කොටින්ගේ මුල්ලිවයික්කාල් සමරුවට නැගෙනහිර ටිමෝරයේ හිටපු ජනපති

දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ දෙමළ ඊලාම් යුද්ධයේ පරාජය සලකුණු වන දිනය ලෙස සැලකෙන 2009 මැයි 18දාට එකොළොස් වසරක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන මුල්ලිවයික්කාල් අනුස්මරණ දේශනය 2020 වසරේදී පවත්වන්නේ නැගෙනහිර ටිමෝරයේ හිටපු ජනාධිපති, නොබෙල් සාම ත්‍යාගලාභී ජොසෙ රැමෝස් හෝටා බව දෙමළ ඊලාම් පාරජාතික ආණ්ඩුව පවසයි.

මෙම දේශනය මැයි 18දා ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 9.30ට අන්තර්ජාලය ඔස්සේ පැවැත්වේ.

Translations

දෙමළ ඊලාම් පාරජාතික ආණ්ඩුව (TGTE) යනු පරාජිත කොටි සංවිධානයේ සහයෝගයෙන් විදේශ රටවල දෙමළ ජාතිකයන් පාදක කරගෙන පිහිටුවීමට උත්සාහ කළ ආණ්ඩුවකි. එහෙත්, එය සාර්ථක වූයේ නැත. දැන් එය තවත් සංවිධානයක් ලෙස පමණක් ඉඳහිට ක්‍රියාත්මක වේ.

මෙම ඊනියා ආණ්ඩුවෙහි අගමැතිවරයා ලෙස නම් කර තිබෙන්නේ නිව්යෝක්හි පදිංචි එක්සත් ජනපද පුරවැසියකු වන රුද්‍රකුමරන් විශ්වනාදන් ය.

ජොසෙ රැමෝස් හෝටා හට නොබෙල් සාම ත්‍යාගය හිමි වූයේ නැගෙනහිර ටිමෝර දේශපාලන අර්බුදයට විසඳුමක් ලබාදීම සඳහා කරන ලද කාර්යභාරය වෙනුවෙනි.

පෘතුගාල යටත් විජිතයක් ලෙස පැවති නැගෙනහිර ටිමෝරය 1975දී ඉන්දුනීසියාව විසින් අත්පත් කරගන්නා ලදී. රැමෝස් හෝටා රටින් පිට පිහිටුවන ලද නැගෙනහිර ටිමෝර ආණ්ඩුවේ විදේශ ඇමතිවරයා ලෙස කටයුතු කළේ ය. ඉන්දුනීසියාව සමග දේශපාලන විසඳුමක් වෙනුවෙන් සාකච්ඡා මුලපිරීම වෙනුවෙන් ඔහුට 1996දී නොබෙල් සම සාම ත්‍යාගය හිමි විය. මෙම සාකච්ඡා ඔස්සේ නැගෙනහිර ටිමෝර ජනතාවගේ ස්වයං තීරණ අයිතිය මත පදනම්ව 2002දී නැගෙනහිර ටිමෝර රාජ්‍යය පිහිටුවන ලදී. දැන් එරට ටිමෝර් ලෙස්ටෙ ලෙස හැඳින්වේ.