මේ සමග පළවන ඡායාරූපය අප අධිනීතීඥ සාලිය පීරිස්ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටාගෙන මෙහි පළ කළේ විශේෂ හේතුවක් මතය. නිකවැරටිය අධිකරණ භූමිය අසල පිහිටා ඇති මෙම නීතීඥ කාර්යාල විසින් නීති වෘත්තිය ගැන කතාවක් නිහඬව කියයි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති සාලිය පීරිස් මහතා ඒ පිළිබඳ සංවේදී විය යුතුය. නීති වෘත්තිය තුළ සිදුවිය යුතු සංවර්ධනයන් රැසක් තිබේ.

“නීතීඥ සංගමය කියන්නෙ මට ඡන්දෙ දීපු නීතීඥවරුන් විතරක් නෙමෙයි. මට ඡන්දෙ නොදීපු නීතීඥවරුනුත් මේ සංගමේ සාමාජිකයන් වෙනවා. සභාපති වශයෙන් මා බලාපොරොත්තු වන්නේ මුළු සංගමයේම සියලු සාමාජිකයන්ගේ සභාපති වෙන්න. නිලවරණ කාලෙ බොහෝ දේ වෙනවා. අපි ඒවා අමතක කරන්න ඕනැ. ඒ හිත් රිදීම් අමතක කරලා ඉදිරියට යන්නට ඕනැ,” යි නිලවරණය ජයගැනීමෙන් පසු ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පැවසීය

ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මෙම ප්‍රකාශය කළ දිනයේම දහවල් පැවැත්වුණු පාර්ලිමේන්තු රැස්වීමේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මන්ත්‍රීවරයා පසුගිය සැප්තැම්බර් මාසයේදී භාරදුන් ප්‍රශ්නයකට පිළිතුර පමාවීම පිළිබඳ ප්‍රශ්න කළවිට ආණ්ඩු පක්ෂයේ සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු කතාකරමින් කී කරුණක් වන්නේ මඩකලපුවේ ජනතාව ඡන්දය දී තිබෙන්නේ සමගි ජන බලවේගයට බවයි. වත්මන් ආණ්ඩුව බලයට පත්වී මාස 15කට පසුව පවා අපරිණත දේශපාලකයන් කතාකරන්නේ එහෙමය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු වෘත්තික සංවිධානයකි. එහි නිලවරණයත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයත් අතර මහලොකු වෙනසක් නැත. මෙවැනි නිලවරණ කාලයේදී ඇතිවන තත්වයන් තේ කෝප්පයේ කුණාටු වැනිය. එම නිලවරණයන් මූලික වශයෙන් අදාළ වන්නේ එම සංවිධානවලට පමණි.

නීතීඥ සංගමය අදාළ වන්නේ නීති වෘත්තියටය. එහෙත්, රටේ සමස්ත අධිකරණයම සම්බන්ධයෙන් ධනාත්මක හෝ ඍණාත්මක බලපෑමක් කිරීමේ හැකියාව එම සංගමයට තිබේ.

මානව හිමිකම් ක්ෂේත්‍රයේ මෙන්ම අධිකරණ විෂයසම්බන්ධයෙන් ද ප්‍රාමාණික උගතකු හා සක්‍රිය නීතිවේදියකු වන සාලිය පීරිස් නීතීඥ සංගමයේ සභාපති තනතුරට පත්වීම අමුතු දෙයක් නොවේ. නීතීඥ සංගම් ඉතිහාසය පුරාම සභාපති තනතුරට පත්වී තිබෙන්නේ එවැනි අය යයි කිව හැකිය.

මෙවර නීතීඥ සංගම් නිලවරණයේදී ආණ්ඩුව අනියමින් ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසාට සහාය දැක්වීය. එහෙත්, ඊටත් වඩා වැදගත් වූයේ ඔහු ආණ්ඩු පාක්ෂිකයකු ලෙස නිරූපණය වීමයි. ඔහුගේ පරාජය වැදගත් වන්නේ එම සංදර්භය තුළයි.

ආණ්ඩුව අධිකරණය සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රතිපත්තිය පිළිබඳ විරෝධයක් නීති වෘත්තිය තුළින්ම පැනනැගී තිබෙන බව මෙම ප්‍රතිඵලයෙන් පැහැදිලිය. ආණ්ඩුවටත් වඩා හයියෙන් අධිකරණයට අතපොවන්නට කටයුතු කළේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවයි.

ජනාධිපතිවරයා හා ආණ්ඩුව සතුටු කරන්නට කටයුතු කරන ආකාරය හැමතැනකම දකින්නට තිබෙනවා. සිදුවන හැමදෙයක්ම ජනාධිපතිවරයාගේ හෝ ආණ්ඩුවේ මෙහෙයවීමෙන් සිදුවන්නේ නැත. එහෙත්, අනුදැනුම තිබේ. ආණ්ඩුවටත් වඩා හයියෙන් දුවමින් නායකයන් සතුටු කරන්නට උත්සාහ කරන පිරිස් නිසා සිදුවන හානිය විශාලයි. එයට නායකයන්ගේ අනුග්‍රහයද ලැබේ.

රාජපක්ෂ ආණ්ඩු නීතියේ ආධිපත්‍යයට ගරු කළ ඉතිහාසයක් තිබෙන ඒවා නොවේ. එහෙත්, වත්මන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සම්බන්ධයෙන් දක්නට ලැබෙන්නේ ජනාධිපතිවරයා හා ආණ්ඩුව සතුටු කරනු පිණිස ඇතැම් කොටස් ඔවුන්ටත් අතිධාවනකාරී ලෙස හැසිරීමකි. පූර්ණ අන්දමින් නොවුණත්, අඩුපාඩු තිබුණත්, 2015-2019 පස් වසර තුළ සාපේක්ෂ නිදහසක්, ස්වාධීනත්වයක් මෙරට තිබිණි.

මේ රටේ ජනතාව ඒ නිදහස අත්හැරියේ ආර්ථික සමෘද්ධිය ලබාගැනීම සඳහා කැපකිරීම් කිරීමේ සූදානමකිනි. එහෙත්, වත්මන් ආණ්ඩුව නටපු තොවිලයකුත් නැත. බෙරේ පලුවකුත් නැත. කෝකටත් තෛලය කොරෝනාය.

ආණ්ඩුවේ වැඩපිළිවෙල කෙරෙහි කලකිරීම මුලින්ම විද්වත් වෘත්තිකයන් අතරින් මතුවීම අපේක්ෂා කළ හැකි තත්වයකි. සාලිය පීරිස්ගේ ජයග්‍රහණය අප විග්‍රහ කරන්නේ එම පසුබිම තුළය. රටේ නීති සම්පාදනය හා නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ වඩා දැනුවත් නීති ප්‍රජාව සිය විරෝධය සලකුණු කර තිබේ. විරෝධයෙන් පමණක් ප්‍රමාණවත් නැත. කාන්තාවට අපහාසයක් ලෙස නොගෙන ජනවහරේ ඇති කැහි ගෑනි දී හොටු ගෑනි ගැනීම යන ප්‍රස්ථාව පිරුළෙන් කියවෙන පරිදි නැවත හොටු ගෑනියෙකු ගෙන එන්නට උත්සාහ කරනවා වෙනුවට නව නායකත්වයන් සොයා යාම අප ඇරඹිය යුතුය. සාලිය පීරිස් වැනි අය ඉදිරියට පැමිණීම වැදගත් වන්නේ එම සංදර්භය තුළයි.

1 thought on “සාලිය පීරිස්ගේ ජයග්‍රහණය තේ කෝප්පයේ කුණාටුවක් පමණක්ද?

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: