J.R. Jayawardane

විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින් අහෝසි කළ යුතු ද?

අජිත් පැරකුම් ජයසිංහ

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ නො හැකි ය. එසේම, විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින් අහෝසි කළ යුතු නැත.

Translations by Creative Content Consultants

කුමන හෝ ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ ගැඹුරු මහජන සංවාදයක් ඔස්සේ මිස මෙවැනි හදිසියකින් නො වේ.

අනෙක් පැත්තෙන්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගෙන එන්නට උත්සාහ කරන 1978ට පෙර තිබුණු වෙස්ට්මිනිස්ටර් ක්‍රමය ද ඉතා හොඳ එකකැයි කියන්නට ද බැරි ය.

විධායක ජනාධිපති ධුරය වර්තමානයේදී පළාත් සභා ක්‍රමය සමග ඇති සම්බන්ධය සරලව ගලවා ඉවත් කළ හැකි එකක් නොවේ. එසේම, අප මේ වන විට දශක හතරකට වැඩි කාලයක් ජීවත් වී තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය යටතේ ය. ඉන් පෙර පැවති ක්‍රමය පිළිබඳ දන්නේ වැඩිහිටි පරම්පරාවකි.

විධායක ජනාධිපති ධුරය ගැන මම මගේ ස්ථාවරය 2014 ඔක්තෝබර් 08දා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතු ම ද? මැයෙන් මෙසේ සටහන් කළෙමි. පහත පළවන්නේ එහි නැවත පළකිරීමකි. එය අදත් මා ඒ පිළිබඳ සිතන ආකාරයයි. ඉතා සුළු සංශෝධනයක් පමණක් කර තිබේ.

ලංකාවේ සියලු අයාදෝසවලට හේතුව විධායක ජනාධිපති ක්‍රමය නිසා වහා එය වෙනස් කර පාර්ලිමේන්තුවට බලය පවරන ක්‍රමයක් ඇති කළ යුතු යයි අදහසක් ප්‍රවර්ධනය වෙමින් තිබේ.

ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් විය යුතු බවට එරෙහිව තර්කයක් නැත. එහෙත්, තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විප්ලවීය ලෙස වෙනස් කර අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන එක ලෙහෙසි පහසු කාර්යයක් නො වේ. ඒ සඳහා මූලිකව ම කළ යුතුව තිබෙන්නේ ජනතාව ඒ වෙනුවෙන් පෙළගැස්වීමයි. ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවදියෙන් සිටිය යුතු ය. එහෙත්, ලංකාවේ බහුතරයක් ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ එතරම් දුරට දැනුවත් ද යන්න ගැටලුවකි. ලංකා ඉතිහාසයේ මෑත වකවානුව ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ඒකාධිපතිවාදය ක්‍රියාත්මක වූ මැර බලය, දූෂණය හා මැතිවරණ වංචා ඉහවහා ගිය සමයකි. ලංකාවේ පාලකයන් මෙන් ම ප්‍රධාන විරුද්ධ පක්ෂය ද කරන්නේ ජනතාව දැනුවත් කර, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ඡන්ද දිනන්නට උත්සාහ කිරීම නො වේ. ඔවුන් කරන්නේ ඡන්දය උපයෝගී කර ගැනීමයි. ආණ්ඩු පක්ෂය නම් මෙය ඉතා විවෘතව ම කරයි. ඒ විවිධ අල්ලස් ඔස්සේ ඡන්ද මිළ දී ගැනීමෙනි. 

මෙවන් සංදර්භයක් තුළ ඇත්තෙන් ම, ලංකාවේ තිබෙන ලොකු ම ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය ද?

ධනේශ්වර පාලනයන් තිබෙන ලෝකයේ රටවල් රැසක විධායක ජනාධිපති ක්‍රමය යම් යම් වෙනස්කම් සහිතව ක්‍රියාත්මක වේ. එහෙත්, ඒ රටවල් හැම එකක ම විධායක ජනාධිපති ක්‍රමය නිසා ප්‍රජාතන්ත්‍රවාදය හීන වී ගොස් නැත. නිදසුනක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය ගන්න. විධායක ජනාධිපති ක්‍රමය නිසා එරට තුළ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් දුර්වල වෙමින් තිබෙන්නේ නැත.

ලංකාවේ ගැටලුව තිබෙන්නේ විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ අධිකරණයට වඩා මහජනතාව තුළ ය. ලංකාවේ ජනතාව අතර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඇති අවබෝධය දිය වී යමින් තිබේ. මෙය දිය කර දමමින් තිබේ යයි කියන්නට ද පුළුවන. එහෙත්, එය තනිකර ම ජනාධිපතිවරයාගේ වරදකැයි සැලකිය නො හැකි ය. රටේ බුද්ධිමතුන්ගෙන් බහුතරයක් උන්නතිකාමී, පාරිභෝජනවාදී අවශ්‍යතා මත දූෂිත පාලකයන්ට ඇම්බැට්ටකම් කරන සංදර්භයක් තුළ ජනතාවට සත්‍යාවබෝධය ලැබේ යයි අපේක්ෂා කළ හැකි ද?

ජනතාව ශක්තිමත් වන්නේ නම්, විධායක ජනාධිපති ක්‍රමය තුළ ම ජනාධිපතිවරයා පාලනය කළ හැකි නියාමනයන් සකස් කර ගත හැකි ය.

ලංකාවේ නම්, පක්ෂ මාරු කිරීම සම්බන්ධ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විධිවිධාන නිසි පරිදි ක්‍රියාත්මක වන රාමුවක ජනාධිපතිවරයාට මෙතරම් බලයක් ගොඩනගා ගත නො හැකි ය. ජනාධිපති බලය ඉදිරියේ නගුට දෙපරැන්දේ ගසා ගත් දූෂිත, නිවට කැණහිලුන් වෙනුවට සැබෑ මහජන නියෝජිතයන්ගෙන් සැදුම් ලත් පාර්ලිමේන්තුවක් පත් වේ නම් ව්‍යවස්ථාදායකය ශක්තිමත් කර ගැනීම සඳහා පියවර ගන්නට බැරිකමක් නැත. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (3) වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් අගමැති ධුරය සඳහා පත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ වැඩි ම විශ්වාසය ඇති මන්ත්‍රීවරයා ය. පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම සඳහා විධිවිධාන තවමත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ තිබේ. 

එසේම, ජනාධිපතිට හිමි නීතිමය මුක්තිය ඉවත් කිරීම, දෙවරකට වඩා පත් විය නො හැකි බවට වූ නීතිය නැවත ගෙන ඒම, සිව් වසරකට පසුව ජනාධිපතිවරණයකට යන්නේ නම්, එයින් පසු වහා දිව්රුම් දිය යුතු බවට නීති සම්පාදනය, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම සඳහා වූ 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙන ඒම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නට පුළුවන. 

13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ හැකි වටපිටාවක් නිර්මානය කිරීම ද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට හේතු වෙයි. ඒ සඳහා ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ශක්තිමත් කළ යුතු ය. 

සමානුපාතික නියෝජනය හා මන්ත්‍රී ආසන ක්‍රමයේ සම්මිශ්‍රණයකින් යුත් මැතිවරණ ක්‍රමයක් සම්බන්ධයෙන් ඉතා හොඳ යෝජනා සාකච්ඡා වී තිබේ. ඒවා අන්තර්ගත වන සේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට පුළුවන. ඒ ඔස්සේ වත්මන් මනාප ඡන්ද ක්‍රමයේ දුර්ගුණ දුරලන්නට   පුළුවන. ඒ සඳහා අවශ්‍ය නම් මන්ත්‍රී ආසන සංඛ්‍යාව වැඩි කරන්නට පුළුවන. 

දූෂණ අවම කරන්නට අවශ්‍ය පියවර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ම ගත හැකි ය. පළාත් සභාවල ඇමති මණ්ඩලය පළාත් සභා පනතින් ම සීමා කර තිබේ. මධ්‍යම ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සීමා කිරීමේ විධිවිධාන ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් ගත හැකි ය. තවත් මෙවැනි ක්‍රියාමාර්ග රැසක් මේ වන විටත් සාකච්ඡා වී තිබේ.

අප ඉදිරිපත් කරන මූලික තර්කය මෙයයි. විප්ලවීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා මහජන පෙළගැස්මක් ඇති කළ යුතු ය. ඒ සඳහා මහජනයා අතර ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක් ඇති කළ යුතු ය. පවතින ඒකාධිපතිවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී පරිසරය තුළ එය සිදු වන්නේ නැත. 

එබැවින් විප්ලවීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ සාකච්ඡා ද ප්‍රජාතන්ත්‍රවාදී නැත. ඒවා කිසියම් කණ්ඩායමක අධිපතිවාදී මැදිහත්වීම් ය. 1972 හා 1978 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අපට ලැබුණේ එවැනි ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල ලෙසයි. 

අප විසින් කළ යුතුව තිබෙන්නේ පවත්නා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පටන් ගැනීමයි. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා පවත්නා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ ගත හැකි ක්‍රියාමාර්ග පළමුව ගත යුතු ය. ජනතාව තීරණ ගැනීමේ ක්‍රියාවලිය සමග සක්‍රියව සහභාගි වන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන සමාජ කතිකාවතක් පවතින සංදර්භයක අපට මෙතැනින් ඉදිරියට යාම ගැන සිතිය හැකි ය. 

එහෙම නොමැතිව, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පෙරළි හා විප්ලව පිළිබඳ ඉදිරිපත් වන අදහස් හුදු පුද්ගල හිතලු හා ජනතාව රැවටීමේ උපායමාර්ග පමණක් බව කිව යුතු ය. 

සරළව කිවහොත්, ආණ්ඩු ක්‍රම සංශෝධනය කරන්නට යෝජනා කරන අය මෙතනින් පටන් ගන්නට කැමති ද යන්න පැහැදිලි කළ යුතු ය. 

  • ජනාධිපති සතු නීතිමය මුක්තිය අහෝසි කිරීම
  • දෙවරකට වඩා පත් විය නො හැකි නීතිය යළි ගෙන ඒම
  • මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම
  • සමානුපාතික නියෝජනයෙන් පත් වන මන්ත්‍රීන් පක්ෂ මාරු කිරීම නතර කිරීම සඳහා පියවර ගැනීම
  • 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණව ක්‍රියාත්මක කළ හැකි විශ්වාසනීය වටපිටාවක් නිර්මානය කිරීම
  • 17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභා නැවත පිහිටුවීම
  • ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ම ඇමති මණ්ඩලය සීමා කිරීම
  • දූෂණයට එරෙහි දැඩි පියවර ගැනීම

මෙම ඇතැම් සංශෝධන 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ මේ වන විට සිදු කර තිබේ. එහෙත්, පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අවශ්‍ය පියවර ගැනීමට රජය අසමත් විය.