micro credit

අජිත් පැරකුම් ජයසිංහ

අණන සුවය කියන්නේ මොකක්ද? අණන සූත්‍රය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පත්තකම්ම වග්ගයේ දෙවනි සූත්‍රයයි. ගිහියන්ට සතුටින් ජීවත් වීමට අවශ්‍ය කරුණු හතරක් එහි ඇතුළත් වෙනවා. අණන සුඛ එයින් එකක්. ඒ කියන්නේ ණයකරුවකු නොවීම නිසා සිතේ ඇතිවන සතුටයි.

වර්තමාන සමාජයේ අපට අණන සුඛය පූර්ණව විඳින්නට අමාරුයි. අණන සුඛය විඳින්නට ගියොත්, තමන්ගේ දරු පවුල වෙනුවෙන් ඉඩමක්, නිවසක්, වාහනයක් මිලදීගෙන, ජීවිතය පහසු කරන අවම භාණ්ඩ හෝ පරිහරණය කරමින් සුවෙන් සිටින්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම, ණය ලබානොගන වැඩිදෙනෙකුට ව්‍යාපාරයක්ආරම්භ කරන්නට, සංවර්ධනය කරන්නට හා පවත්වාගෙන යන්නට ලැබෙන්නේ නැහැ. නූතන සමාජයේ ණය ගැනීම කෙතරම් පහසු වී තිබෙනවාද යත්, සාක්කුවේ ගෙන යන ක්‍රෙඩිට් කාඩ් පතෙන් දිවා, රාත්‍රී ඕනෑම වේලාවක ණයක් ලබාගන්නට පුළුවන්.

ඒත්, ණය ගෙවීම පහසු කාර්යයක් නොවෙයි. ණය ගෙවන්නට නම් ගත් ණය හෝ වෙනත් ආයෝජන හෝ මගින් ලාභ ලැබිය යුතුයි. නැතිනම්, වැඩ කිරීමෙන් වැටුපක් ලබාගත යුතුයි. මොනවා කළත්, මාසිකව ගෙවිය යුතු ණය හා පොළිය ආදායමට වඩා වැඩි නම් ණය ගෙවාගන්නට බැරිවෙනවා. ණය ගෙවාගත නොහැකි අය බංකොලොත් වෙනවා. මේ වන විට ශ්‍රී ලංකා රජය සිටින්නේ ණය ගෙවාගත නොහැකිව බංකොලොත්භාවයට පත්වීම ආසන්නයේයි.

ශ්‍රී ලංකා රජය කියන්නේ අපේ බදු මුදල් සූරාකන, අප සියලු දෙනා අනිවාර්යයෙන් කොටස්විකරුවන් විය යුතු, ඒ නිසා රජයේ ලාභ හෝ පාඩු අපටත් උරුම වන, ප්‍රතික්ෂේප කරන්නට බැරි, ප්‍රචණ්ඩ බලහත්කාරයක් සම්බන්ධයෙන් ඒකාධිකාරයක් තිබෙන සමාගමක්. ඒ සමාගමේ ආදායමෙන් විශාල කොටසක් එහි නිලධාරීන් (දේශපාලකයන් ඇතුළු) වැටුප් හා වරප්‍රසාද ලෙස ලබාගන්නවා. මහජනතාවට ඔවුන් නඩත්තු කරන්නට විතරක් නෙමෙයි පාඩු පියවන්නටත් බදුගෙවන්නට සිදුවෙනවා. බදුගෙවන ජනතාව රජයේ ණය බරට විශාල වශයෙන් උරදෙනවා. බඩගින්නට කන හැම බත් ඇටයකම රජයට ගෙවන බදු අඩංගුයි.

අද වන විට මුළු රටේම ජනතාවට ණය බර බරපතල ප්‍රශ්නයක් බවට පත්වෙලා. කෝවිඩ්-19 නිසා ඇතිවුණ ප්‍රතිඵල නිසා අපේක්ෂිත ආදායම් අහිමි වීම නිසා ණය ගෙවාගන්නට බැරි අතිවිශාල පිරිසක් මේ වනවිට කරදරයට පත්වෙලා. ඔවුන් අතර ධනවත් සමාගම් පවා තිබෙනවා. ඔවුන්ගේ ණය වෙනුවෙන් යම් සහන කාලයන් වැනි තාවකාලික විසඳුම් රජයේ මැදිහත් වීමෙන් ලබාදී තිබුණත්, ප්‍රශ්නය අවසන් නැහැ.

මේ අතර, ශ්‍රී ලංකාවේ ණය අතරින් ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධ විශේෂ උනන්දුවක් ඇතිවෙලා තිබෙනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන, රාජ්‍ය නොවන සංවිධාන, සමාගම් ආදිය විශේෂයෙන් ඉලක්ක කරන්නේ ගැමි කාන්තාවන් වැනි බැංකු, මූල්‍ය ආයතන, ණය දෙන සමිති ආදියෙන් දුරස්ථ ප්‍රජාවක්. ලිහිල් කොන්දේසි යටතේ ලබාදෙන මෙම ණය ක්‍රම සඳහා සාමාන්‍යයෙන් ඉහළ පොළියක් අයකරනවා. ඇතැම් සමාගම් විසින් ක්ෂුද්‍ර මූල්‍ය ණය අධික ලාභ ලබන ජාවාරමක් බවට පත්කරගෙන තිබෙනවා. මෙම ණය ලබාදෙන්නේ කුඩා කණ්ඩායම් ලෙස එකිනෙකා ඇපයට තබාගනිමිනුයි. පාරිභෝජනවාදී අරමුණු වෙනුවෙන් ණය ලබාගැනීමට මෙම සමාගම් කාන්තාවන් දිරිගන්වනවා. ණය ආපසු ගෙවීම සඳහා ඔවුන් කාන්තාවන්ට පීඩනයක් යොමුකරනවා. ඇපකරුවන් වූ කාන්තාවන් විසින් ද ණය පැහැරහරින කාන්තාවන්ට පීඩනයක් එල්ල කරනවා.

ක්ෂුද්‍ර මූල්‍ය ණය සමග ඈඳුණු සණස සමිති ආදී තවත් ව්‍යූහයන් ද තිබෙනවා. මේ අතරින් ගමේ ගිනි පොළියට ණය දෙන අය විශේෂයි. ගමේ ගිනි පොළීකාරයන් හැමවිටම ධනවතුන්ම වෙන්නේ නැහැ. ඇතැම්විට ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගන්නා කාන්තාවන් පවා ගිනි පොළීකාරියන් වෙනවා. ගිනිපොළීකාරයන් ණය ලබාදෙන්නේ දැඩි අවදානමක් සහිතවයි. ඔවුන්ට ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලට බලපාන නීති රීති, නියාමනයන් ආදී කිසිවක් අදාළ නැහැ. එම ණය ක්‍රම පවතින්නේ නීතියකට අනුකූලව නොවෙයි. ගිනි පොළී ණයවල පොළී අනුපාතිකය අවුරුද්දකට 240%ක් පමණ වෙන එක ඉතාම සාමාන්‍ය තත්වයක්. මේ ණය ආපසු අයකරගැනීමේදී හිංසනය පාවිච්චි කිරීම ද ඉතාම සාමාන්‍ය තත්වයක්.

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලට එරෙහිව පවතින උද්ඝෝෂණවලදී පවා ගමේ ගිනි පොළීකාරයන්ට එරෙහිව කවුරුවත් කතා නොකිරීම රසවත් කාරණයක්. එයට හේතුව මොකක්ද? ගිනි පොළිය කියන එක අප හිතනවාට වඩා ගැඹුරට මුල් විහිදුණු එකක්. සමාජය ගිනි පොළියට ණය දෙන්නන්, ගිනි පොළියට ණය ගන්නන් ලෙස බෙදා දක්වන්නට පුළුවන් තරම් ප්‍රශ්නය සංකීර්ණයි.

ඇතැම් ගිනි පොළීකාරයන් ශ්‍රී ලංකාවේ සමාජයේ බොහොම ඉහළින් වැජඹෙනවා. මේ වැඩේ පුරුදු අය ඉතාලියටත් ගිහින් ගිනි පොළියට සල්ලි දෙනවා. ඒවා දෙන්නේත් බොහෝ විට තමන් වැනිම වන ශ්‍රී ලංකාවෙන් එහි ගොස් සිටින අයටයි. යුරෝ 1000ක් පොළියට දෙන්නේ මාසයකට යුරෝ 50ක් පොළිය ලෙස ලබා ගන්නටයි. ඒ අනුව පොළිය මසකට 5%යි. අවුරුද්දකට නම් 60%ක ගිනි පොළියක්. ශ්‍රී ලංකාවේ මෙය නීත්‍යානුකූල වුණාට ඉතාලියේදී නීති විරෝධීයි. ඉතාලියේ බැංකු ණය වෙනුවෙන් පොළිය ලෙස ශ්‍රී ලංකාවේ මෙන් 15% – 20% හෝ ඊටත් වැඩිය අය කරන්නේ නැහැ. එරට ණය පොළී අනුපාතිකය ශ්‍රී ලංකාවට වඩා පහළ මට්ටමකයි තිබෙන්නේ. මෙවැනි ගිනි පොළී ව්‍යාපාරවලට එරෙහිව ඉතාලිය දැඩි ලෙස නීති ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් ම ණය හා පොළිය අය කර ගැනීම සඳහා තර්ජන හා ශාරීරික, මානසික හිරිහැර යොදා ගැනීමට ඉතාලියේ ඉඩක් නැහැ. එසේ කරන අයට එරෙහිව අපරාධ නීති ක්‍රියාත්මක වෙනවා.

වසර කීපයකට ඉහතදී ඉතාලියේ විසෙන්සාහි ශ්‍රී ලාංකික පුද්ගලයින් තිදෙනෙක් ගිනි පොළියට දීම හා ඒවා අය කර ගැනීම සඳහා ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීති විරෝධී මුල්‍ය කටයුතුවල යෙදීමේ, සූරාකෑමේ හා පුද්ගලයන්ට අඩන්තේට්ටම් කිරීමේ චෝදනාව යටතේ දඬුවම් කළා. ඔවුන් අත්අඩංගුවට ගත්තේ හිංසනයට ලක් වූ තවත් ලාංකිකයකු විසින්ම කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව ආරම්භ කරන ලද පොලිස් පරීක්ෂණයකිනුයි.

මෙම නීති විරෝධී ජාවාරම පිළිබඳ ඉතාලි පොලිසිය විමසිලිමත් බව අපට තොරතුරු ලබාදුන් මූලාශ්‍ර පැවසුවා. එයට ගොදුරු වූවන් විස්තර ලබා නොදීම පරීක්ෂණවලට බාධාවක් බව ද වාර්තා වුණා.

ඉතාලි දණ්ඩ නීති සංග්‍රහයේ 644 වගන්තිය හා සම්බන්ධ 1996 අංක 108 දරණ නීතිය අනුව මෙවැනි මුල්‍ය වැරදිවලට අවුරුද්දක සිට අවුරුදු හය දක්වා සිර දඬුවමක් හා ලීරා මිලියන් 30ක් දක්වා දඩ පණවන්නට පුළුවන්. මෙවැනි ණය හා පොළී අය කර ගැනීමට ශාරීරික හා මානසික හිංසනයන් යොදා ගැනීම වෙනුවෙන් ද දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ලබා දෙන දැඩි දඬුවම් පනවනවා. ඊට අමතරව, දණ්ඩ නීති සංග්‍රහයේ 444 වගන්තිය යටතේ මෙම වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වන අයගේ දේපල රාජසන්තක කිරීම් ද සිදු වෙනවා. මෙවැනි අපරාධ සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීම හා එම ගනුදෙනු සමග සම්බන්ධ වීමත් දඬුවම් ලැබිය හැකි වැරදි ලෙස සැලකෙනවා.

ඉතාලියේ උදාහරණයක් මෙතැන සටහන් කළේ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අප උද්දේශනය කළ යුතු ප්‍රායෝගික විසඳුම් මොනවාද යන්න පෙන්වාදෙන්නටයි. ගිනි පොළියට ණය දීම ශ්‍රී ලංකාවේත් නීතිමය වශයෙන් වරදක් වුණත්, එම නීති ක්‍රියාත්මක නො වන නිසා ශ්‍රී ලංකාවේදී පොළියට දීමත්, ණය හා පොළිය අය කර ගැනීම සඳහා ශාරීරික හා මානසික වධ හිංසා භාවිතා කිරීමත් සුලබයි. අධික පොළී අනුපාතිකයන් නියාමනය කරන්නට මහ බැංකුව හා වෙනත් නියාමන ආයතන කටයුතු කළ යුතුයි. එහෙත්, සියල්ල නීතියෙන් කරන්නටත් බැහැ. ඇතැම්විට, ව්‍යාපාරිකයන් අතර මේ අවුරුදු කාලයේදී සාප්පුවලට භාණ්ඩ මිලදී ගැනීම වැනි අවශ්‍යතා වෙනුවෙන් දෛනික පදනමින් ලබාගන්නා ගිනි පොළී ණය තිබෙනවා. ඒවායේ වාර්ෂික පොළිය ගණන් හැදුවොත් පහසුවෙන්ම සීයට දාහ ඉක්මවනවා. එවැනි ණය ව්‍යාපාරික කටයුතුවලදී අවශ්‍ය වෙලා තිබෙනවා. සීට්ටු වැනි තවත් අවිධිමත් ණය ක්‍රම ද තිබෙනවා. ඒවායින් සැලසෙන සේවාවකුත් තිබෙන බව නොතකා හරින්නට බැහැ.

ණයවල මූලික කොන්දේසිය ආපසු ගෙවීමයි. එය උල්ලංඝනය කිරීම ණය සංකල්පයටත් පටහැණියි. එමගින් මූල්‍ය වෙළඳපොලට අහිතකර බලපෑමක් සිදුවෙනවා.

ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කිරීම ඉතාම වියුක්ත සටන් පාඨයක්. ප්‍රශ්නය ක්ෂුද්‍ර මූල්‍ය ණයවලට සීමා වන්නේ නැහැ. එසේම, ණය අහෝසි කිරීම විසඳුමක් වන්නේත් නැහැ. ක්ෂුද්‍ර මූල්‍ය ණයවලින් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින අයට නම්, ණය නොගෙවා ඉන්නට පුළුවන්. එවිට ඔවුන් අධිකරණයට යොමු කරනු ලබනවා. විනිසුරුවරුන්ට හා ණය සහන මණ්ඩල වැනි ආයතනවලට ඔවුන්ගේ දුක්ගැනවිල්ල කියන්නට පුළුවන්. ඇත්ත ප්‍රශ්නය තියෙන්නේ එතැන නෙමෙයි. ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ පැටලුණු අය ගිනි පොළී උගුලටත් අසුවෙලා. ගිනි පොළියට කිසිම නීතියක් නැහැ. එයට එරෙහිව සටන් කරන්නන්ට ආරක්ෂාවකුත් නැහැ.

ක්ෂුද්‍ර මූල්‍ය ණය කියන්නේ දියේ පාවෙන අයිස් කන්දක දියෙන් මතුපිට තිබෙන කොටස විතරයි. ඇත්ත ප්‍රශ්නය ණය ප්‍රශ්නයයි.

Creative Content Consultants

ඡායාරූපය: ඊෂා මුදියන්සේ, පොළොන්නරුව – අයිතිය වෙබ් අඩවිය හරහා

ජීවිතය ගැන අපේ ලිපි මෙතැනින්

1 thought on “අණන සුවය හා ණය අනාගැනීමේ දුක; ක්ෂුද්‍ර මූල්‍ය හා ණය ප්‍රශ්න

  1. Moolika prsne naya huwamaaruwa nowa , naya gaththa gathnayen wedi kotasak vinodasmaka katayuth sandaha pribojanayai .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: