Shirani Bandaranaike with Mahinda Rajapaksa

ආචාර්ය ෂිරාණි ඒ. බණ්ඩාරනායක ( 2019), උත්තරීතර – දෝෂාභියෝගයේ  ඇතුළාන්තය (සරසවි ප්‍රකාශකයෝ) 


බර්නාඩ් එදිරිසිංහ 

ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි තරමට බිඳ වැටී තිබෙන යුක්තිය පසිඳලීමේ ආයතන පද්ධතියට මුහුණවරවල් දෙකක් තිබේ. එක් මුහුණුවරක්  මහජන අවකාශයයි. අනෙක් මුහුණුවර යුක්තිය පසිඳලීමේ ආයතනයන් හි ස්වාධීනත්වය හා වගවීම කේන්ද්‍ර කොට ගත් අභ්‍යයන්තර මුහුණුවරයි.

Translations by Creative Content Consultants

මහජන අවකාශය තුළින් යුක්තිය පසිඳලීමේ ආයතනයන්ට එල්ල වන දේශපාලන ප්‍රහාරයන් පිළිබඳව  ‘උත්තරීතර – දෝෂාභියෝගයේ ඇතුළාන්තය’ විසින් සවිස්තරව දක්වයි. හිටපු අගවිනිසුරුවරිය තමා ධුරයෙන් ඉවත් කිරීම පිණිස ක්‍රියාත්මක කළ අසම්මත ව්‍යවස්ථානුකූල ක්‍රියාපටිපාටිය ප්‍රලේඛනය කරයි. එම ක්‍රියාදාමය තුළ ඇය ගමන් කළ ආකාරය පමණක් නොව, එම සිද්ධියට පසුබිම් වු සන්දර්භය ද ළගන්නා සුළු බසකින් විස්තර කරයි. ගතසිත කම්පනයට පත් කරන නමුත්, එක හුස්මට කියවිය හැකි පොතකි. එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයේ තීරණාත්මක අවස්ථාවේදී, එක්සත් ජාතික පක්ෂය ද  රාජපක්ෂවරුන් සමඟ සිට ගත් ආකාරය සනිටුහන් කිරීමෙන්, කතුවරිය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන බලධාරින් ගේ නිරුවත හෙළි කරයි. මේ  සියල්ල සම්බන්ධයෙන් තවමත් ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය තබා ගෙන සිටින පාඨකයින් ගේ ගෞරවය ඇයට හිමිවෙයි.

මෙම ග්‍රන්ථයෙන් ආමන්ත්‍රණය කරන විෂයෙහි තවත් වැදගත්කමක් ද තිබේ. ඒ වනාහි යුක්තිය පසිඳලීමේ පද්ධතිය තුළ වෘත්තිකයින් ගේ භූමිකාව සම්බන්ධයෙන් දක්වා තිබෙන අනවධානයයි. අධිකරණය නගා සිටුවීම පිණිස පස් අවුරුදු සැලැස්මක් අතැතිව සිටි ආචාර්ය ෂිරාණි ඒ. බණ්ඩාරනායක අගවිනිසුරුවරිය (23 හා 24 පිටු)  ඒ වන  විට යුක්තිය පසිඳලීමේ ආයතනයන්හි ස්වාධීනත්වය මෙන්ම වගවීම සම්බන්ධයෙන් මුහුණු දී තිබූ බරපතළ විවේචන කිසිවක් ගැන කථා නොකරයි. මෙම නිහඩතාවය පොදු  ලක්ෂණයක් නොවේ. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ වත්මන් අගවිනිසුරු රන්ජන් ගෝගි ගේ  කාර්ය මණ්ඩල නිලධාරිනියක් තමාට අගවිනිසුරු රන්ජන් ගෝගි විසින්  ලිංගික අඩන්තේට්ටම් කරන ලදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට ලිඛිතව පැමිණිලි කළාය. මෙම පැමිණිල්ල  සම්බන්ධයෙන් ඉන්දීය පොලිසියත් අගවිනිසුරුවරයාත් ක්‍රියාකළ ආකාරය සම්පුර්ණයෙන්ම පැමිණිලි පාර්ශවය දැඩි අපහසුතාවයකට පත් කිරීමක් විය. අගවිනිසුරු රන්ජන් ගෝගිට එරෙහි පැමිණිල්ල හා එහිදී ඔහු ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන්  සංවාදයක් නීති ක්ෂේත්‍රයේ වෘත්තිකයන් අතර ඇති විය. දිල්ලි මහාධිකරණයේ හිටපු අගවිනිසුරු අශෝක් ප්‍රකාශ් ෂා ප්‍රසිද්ධ දේශනයකදී ඉන්දීය අධිකරණයේ ස්වාධීනත්වය හා වගවීම සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කිරීමට පසුබට නොවීය. ඉන්දීය අධිකරණ පද්ධතියේ බිඳ වැටීමට විවිධ විනිශ්චයකාරවරුන් ගේ ක්‍රියාකලාපයන් හේතු වන හැටි පෙන්වා දුන් ඔහු නිදසුන් සහිතව මෙම තත්ත්වය වළක්වා ගැනීම පිණිස පොදු රාජ්‍ය මණ්ඩලීය අත්දැකීම් ආශ්‍රයෙන්  යෝජනා මාලාවක් ද ඉදිරිපත් කළේය. එම යෝජනා මාලාවට ව්‍යවස්ථානුකූල නීතිරීති පමණක් නොව උසාවි පද්ධතිය තුළ විනිශ්චයකාරවරුන් විසින් අනුගමනය කළ යුතු ස්වයං නියාමන ක්‍රියාදාමය ගැන ද යෝජනා ඇතුළත් විය.

ආචාර්ය ෂිරාණි ඒ. බණ්ඩාරනායක අගවිනිසුරුවරිය දිවුරුම් දෙන්නේ විවේචනයට භාජනය වූ  41 වන අගවිනිසුරු සරත් එන්. සිල්වා ගේ දස අවුරුදු සේවා කාලය ඉකුත් වී වසර දෙකක් සම්පුර්ණ වීමටත් පෙරය. ඇය 42 වන අගවිනිසුරුවරිය වශයෙන් ඡ්‍යෙෂ්ඨත්වය අනුව පත් කළ යුතුව තිබුණත් එම තනතුර ඇයට අහිමි විය (19 පිටුව).  ඒ වන විට දේශපාලන අධිකාරියට උවමනා පරිදි කටයුතු කිරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පුරුද්ද යුක්තිය පසිඳලීමේ පද්ධතිය තුළ නිදන්ගත වී තිබුණු අතර 43 වන වන අග්‍ර විනිශ්චයකාරවරයා ගෙන් ද එම පුරුද්ද ඉදිරියට ගෙන යාම පාලකයින් අපේක්ෂා කිරීම පුදුමයට කරුණක් නොවේ. තමාට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගයේදී නීති ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඇය වෙනුවෙන් පෙනී සිටි ආකාරය මෙන්ම ඇතැමුන් මග හැර ගිය ආකාරය ද ඇය සටහන් කරයි. නමුත් යුක්තිය පසිඳලීමේ පද්ධතියෙහි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය වෙනුවෙන් ප්‍රාමාණික  සංවාදයකට ශ්‍රී ලාංකික නීතිඥ ප්‍රජාව ආරම්භක පියවරක් ගත් බව වාර්තා නොවේ. ඒ වන විට යුක්තිය පසිඳලීමේ පද්ධතිය පත් වී තිබූ කණගාටුදායක තත්ත්වය ඇය සටහන් කරයි. කතුවරිය 2013 ජනවාරි 15 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් වැඩි දෙනෙකු මුණ ගැසී තමා නීති විරෝධී ලෙස ඉවත් කොට පත් කරන නව අග විනිසුරු පිළිනොගන්නා ලෙසට කළ ඉල්ලීමට ඔවුන් ගෙන්  ලැබුණ ප්‍රතිචාරය ගැන ඇය තුළ ඇති වූ කම්පාව ඇය විස්තර කරයි. ( 221 පිටුව) 

යුක්තිය පසිඳලීමේ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් මැදිහත්වීමට 43 වන අගවිනිසුරුවරිය තරම් සුදුසුකම් ලත් වෙනත් අයෙක් මේ දක්වා එම පද්ධතිය විසින් බිහි කර නැත. අවුරුදු 200කට ආසන්න ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වුණ ප්‍රථම ශාස්ත්‍රාලීය අධ්‍යාපන පසුබිමකින් පැමිණි විද්වත්වරිය වන ඇය අගවිනිසුරු ධුරයෙන් පහ කරනු නොලැබුයේ නම් 2023 දී විශ්‍රාම යන තුරු එම තනතුර දැරිය හැකිව තිබුණි. මේ නිසා යුක්තිය පසිඳලීමේ පද්ධතියේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව සිය අත්දැකීම් හා පරිකල්පනයන් සම්බන්ධයෙන් ඇයගේ මුනිවත  හා අක්‍රිය බව  ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි පාඨකයින් ගේ විශ්මයට හේතු වෙයි. 

Leave comment

Your email address will not be published. Required fields are marked with *.