුදා කියන එක, විටිලයිගෝවලට කබර කියන එක, ඇලොපේෂියා ඒරියාටාවලට උඳුගොව්වන් කෑම කියන එක වැනි දේ අපේ සංස්කෘතිය තුළට කිඳා බැහැලා තියෙනවා. ඒවා වෙනස් කරන එක ඉතා දුෂ්කරයි. රත්මලානේ අඳ ගොළු බිහිරි විද්‍යාලයේ නම වෙනස් කළත්, ඒ පාසල තිබෙන තැනට ගොළුමඩම කියන අපහාසාත්මක මූලයක් තිබෙන නම භාවිතා කරන එක නවතින එකක් නැහැ. විලියම් මිරිස් මෝල නැතත්, ඒ හන්දිය තවමත් විලියම් හන්දියනේ.

ශාරීරික හැඩරුව එක්ක නම් තැබීම අපේ සංස්කෘතියේ අතීතයේ සිට පැවති දෙයක්. වංක නාසික තිස්සගේ නමේ ම නහයෙ ඇදය තියෙනවා. ගෝඨාභය කියන අතීතයේ සිටි රජු නමේ තේරුම අනුව ගොළු හෝ මිටි හෝ විය යුතුයි. වර්තමානයේ බුලි කිරීම යනුවෙන් හඳුන්වන ක්‍රියාව පිළිබඳ අතීතයේදී අප ඒ ලෙස ම සිතුවේ නැති බවයි පෙනෙන්නේ. ශාරීරික අඩුපාඩුකම් ම ආදරය ප්‍රකාශ කරන්නටත් යොදාගැනුණු බව පෙනෙනවා. අඩුපාඩු සහිත පුද්ගලයා එය විඳ දරාගත යුතු වගේ ආකල්පයක් තමයි තිබුණෙ. ඇතැම් විට, ඒවා දෛවයේ අනිවාර්ය ප්‍රතිඵල ලෙස සැලකූ නිසා ඒ අයට ඇමතීමේදී සුවිශේෂ වශයෙන් පරිස්සම් විය යුතු යයි සිතන්නටත් නැතුව ඇති. උස අයට දිගා, දීඝ ගාමිණී වැනි නමුත් යෙදුණා නේ.

දැන් අපි ඉස්සර වගේ නමට ශරීර හැඩරුව එකතු කරන්නෙ නැහැ. කළු නිසා වළාකුළු පාට හෙවත් මේඝ වර්ණය අනුව කීර්ති ශ්‍රී මේඝවර්ණ හෝ කළු බණ්ඩා වගේ නම් නොතැබුවාට අප තවමත් කළු මහත්තයා, කළු රංජි, කළු සමන් වගේ අන්වර්ථ නාම භාවිතා කරනවා.

කළු පාට සම්බන්ධයෙන් අතීතයේ තිබුණු සාධනීයබව දැන් නැහැ. මං කළු නිසාත්, අපි උසස් පෙළ පන්තිවල ඉන්න කාලෙ සතුට පත්තරේ කළු ඇල්බට් කියලා චරිතයක් සිටි චිත්‍රකතාවක් තිබුණු නිසාත්, මටත් කාලයක් කොල්ලො කළු ඇල්බට් කිව්වා. මගෙන් විරුද්ධත්වයක් නැති නිසා පස්සෙ කළු කෑල්ල හැලිලා ඇල්බට්, ඇල්බා එහෙමත් කිව්වා. මගේ එක සමීප මිතුරකු වන ඉතාලියෙ ඉන්න උදිත ඉන්ද්‍රප්‍රිය තවමත් මට ඒ නමින් කතා කරනවා. දවසක් ඌ අපේ ගෙදරට කෝල් එකක් අරගෙන මගේ බිරිඳ කියා හිතලා ඇල්බට් ඉන්නවද අහලා. එදා දුරකථනයට උත්තර දීලා තියෙන්නෙ අපේ නැන්දම්මා. එයාගෙ සැමියාගේ හෙවත් මගේ බිරිඳගේ පියාගේ නමත් ඇල්බට්. ඒ නිසා එදා එතන හෙණ පටලැවිල්ලක් වෙලා.

මගේ කළු පාටට හා පෙනුමට ගැහැණුන් අතරෙ තියෙන ඩිමාන්ඩ් එක මට පෙනුණෙ මං තරුණ අවධියට ආවාට පසුවයි. හැබැයි, එතකල් කළු නිසා මං බුලි වුණා. බුලි කරන්නට පුළුවන් බුලි වෙන අයට විතරයි.

දැන් මේ සමාජ මාධ්‍ය අවකාශයේ කට්ටිය වාද විවාදවලට පැටලිලා අන්තිමට මට කියන්නෙ නාකියා කියලා. මගේ වයසට වඩා මගේ කොණ්ඩෙ හා රැවුල සුදුයි. මගේ වයසෙ වෙනත් බොහෝ අය වගේ මං ඒවා ඩයි කරන්නෙ නැහැ. ඩයි කිරීම මට කරදරයක්. උතුරා යන මානව දයාව නිසා සමාජයට විමුක්තිය උදා කර දීම වෙනුවෙන් දිවි කැප කර සිටින බව කියන, මාක්ස්වාදය ඇතුළු ප්‍රගතිශීලී ය කියන දර්ශනවාදයන් අතැඹුල සේ දත් බව කියන අයත් මට නාකියා කියලා තියෙනවා. ඔවුන් හිතනවා ඒකෙන් මට බුලි කරන්නට පුළුවන් ය කියලා. පරණ පෙම්වතියන් අහනවා ඇයි මේ කොණ්ඩෙ සුදු වෙච්ච කැත ෆොටෝ දාන්නෙ කියලා. කැත කියලා එකක් නැහැ. ලස්සන කියලා එකකුත් නැහැ. ඒවා තියෙන්නෙ අපේ හිතේ.

Translations by Creative Content Consultants

ඇප්වලින් සංස්කරණය කරගත්ත, සුදු කරගත්ත ඡායාරූප සමාජ මාධ්‍යවල පළ කරන අයට වෙන ලොකුම අලකලංචිය වන්නෙ තමන් ඒ ෆොටෝවල ඉන්න අය වගේ ය කියලා ඇත්තට ම හිතාගෙන හැසිරෙන්නට යාමෙනුයි.

හැබැයි, ශාරීරික අඩුපාඩුකම්, ආබාධ තිබෙන අයට අපහාසාත්මක ලෙස කතා කිරීම ඉතා ම අශෝභන තත්වයක්. කලක් මුදල් ඇමතිව සිටි කේ.එන්. චොක්සිගේ කට කිසියම් හේතුවක් නිසා පැත්තකට ගිහින් තිබුණෙ. එවකට ජවිපෙ ප්‍රචාරක ලේකම්ව සිටි විමල් වීරවංශ වරක් කිව්වා ලංකාවෙ ආර්ථිකයත් හරියට චොක්සිගේ කට වගේ ය කියලා. දැන් විමල්ගෙ කොණ්ඩෙ කළු පාට සාමාන්‍ය තත්වයට වඩා තද පාටයි. ඩයි කරනවා ඇති. ජීවිතේ එහෙම තමයි. කවුරුත් වයසට යනවා. රෝගාබාධ වැළඳෙනවා. මැරෙනවා. සාමාන්‍ය ශරීර තිබෙන අයට මේක තේරුම් ගන්නට ගොඩක් කල් යනවා. ඒකෙත් හැටි එහෙම තමයි. ජීවිතේ කියන්නෙ අපි හැමදාමත් වරද්දා ගන්න, ඉගෙන ගන්න දෙයක්.

අනුන් ගැන විනිශ්චය කරලා විග්‍රහ කරන එක ලේසියි. ඒත්, අමාරු ම දේ තමන්ගේ ජීවිතය තුළ වැරදි නොකර ජීවත් වෙන එක. අපි හැමෝටම වරදින නිසාත් ජීවිතය අරගලයක් වෙනවා. ජීවිතය කියන්නෙ ම හොඳ විසින් නරකත් එක්ක කරන අරගලයක්.

බුලි නොකර ඉඳිමු. බුලි නොකර ඉන්න අපේ ළමයින්ටත්, ඊට කලින් ගුරුවරුන්ටත් උගන්වමු. නව හැවිරිදි ක්වේඩන් බේල්ස්ගේ වීඩියෝවෙන් ලෝකය ඉගෙන ගත් පාඩම එයයි. ඔහු කුමන ආකාරයේ පුද්ගලයකු වුවත්, එය කුමන ආකාරයේ සිද්ධියක් වුණත්, එමගින් ඇති කරන ලද ලෝක ජනමතය ඉතා වැදගත්. (කවරයේ ඡායාරූපයේ සිටින්නේ ඔහු ය.)

බුලි කරනවා, බුලි කිරීම කියන වචන දෙක අපට සිංහල වාක්කෝෂයට පහසුවෙන් එකතු කරගන්නට පුළුවන්. අලුත් වචන හදන්නට යන්න ඕනැ නැහැ. හැබැයි, බුලිං කරනවා කියන්න එපා.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.