Gotabaya Rajapaksa with police

ගෝඨාභය එදිරිව චන්ද්‍රගුප්ත හා වියන්ගොඩ පාඩම; බලය අත ඇති අවස්ථාවේදීත් විනය රැකගත යුතු ය

අජිත් පැරකුම් ජයසිංහ

ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්න කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිනී වියන්ගොඩ විසින් අභියාචනාධිකරණයේ ගොනු කරන ලද දීර්ඝ විභාගයකින් පසු ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කර තිබේ.

(Call 077 1734470 for Praja.lk Ads)
Translations by Creative Content Consultants

මෙම නඩුවෙන් විමසා බලනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ 2015 නොවැම්බර් 21දා පුරවැසිභාවය ලබාගත් ආකාරය පටිපාටියට අනුකූල ද යන්නයි. එය පටිපාටියට අනුකූල නොවිණි නම්, ඒ මත පදනම්ව ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාගන්නා ලද ජාතික හැඳුනුම්පත සහ ගමන් බලපත්‍රය ද අවලංගු වෙනවා පමණක් නොව, ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම ද අභියෝගයට ලක් වේ. හේතුව, ඇමරිකා එක්සත් ජනපදය රටක් නැති පුද්ගලයකු බවට පත් වීම සඳහා පුද්ගලයකුගේ පුරවැසිභාවය ඉවත් කරගැනීමේ ඉල්ලීම පිළිනොගන්නා බැවිනි.

මෙම නඩුවේ තීන්දුවත් සමග ඒ සියල්ල සම්බන්ධයෙන් තිබුණු සැක සංකා පහ විය. එහෙත්, පැමිණිලිකරුවන්ට නැවත වරක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නඩු තීන්දුවට අභියෝග කළ හැකි ය. එය එසේ කරනු ඇද්දැයි අපි නොදනිමු. එහි එතරම් තේරුමක් නැති බව ගෝඨාභයට විරුද්ධ පාර්ශ්ව පවා පවසති. හේතුව, ප්‍රායෝගිකව ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ පුරවැසියකු බැවිනි. නොයෙල් මුදලිගේ නමින් ලබා ගත් ගමන් බලපත්‍රයකින් ඔස්ට්‍රේලියා පුරවැසිභාවය ලබාගත් කුමාර් ගුනරත්නම්ගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අනියම් අන්දමින් නැවත පිළිගනු ලැබුවේ ද මේ හා සමාන ය. එසේ කරනු ලැබුවේ ඒ හා සම්බන්ධ සියලු අධිකරණ කටයුතු අවසන් කර නොවේ. කුමාර් ගුනරත්නම් සිරගත වූයේ වීසා කොන්දේසි කඩ කළ විදේශිකයකු වශයෙනි. මේ අන්දමින් සිරගත කරන ලද කරුණා අම්මාන් බ්‍රිතාන්‍ය රජය විසින් සිර දඬුවම අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලදී. තමා කුමාර් ගුනරත්නම් බව පැවසූ නොයෙල් මුදලිගේ නම් ඕස්ට්‍රේලියානු පුරවැසියා සම්බන්ධයෙන් ද එසේ කළ හැකිව තිබියදී ශ්‍රී ලංකා රජය එසේ නොකර නම්‍යශීලී ලෙස කටයුතු කරමින් ඔහුට ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස ජීවත් වීමට අවස්ථාව දී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ විසින් ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන තිබෙන්නේ සාමාන්‍ය පටිපාටියෙන් බැහැරව, අවිධිමත් ආකාරයකට බව මේ වන විට හෙළිදරව් වී හමාර ය. ඔහු ඒ වෙනුවෙන් අවශ්‍ය අයදුම්පත, තමන් සිටි රටේ පොලිසියෙන් ලබාගත් නිෂ්කාශන සහතිකය, අදාළ ගාස්තු ගෙවූ ලදුපත ආදී ලියකියවිලි ඉදිරිපත් කළ බවට සාධක සොයාගත නොහැකි ය. එසේම, ඔහුට ද්විත්ව පුරවැසිභාවය ලබා දී තිබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බලය යටතේ ය. හේතුව, එම වකවානුව වන විට අදාළ අමාත්‍යාංශයට ඇමතිවරයකු හෝ අමාත්‍යාංශ ලේකම්වරයකු පත් කර නොතිබුණු බැවිනි.

අවසානයේදී අභියාචනාධිකරණය විසින් සිදු කරනු ලැබුවේ, එසේ අනුමැතිය ලබා දීමට ජනාධිපතිවරයාට බලය තිබේ ද යන කරුණයි. අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොමැති අවස්ථාවක අමාත්‍ය බලතල සියල්ල ජනාධිපතිවරයාට පැවරෙන්නේ ද යන්නයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විග්‍රහයකි. එය සිදු කළ යුත්තේ අභියාචනාධිකරණය විසින් ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද යන ප්‍රශ්නය පුරවැසියකු වන මට ඇති වේ.

කෙසේ වෙතත්, මෙය දිගට ඇදගෙන යාම තේරුමක් ඇති කාර්යයක් නොවන්නට ද පුළුවන. අප සැලකිලිමත් විය යුත්තේ මෙයින් බලවත් පුද්ගලයන් ඉගෙන ගත යුතු පාඩම කෙරෙහි ය. බලවත් පුද්ගලයන්, බලය සම්බන්ධයෙන් වටහා ගත යුතු කාරණයක් වන්නේ බලය යනු සදාකාලික දෙයක් නොවන බවයි. එම නිසා, බලය අත ඇති අවස්ථාවේදීත් විනය රැකගත යුතු ය.

සමාජයක ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන විට පුරවැසියන්ට බලවත් පුද්ගලයන්, පාලකයන් ප්‍රශ්න කිරීමේ හැකියාව ලැබේ. එය ඉතා හොඳ තත්වයකි. දියුණු සමාජයක් වන්නට අවශ්‍ය නම් අප එම තත්වය රැකගත යුතු ය. බලය තිබියදී පවා, වත්මන් ආණ්ඩුව විසින් කරන ලද මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සමාජයේ දැඩි ප්‍රශ්න කිරීමකට ලක් විය. අවසානයේදී, ඒ හා සම්බන්ධ පිරිසකට එරෙහිව මේ වන විට නඩු පවරා තිබේ.

වත්මන් ගෝඨාභය රාජපක්ෂ යනු 2005දී සංචාරක වීසාවලින් ලංකාවට පැමිණි අපරිණත ඇමරිකානුවා නොවේ. ඔහු දස වසරක පරිපාලන අත්දැකීම් ඇති, 14 වසරක දේශපාලන අත්දැකීම් ඇති පුද්ගලයෙකි. ඔහු අතින් අනාගතයේදී මෙවැනි අලකලංචි සිදු නොවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.