Sexual harassment at workplace

ලිංගික අල්ලස් ඉල්ලීම

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2020 සැප්තැම්බර් 20

අමාත්‍යාංශයක ජ්‍යේෂ්ඨ නිලධාරියකු බව පැවසෙන පුද්ගලයකු තමන් යටතේ සේවය කරන තරුණ සේවිකාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටිද්දී එම සේවිකාව විසින් පටිගත කරන ලද වීඩියෝ දර්ශනයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි. දීර්ඝ කාලයක සිට මෙම නිලධාරියා විසින් එකී කාන්තාවට අනවශ්‍ය බලපෑම් කරමින් සිටින බව වීඩියෝවේ ඔහු විසින් කරනු ලබන ප්‍රකාශවලින් ම පැහැදිලි වේ. මෙම පටිගත කිරීම හා එය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම එහි ප්‍රතිඵලයකි. (වීඩියෝව ලිපියේ අග දැක්වේ)

Translations by Creative Content Consultants

පුළුල් අර්ථයෙන් ගත් කල ලිංගික හිංසනය යනු අනවශ්‍ය හෝ අනාරාධිත ලිංගික අවධානයයි. එබැවින් මෙය ලිංගික හිංසනයකි. එය වනාහි ‘ඕක මොකක්ද? ඔය වගේ දේවල් ඕනැ තරම් වෙනවානේ,’ යි කිව හැකි සිල්ලර දෙයක් නොවේ. මෙවැනි ක්‍රියා සේවා ස්ථානවල සුලබ වන්නේ ඒවා වැරදි ලෙස හඳුනාගැනීමට සමාජය අසමත් වීම නිසාය.

රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශවල ද රාජ්‍ය නොවන සංවිධානවල ද සෙසු සෑම ආකාරයක ම රැකියා ස්ථානවල ලිංගික හිංසනය සිදු වේ. සේවකයන් සම්බන්ධයෙන් නම්, රැකියා ලබාදීම, උසස්වීම් ලබාදීම, ස්ථාන මාරු, සේවා දීර්ඝකිරීම්, වරප්‍රසාද ආදී බොහෝ කරුණු සම්බන්ධයෙන් ‘ලිංගික අල්ලස්’ ලෙස ප්‍රකට ඉල්ලීම් ඉදිරිපත් කෙරේ. සේවාලාභීන්ට නිල කාර්යයන් ඉටුකරගැනීම, සම්පත් සපයාගැනීම, ආධාර ලබාගැනීම වැනි කාර්යයන්හිදී ලිංගික සේවා සැපයීමට බලකරන තත්වයන් වාර්තා වී තිබේ.

සේවා ස්ථානවල සිදුවන ලිංගික හිංසනයන් නිසා විශේෂයෙන් කාන්තාවන් දැඩි පීඩනයකට ලක්වේ. පිරිමින් එසේ පීඩාවට ලක් නොවන බවක් එයින් අදහස් වන්නේ නැත. එහෙත්, සාපේක්ෂ වශයෙන් ගත් කල පිරිමින්ට වැඩි ආරක්ෂාවක් සමාජය තුළ තිබේ. අවසානයේදී මෙම තත්වය විසින් සේවා සම්පාදනයට, නිෂ්පාදනයට ඇති කරන බලපෑම සමාජය කරා ද විහිදේ.

මෙවැනි වැරදිවලින් පීඩාවට පත්වන්නන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ ආරක්ෂාව තහවුරු කර තිබේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(2) ව්‍යවස්ථාව අනුව, කිසිදු පුද්ගලයකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව අනුව, කිසිම තැනැත්තකු වධහිංසාවලට හෝ කෘර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේය.

එහෙත්, පවුල, පාසල, සම වයස් කණ්ඩායම්, සේවා ස්ථාන, පොදු ප්‍රවාහනය, සමාජය සහ ජනමාධ්‍ය තුළදී කාන්තාවන්ට එරෙහි හිංසනයන් විවිධ ස්වරූපවලින් සිදුවන අයුරු දැකිය හැකිය. වෙනස්කම් කිරීම, මානසික හිංසනය, වාචික හිංසනය පමණක් නොව දරුණු ශාරීරික වධ හිංසනයන් දක්වා විවිධාකාරයෙන් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ශ්‍රී ලංකාවේ සිදුවේ.  

දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය අනුව, අඩන්තේට්ටම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරය පෑමෙන් යම් තැනැත්තකුට ලිංගික අතවර කරන හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් යම් තැනැත්තකුට ලිංගික හිරිහැරයක් හෝ අතවරයක් සිදු කරන කවර හෝ තැනැත්තකු ලිංගික අතවර කිරීමේ වරද සිදුකරයි. මෙම වරද සිදුකරන්නාට අවුරුදු පහක් දක්වා දීර්ඝ වියහැකි කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක වූ බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ ඒ දඬුවම් දෙකෙන්ම හෝ දඬුවම් කරනු ලැබිය හැකිය. ඒ වරද සිදු කරනු ලැබුවේ යම් තැනැත්තකු සම්බන්ධයෙන් ද ඒ තැනැත්තාට සිදු කරන ලද හානි වෙනුවෙන් අධිකරණය විසින් නිශ්චය කරන මුදලක වන්දියක් ද ඒ තැනැත්තාට ගෙවන මෙන් අධිකරණයෙන් නියම කරනු ලැබිය හැකිය.

වැඩකරන ස්ථානයක බලය දරන තැනැත්තකු විසින් වැඩ කරන ස්ථානයකදී හෝ වෙනත් යම් ස්ථානයකදී වචනයෙන් හෝ ක්‍රියාවෙන් කරනු ලබන අනනුඥාත ලිංගික ප්‍රයත්නවලින් ලිංගික අතවර කිරීමේ වරද සංයුක්ත වන බව මේ සම්බන්ධ පැහැදිලි කිරීම්වල දැක්වේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය යටතේ ස්ත්‍රී දූෂණය නම් වරද අර්ථ නිරූපණය කර තිබේ. ඒ යටතේ ස්ත්‍රී දූෂණයක් නොවන ක්‍රියාවක් 365 (ආ) වගන්තිය යටතේ බරපතල ලිංගික අපයෝජන ගණයේ ලා සැලකිය හැකි ය.

ලිංගික අල්ලස් ඉල්ලීම් ලෙස ප්‍රකට ක්‍රියාව ඉහත දෙවර්ගයටම අයත් වන්නේ නැත. එහෙත්, දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තියේ දැක්වෙන අඩන්තේට්ටම් කිරීම, සාපරාධී බලහත්කාරය හා වචනයෙන් කරන ලිංගික අතවරය යන වැරදි ගණයට ‘ලිංගික අල්ලස්’ ඉල්ලීම අයත් වේ.

‘ලිංගික අල්ලස්’ ලෙස පොදුවේ හඳුන්වන්නා වූ, නිල පරිපාලන කාර්යයක් සිදුකිරීම සඳහා ලිංගික ක්‍රියා ඉල්ලා සිටීම සිදුකරන නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය අදාළ වන බවට අර්ථනිරූපණ සිදුකර තිබේ

එහෙත්, දැනට වාර්තා කර තිබෙන පරිදි ඉහත කී නිලධාරියා තවමත් වැඩ තහනමකට හෝ ලක් වී නැත. එම පුද්ගලයා අතින් හිංසනයට ලක්වන කාන්තාව නිල වශයෙන් පැමිණිලි කර නැති බවක් ද කියැවේ. ඔහු සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් සිදු කිරීමට එවැනි පැමිණිල්ලක් අත්‍යවශ්‍ය නැත.

කවරයේ රූපය මෙතැනින්: www.pcg-services.com/

Translations