Mahara prison

අජිත් පැරකුම් ජයසිංහ

ජවිපෙ තහනම් වකවානුවේ මුල් යුගයේදී, 1985දී මම වරක් අප මිත්‍ර මනෝජ් ප්‍රේමකීර්ති සමග ජවිපෙ වෙනුවෙන් අත්පත්‍රිකා බෙදීමට බුලත්සිංහල අතුර නගරයට ගියෙමි. එවකට කීර්ති පාසල් ශිෂ්‍යයෙකි. මම පාසලින් ඉවත් වී විශේෂ ඉංජිනේරු ආධුනිකයකු ලෙස වෝකර් පුත්‍ර සමාගමේ සේවය කරමින් සිටියෙමි.

අප දෙදෙනා වෙන වෙනම හතරට පහට නැමූ පත්‍රිකා ඉරිදා පොළට පැමිණි මිනිසුන්ට බෙදමින් සිටියදී එම පත්‍රිකාවක් ලැබුණු එවකට බුලත්සිංහල පාර්ලිමේන්තු මන්ත්‍රී රොනී ද මැල්ගේ ගෝලයකු තවත් පිරිසක් සමග මා පසුපස පැමිණ නවත්වාගෙන, පොලිසිය ගෙන්වා මා අල්ලා දුන්නේය. මගේ ජීවිතය මුළුමනින්ම වෙනස් කළ මෙම සිදුවීමෙන් පසු මාස තුනක් රිමාන්ඩ් භාරයේ සිටි මම අධ්‍යාපනය අතහැරදමා පූර්ණකාලීනව ජවිපෙ දේශපාලනයට එක්වුණෙමි.

බන්ධනාගාරවල තත්වය අධ්‍යයනය කිරීමේ අවස්ථා කීපයක්ම එතැන් සිට 1990 දශකයේ මුල් භාගය දක්වා මට ලැබිණි. මුල් අද්දැකීම ලැබුණු 1985 වර්ෂය වන විට තත්වය ඉතාම කණගාටුදායක විය. දෙමළ සිරකරුවන් පනහකට වැඩි පිරිසක් බන්ධනාගාරවලදී මරා දමා ගත වී තිබුණේ අවුරුදු කීපයක් පමණි. එවකට මැගසින් බන්ධනාගාරයේ සිටි ප්‍රධාන ජේලර්වරයා තමන් එය කරවූ බවට වහසි බස් දොඩන්නට තරම් එඩිතර වූයේය.

දේශපාලන සිරකරුවකු ලෙස සලකා මැගසින් බන්ධනාගාරයේ පී සෙල්ස් ලෙස හැඳින්වුණ විශේෂ අංශයට මා දමන ලදී. මා හැර එහි සිටි සෙසු පිරිස අතර, අම්පාරේ සුදා හා බළල් සෝමේ නම් දීර්ඝකාලීන සිර දඬුවම්වලට ලක්වී සිටි සිරකරුවන් දෙදෙනෙකු ද, මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පකිස්තාන ජාතික බැංකු කළමනාකරුවෙකු ද, මත්ද්‍රව්‍ය චෝදනාවකට දඬුවම් ලබා අභියාචනා කර සිටි ඕස්ට්‍රියානු ජාතිකයකු ද විය.

දිනක් දවල් මෙම අංශයට ඇතුළු වන දොර ඇර වසනු ඇසිණි. මොහොතකින් කිසියම් සිර ඇඳුම් ඇඳි පුද්ගලයකු සිය ඇලුමිනියම් පිඟාන හා කෝප්පය ද රැඳුණු දෑත්වලින් වාරු ගෙන තට්ටම් බිම දිගේ අද්ද අද්දා පැමිණියේය. ඔහුගේ මුවින් කොච්චි මිරිස් කෑ අයෙකුගේ මෙන් ස් ස් හඬක් නික්මිණි. සිරුර දහදියෙන් නෑවී තිබිණි. කකුල් ඉදිමී තිබිණි. අධික වේදනාවෙන් සිටි ඔහු බිම වැටී ළතෝනි දුන්නේය.

පැන යාමට දැරූ තැතක් යයි බන්ධනාගාර නිලධාරීන් විසින් දක්වන ලද හේතුවක් මත මෙම පුද්ගලයාට ලෙග් බේල් නම් වධහිංසනය පමුණුවා තිබිණි. එය කරන්නේ පුද්ගලයා බංකුවක් මත මුණින් අතට බාවා ඔහුගේ සිරුර මත පුද්ගලයන් කිහිප දෙනෙකු නැග සෙලවීමට බැරි තත්වයට පත් කර, වැර යොදා බැටන් පොලුවලින් යටි පතුල්වලට පහර සිය ගණනක් ගැසීමෙනි.

මෙම පුද්ගලයා සති ගණනක් ම ඇවිද්දේ තට්ටම්වලිනි.

ලංකාවේ බන්ධනාගාර යනු සිරකරුවන්ට අමානුෂික ලෙස සැලකීම අතින් සම්ප්‍රදායක් ඇති තැනකි. එම වකවානුවේ ඇතැම් නිලධාරීන් සිරකරුවා යන වචනය වෙනුවට භාවිතා කළේ පකයා කියා ය. “පකයො කීදෙනෙක් ඉන්නවද මේ වාට්ටුවෙ?”

එසේම, මේ නිලධාරීන් බුලත් විට, සිගරැට්ටුව පවා සිරකරුවන්ගෙන් පැහැරගන්නා පිරිසක් වූහ.

එම තත්වය වර්තමානය වන විට කෙතරම් දුරට වෙනස් වී ඇද්දැයි මට අද්දැකීම් නැත. එම වකවානුවේ නම් වැරදිකරුවන් හා සැකකරුවන් භාර දී තිබූ බන්ධනාගාර නිලධාරීන් නම් තවත් අපරාධකරුවන් පිරිසකි. ඔවුන්ගේ තර්කය වුණේ බැටන් පොල්ලෙන් පමණක් දරුණු අපරාධකරුවන් පාලනය කරගැනීමට නම් එවැනි දැඩි ක්‍රියාමාර්ග අවශ්‍ය බවයි.

බන්ධනාගාර සිරකරුවන් යනු රජයේ ආරක්ෂාව යටතේ සිටින පිරිසකි. රජය ඔවුන්ට වධදෙනවා නම්, මරාදමනවා නම්, එතැන සිරකරුවන්ගේ වරදට වඩා තිබෙන්නේ රජයේ වරදකි. රජයට බන්ධනාගාර කළමනාකරණය කරගන්නට බැරි වී තිබේ.

රාජපක්ෂ පාලනය යනු සිරකරුවන් වධහිංසනයට ලක්කිරීම හා මරාදැමීම සුලබව සිදු වුණ වකවානු වේ. වැලිකඩ බන්ධනාගාරයේ 2012 වසරේ සිදු වූ ඝාතනය ඒ අතරින් ප්‍රමුඛය. අත්අඩංගුවට ගන්නා ලද, රජය විසින් දරුණු අපරාධකරුවන් ලෙස සලකන පුද්ගලයන් පැන යන්නට උත්සාහ කිරීමේදී මරණයට පත්වීම රාජපක්ෂ පාලනය තුළ ඉතා සුලබය.

මහර බන්ධනාගාරයේදී 2020 නොවැම්බර් 30දා අවම වශයෙන් සිරකරුවන් නවදෙනෙකු මරාදමන ලදී. සියයකට වැඩි පිරිසකට තුවාල සිදුකරන ලදී. 2015-19 අතර පැවති යහපාලන ආණ්ඩුව සමයේ මෙවැනි සිදුවීම් අතිශය අවම විය. එයින් මෙහි වෙනස පැහැදිලිව දැකිය හැකිය. පොලිස්, බන්ධනාගාර, හමුදා හා වෙනත් බලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ඉවහල් වන බව ඉතා පැහැදිලිය.

රිමාන්ඩ් සිරකරුවන් කැරැලි ගැසූ බවත්, ඔවුන් දඬුවම් ලැබ සිටි සිරකරුවන් සමග ගැටුණු බවත්, බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ප්‍රාණ ඇපයට ගත් බවත්, බන්ධනාගාරයේ ලේඛන කුටිය ඇතුළු ගොඩනැගිලිවලට ගිනිතැබූ බවත්, ගේට්ටු කඩාගෙන පළායන්නට උත්සාහ කළ බවත් රජය පවසයි. මෙය පූර්ණ ඇත්ත නොවන බව සිතාගත හැකිය.

ශ්‍රී ලංකාවේ පොලිසියේ හා බන්ධනාගාර ආදියේ සිදුවන ඝාතන සම්බන්ධයෙන් කිසිවකු වැරදිකරුවකු වන්නේ අතිශය කලාතුරකිනි. එසේ සිදුවීම සියයට දශම ගණනක් පමණි.

මෙවැනි සිදුවීම් හරහා ශ්‍රී ලංකාව ලෝකයට පෙන්නුම් කරන අශිෂ්ටත්වය, අනීතිකබව, දූෂිතබව හා අරාජිකත්වය ලෝකය තුළ රටෙහි පැවැත්මට දැඩි බලපෑමක් සිදුකරනු නියතය.

ශ්‍රී ලංකාවේ සමාජය තුළ ශිෂ්ටත්වය නිර්මාණය කිරීමේදී සිරකරුවන්ට මානුෂික ලෙස සැලකීම ප්‍රධාන වේ. වනචාරී යුගයෙන් පසු දියුණු සමාජයන් විසින් යුදබිමේදී අත්අඩංගුවට ගන්නා ලද සතුරන් සම්බන්ධයෙන් පවා ශිෂ්ට ලෙස සැලකීම ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පාලනයන් පවතින වකවානුවල සිරකරුවන්ට සැලකීම සම්බන්ධයෙන් හැමවිටම දැකිය හැක්කේ අශිෂ්ටත්වයකි. මෙය වෙනස් විය යුතුය. වෙනස් කිරීමට නම්, පළමුව මේ රටේ ජනතාව අශිෂ්ටත්වය, ම්ලේච්ඡත්වයට හා අධමකමට ආවැඩීම නැවැත්විය යුතුය. එහි ප්‍රතිවිපාක බොහෝ විට ලැබෙන්නේ ද එසේ කළ අයටම වීම දෛවයේ සරදමකි. මහර බන්ධනාගාරයේ ගේට්ටුව ළඟ සිට ඔය හඬාවැටෙන්නේ පසුගිය කාලයේ වත්මන් පාලකයන්ගේ අත් ඇල්ලීමට පොරකෑ වනිතාවන්ම වෙන්නට බැරිද?

මේ රටේ මහළු පාලකයන් ද එකක් මතක තබාගත යුතුය. බෞද්ධයන් ලෙස පෙනී සිටින ඔබ හරකුන් නිදහස් කිරීම, පන්සල් වන්දනා කිරීම, දානමාන දීම ආදියෙන් වසාගත නොහැකි තරම් පව් කන්දරාවක් සිදුකරමින් සිටින බව අවබෝධ කරගන්න.

4 thoughts on “බන්ධනාගාරවල, පොලිසිවල කරන ඝාතන හා ආණ්ඩුවේත්, අපේත් වගකීම

  1. Warada pamanak nowa waradata heathuwa seviyayuthuya piliyam yediya yuthuya bawa aanduwa menma janathawa da kalpanaa kala yuthuya . Aneka , thama paalakayan thora ganiemedie bol pilima nowa anaagatha dekmak sahitha swaarthaya wenuwen janathawa bilinodena minissu hekipamana pathkara gatha yuthuya .

  2. ‘මහර බන්ධනාගාරයේ ගේට්ටුව ළඟ සිට ඔය හඬාවැටෙන්නේ පසුගිය කාලයේ වත්මන් පාලකයන්ගේ අත් ඇල්ලීමට පොරකෑ වනිතාවන්ම වෙන්නට බැරිද?’

    Absolutely. ඊට අමතරව තව රාජපක්ශ කෙනෙක් ඊගාව සැරේ ගේන්න දඟලන්නෙත් ඕගොල්ලොම තමයි.

  3. මේවා මිනිසුන්ට පහදා දෙන්නේ කෙසේදැයි සිතා ගත නොහැකිය. මේවා හැඳින ගත් අය සෑමදාම මේ පාලකයන්ට විරුද්ධ වූවත් මේ මතය ගමට යන තුරු මේ හැබෑව ගමට යනතුරු තත්වය වෙනස් වේ යයි සිතීම ඉතා අපහසුය. දැනුවත් සමාජය එකාවන්ව ක්රියා කරන තුරු තත්වය මෙසේම යයි මට හැඟෙන දෙයයි.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.