ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින බස්නාහිර පළාත් ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍රාජ්‍ය සේවා කොමිසන් සභාවේ සභාපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා පසුගිය ඉරිදා සිළුමිණ පුවත්පතට ලිපියක් ලියමින් අවශ්‍යතාවේ මුලධර්මය මත පිහිටා කළ ‍‍නොහැක්කක් කිරීමට නීතිය බල ‍නොකිරීම යන පදනම මත පාර්ලිමේන්තු මැතිවරණය කල් දමා පාර්ලිමේන්තුවක් නොමැතිව රට පාලනය කළ හැකි බව පෙන්වා දුන්නේ ය. ඒ පිළිබඳ ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසී ය:

Translations

“පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමීම සිදු කළ හැකි විශේෂ අවස්ථා දෙකක් පිළිබඳව සඳහන් වෙයි. අවශ්‍යතාව‍‍යේ මූලධර්මය මත පිහිටා ‍මෙවැනි හදිසි තත්ත්වයක් යටතේ සහ එසේ නොමැති නම් නොපෙනෙන බලවේගයක් යටතේ පාලනය කළ නොහැකි තත්ත්වයකදී පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමට හැකියි. ඒ් කරුණු අනුව මෙය සිදු කරනු ලැබීය. ”

“ජනාධිපතිවරයා මැතිවරණ පැවැත්වීමෙන් පසුව පාර්ලි‍‍මේන්තුව කැඳවීම නියම කළ හැකිය. ‍‍මේ නිසා පාර්ලි‍‍මේන්තුව මාස තුනක කාලය තුළ කැඳවීමට ‍‍නොහැකි වූයේ කිසිවකු‍ගේ ‍නොසැලකිලි භාවය නිසා ‍නොවන බව ඉතා පැහැදිලි කරුණකි. කළ නොහැක්කක් කිරීමට නීතිය අනුව ‍නොහැකිය. කළ ‍නොහැක්කක් කිරීමට කිසිදු විටක නිතිය බල ‍නොකරයි. කොරෝනා වසංගතය නිසා මාස තුනක කාලසිමාවට යටත්ව මැතිවරණ ය පැවැත්විය ‍නොහැකිය. එය ඉතා පැහැදිලි කරුණකි.”

එහෙත්, ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න පෙන්වා දෙන්නේ අවශ්‍යතාවේ මූලධර්මය ව්‍යවස්ථා නීතිය සමග භාවිතා කළ රටක් වූ පකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය වලදමන ලද බව පසුව නිවේදනය කළ බවයි.

“අවශ්‍යතාවේ මූලධර්මය පළමු වරට, 1954දී ව්‍යවස්ථා සම්පාදක සභාව විසුරුවා හැරීම සාධාරණීකරණය කිරීම සඳහා අග විනිසුරු මුනීර් විසින් භාවිතා කරන ලදී. 1958දී එය භාවිතා කරනු ලැබුවේ හමුදා කුමන්ත‍්‍රණයක් යුක්තියුක්ත කිරීමටයි. 2012 වසරේදී පාකිස්තාන අගමැති ගිලානිට එරෙහිව පැවති නඩු විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශ කළේ එම දුෂ්ට අවශ්‍යතාවේ මූලධර්මය වල දමා ඇති බවයි. ඒ අනුව, වර්තමානයේදී හිටපු අග විනිසුරු මුනීර් සැලකෙන්නේ පකිස්තානය විනාශ කළ පුද්ගලයකු ලෙසයි.

“අවශ්‍යතාවේ මූලධර්මය භාවිතා කිරීමෙන් ලද විනාශකාරී ප‍්‍රතිඵලවලින් පසුව, පකිස්ථානය විසින් එම මූලධර්මය වල දැමුවා. ශ‍්‍රී ලංකාවේදී අප එම මළමිනිය යළි වලෙන් ගොඩ නොගත යුතුයි,” යි ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න පැවසී ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2020 මාර්තු 02දා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ මැතිවරණය අප්‍රේල් 20දාට සහ නව පාර්ලිමේන්තුව යළි රැස්වීම මැයි 14දාට නියම කරමිනි. එහෙත්, නාමයෝජනා භාරගැනීමෙන් පසු මැතිවරණ කොමිසන් සභාව විසින් මැතිවරණය කල් දමන ලදී. දැන් මැතිවරණය සඳහා නියම කර තිබෙන නව දිනය වන්නේ ජුනි 20දා ය. එය ද අවිනිශ්චිත ය. අපේක්ෂකයන්ට මනාප අංක ලබා දීම පවා කල් දමා තිබේ. ය. පාර්ලිමේන්තුවකින් තොරව රට පාලනය කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විසින් ලබා දී තිබෙන උපරිම කාලය වන මාස තුනක ජුනි 02දාට අවසන් වේ. ඊට පෙර නව පාර්ලිමේන්තුව රැස්කිරීමේ හැකියාවක් දැනට නොමැත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය අනුව, රාජ්‍ය මූල්‍යය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පූර්ණ පාලනයක් තිබේ. එහෙයින්, පාර්ලිමේන්තු අනුමැතියක් නොමැතිව ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබාගැනීම හා පාර්ලිමේන්තුව විසින් ණය සම්බන්ධ ඉහළ සීමාව වැඩි කර නොමැති සංදර්භයක් තුළ රජය ණය ලබාගැනීම පිළිබඳව ද ප්‍රශ්න මතු වී තිබේ. ඒ පිළිබඳ ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා පවසන්නේ මෙසේ ය.

“ඒ පිළිබඳ සලකා බැලීමේදී අදාළ වන ව්‍යවස්ථාව වනුයේ 150 /3 වගන්තියයි. එහි සඳහන් වන ආකාරයට විසුරුවා හැරි අවස්ථාවක් පිළිබඳ සලකා බැලීමේදී පාර්ලිමේන්තුව විසින් අය වැයක් ඉදිරිපත් කර තිබේ නම් ජනාධිපතිවරයාට මුදල් ලබාගැනීමට නොහැකි වන අතර; ඊට අමතරව පාර්ලිමේන්තුව විසින් යම් කාල සීමාවකට මුදල් ප්‍රතිපාදන ඉදිරිපත් කර තිබේද එහිදී ද මුදල් ලබා ගැනීමට හැකි වන්නේ ඒ කාලසීමාව ඉක්මවූ පසුයි.

“ඒ කාල සීමාව ඉක්මවූ පසු කුමක්ද කළ යුතු වනුයේ යන්න මෙහිදී ගැටලුවක් මතු වෙයි. එයට ප්‍රතිපාදන ඒ වගන්තියේම වෙයි. පාර්ලිමේන්තුවේ මුදලුත් නොමැති අයවැයකුත් නොමැති විට කළයුතු වනුයේ කුමක්ද යන්න සලකා බැලීමේදී එයින් ඉදිරියට ගමන් කිරීමට කළයුතු වන්නේ යම් කිසි දිනක ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට දින නියම කරන්නේද ඒ දින සිට මාස තුනක් දක්වා මුදල් භාවිත කිරීමටත් එතැනින් ඉදිරියටත් ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබා ගැනීමත් කළ හැකියි. ඒ අනුව දැනට ඒ සඳහා අවශ්‍ය ගිණුම් මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කර තිබේ. ”

මෙය ව්‍යවස්ථා නීතියේ සිදුරකින් රිංගා යාමට දරන උත්සාහයක් ලෙස ද සැලකිය හැකි ය. ඒ සඳහා පදනම් කරගන්නේ පාර්ලිමේන්තු මැතිවරණය කල් යාමයි. පාර්ලිමේන්තුවක් නොමැති පාලනයකින් අදහස් වන්නේ, ජනාධිපතිවරයා විසින් තමන් ව්‍යවස්ථානුකූලව වගවිය යුතු ආයතනය නොමැතිව කරනු ලබන පාලනයක් බව ජනාධිපති නීතීඥ ජයම්පතී වික්‍රමරත්න පවසයි.

“අවශ්‍යතාවේ මූලධර්මය මත පාර්ලිමේන්තුවක් නොමැතිව ජනාධිපතිවරයාට රට පාලනය කළ හැකි බවට ආණ්ඩුවට පක්ෂ නීතිඥවරු තර්ක ගෙන එනවා.ඔවුන් පවසන්නේ පාර්ලිමේන්තුවට මාස තුනක් තුළ රැස්වීමට නොහැකි වන්නේ කිසිවකුගේ පාලනයෙන් තොර හේතු මත මැතිවරණය කල්දමා ඇති හේතුව නිසා බැවින් අවශ්‍යතාවේ මූලධර්මය මත ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව නොමැතිව රට පාලනය කළ හැකි බවයි.

මෙහිදී අවශ්‍යතාවක් යනු කුමක් ද යන ගැටලුව මතු වේ. ශ්‍රී ලංකාවේ තවමත් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර පවා නැත. එහෙත්, බරපතල සෞඛ්‍ය අවදානමක් ඇති බව අසත්‍යයක් නොවේ. ඒ නිසා මැතිවරණය කල් දැමීම සාධාරණ විය හැකි ය. එහෙත්, එමගින් පාර්ලිමේන්තුව නොමැතිව ජනාධිපතිවරයා විසින් රට පාලනය කිරීම සාධාරණීකරණය වේ ද? ඒ පිළිබඳ ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න පවසන්නේ මෙසේ ය:

අවශ්‍යතාව යන්නෙන් මෙහිදී අදහස් වන්නේ පැහැදිලි හා පවතින අවදානමක් සහිත තත්වයකි. ඒ සඳහා වහා ක‍්‍රියාමාර්ග ගත යුතුයි. අවදානම වැළැක්වීම වෙනුවෙන් වෙනත් තත්වයකදී නීති විරෝධී වන ක‍්‍රියාමාර්ගයක් ගැනීම හැර වෙනත් විකල්පයක් නැතිවිය යුතූයි.

එහෙත්, මෙය වෙනත් කිසිම විකල්පයක් නැති අවස්ථාවක් ද?

“විකල්ප තිබෙනවා. පාර්ලිමේන්තුවක් නොමැතිව පාලනය වීම වැළැක්වීම සඳහා තිබෙන එක් ස්ථිර මාර්ගයක් වන්නේ මාර්තු 02දා සිදුකරන ලද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඉවත් කරගැනීමයි. එමගින් පාර්ලිමේන්තුවට නැවත සක‍්‍රිය වී 2020 සැප්තැම්බර් 01 දින දක්වා ක‍්‍රියාත්මක වීමේ අවස්ථාව ලැබෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස අගදී පැවැත්විය හැකියි. තත්වය යහපත් අතට හැරුණොත් සැප්තැම්බර් 01දාට පෙර ද පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකියි.

“අනෙක් විසඳුම වන්නේ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවීමයි. මහජන ආරක්ෂක පනත හෙවත් හදිසි නීතිය යටතේ නිකුත් කරනු ලබන නිවේදනයකින් පාර්ලිමේන්තුව කැඳවිය හැකියි. ජනාධිපතිවරයා හදිසි නීතිය පැනවීමට අකැමැති නම්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 (7) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට හදිසි අවස්ථාවකදී පාර්ලිමේන්තුව කැඳවිය හැකියි. මේ මොහොත හදිසි අවස්ථාවක් නොවන බවට කිසිවෙකුට තර්ක කල නොහැකියි.”

පාර්ලිමේන්තුව නොමැතිව පාලනය කිරීමේ නීතිමය නොවන ක්‍රියාමාර්ගය සඳහා අවශ්‍යතාවක් නිර්මාණය වන්නේ වෙනත් විකල්පයක් නොමැති නම් පමණක් බවයි ජනාධිපති නීතීඥ ජයම්පතී වික්‍රමරත්න පෙන්වා දෙනවා.

“අවශ්‍යතාවේ මූලධර්මය භාවිතා වන්නේ වඩා විශාල අවදානමක් වළක්වා ගැනීමට ගනු ලැබූ නීත්‍යානුකූල නොවන ක‍්‍රියාමාර්ගයක් සාධාරණීකරණය කිරීම සඳහායි. වර්තමාන සංදර්භය තුළ එය යොදාගැනීමට උත්සාහ කරන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ දී තිබෙන මාස තුනක්වූ උපරිම කාලයට වඩා වැඩි කාලයක් තිස්සේ පාර්ලිමේන්තුව නොමැතිව පාලනය කිරීම යන නීති විරෝධී ක‍්‍රියාව යුක්තියුක්ත කරගැනීම සඳහායි. එහිදී අදාළවන “වඩා විශාල අවදානම” මොකක්ද? ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව කැඳවීම වඩා විශාල අවදානමක් ද?”

කලින් තිබුණු පාර්ලිමේන්තුව නොකැඳවීම සාධාරණීකරණය කිරීම සඳහා ජනාධිපතිවරයා සිය අන්තේවාසිකයන් යොදමින් කරන 225ම වැඩක් නැහැ වැනි බොළඳ තර්ක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව පිළිගත හැකි ඒවා නොවේ.

මේ අතර, පාර්ලිමේන්තුව කැඳවීම කරනු ලබන්නේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි බවට ද තර්කයක් නැගේ. ඒ පිළිබඳ ජනාධිපති නීතීඥ ජයම්පතී වික්‍රමරත්න මහතා මෙසේ පවසයි: “මහජන නීතිය සම්බන්ධයෙන් නිර්බාධිත අභිමතයක් නැති බව පිළිගත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මූලධර්මයක්. නිර්බාධී හෙවත් අසීමිත අභිමතය නම් සංකල්පය අපගේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. අවශ්‍යතාවේ මූලධර්මය භාවිතා කිරීමට පක්ෂපාතී තර්කය වන්නේ පෙර නොවූ විරූ අසාමාන්‍ය තත්වයක් මතු වී තිබීමයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 (7) වගන්තිය භාවිතා කළ යුතු වන්නේ එවැනි අවස්ථාවකදීයි. 70 (7) වගන්තිය යටතේ කටයුතු කිරීමට තරම් හදිසි අවස්ථාවක් නැතැයි තර්ක කරන්නේ නම්, අවශ්‍යතාවේ මූලධර්මය පාවිච්චි කිරීමට තරම් හදිසි අවස්ථාවක් ඇතැයිතර්ක කළ හැක්කේ කෙසේද?” යි වික්‍රමරත්න මහතා ප්‍රශ්න කරයි.

අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පැහැදිලි හා පරිසමාප්ත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විසඳුමක් තිබියදී, පාර්ලිමේන්තුව නොමැතිව රට පාලනය කිරීම සඳහා අවශ්‍යතාවේ මූලධර්මය භාවිතා කළ නොහැකි බව ජයම්පතී වික්‍රමරත්න මහතා පැවසී ය.

ලිපිය සංස්කරණය අජිත් පැරකුම් ජයසිංහ විසිනි

2 thoughts on “ජනාධිපතිට පාර්ලිමේන්තුව නැතුව රට පාලනය කරන්නට “අවශ්‍යතාවේ මූලධර්මය” යොදාගත හැකි ද?

  1. Bankoloth Anthewasikayinge Upades Pilipadeemata Yamen, Buddimath Paksha Vipaksha Janatha Aprasadayakata Janapathithuma Aniwaryayenma Pathwenuatha…Siyaludena Ekwa Wathman Thathwayata Sthira Visndumak Sevimata Viyawastha Sabawak Lesata Parlimenthuwa Kandavimata Katayuthu Kalayuthuya….

Leave comment

Your email address will not be published. Required fields are marked with *.