අජිත්පැරකුම් ජයසිංහ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේදී සම අනුග්‍රාහකත්වය දක්වන ලද 30/1 සහ 40/1 යෝජනා සම්මතයන් දෙකෙන් වහාම ඉවත් වීමට රජය තීරණය කර තිබේ.

Translations

මෙය බලාපොරොත්තු වූ තත්වයක් හෙයින් පුදුම විය යුතු නැත. වත්මන් රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් තමන් බලයට පත් වුවහොත් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඔක්තෝබර් 15දා පැවැත්වුණ පුවත්පත් සාකච්ඡාවේදී පැවසී ය. එම අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශයට ඌන පූරණයක් කරමින් මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසුවේ එම ගිවිසුම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවයි.

මෙම ගිවිසුම් මොනවා ද? 2019 වසරේ මාර්තු මස පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ 40වන ජිනීවා සැසිවාරයේ 40/1 යෝජනාවලියට ශ්‍රී ලංකා රජය අතුළු පාර්ශ්ව පහක සම අනුග්‍රහකත්වය සපයන ලදී.

40/1 යෝජනාවලිය ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ සඳහන් කළේ, “30/1 යෝජනාවලිය ස්ථාවර, පරිපූර්ණ සහ වේගවත් ක්‍රමවේදයක් අනුව ක්‍රියාත්මක කළ යුතු” බවය.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ ද සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සංහිඳියාව සහ වගවීම සම්බන්ධ 30/1 දරන යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සම්මත කරනු ලැබුවේ 2015දීය. ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ බව පැවසෙන බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීම, සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම ඇතුළු කරුණු ගණනාවක් ඇතුළත් වූ එක්සත් ජාතීන්ගේ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස ශ්‍රී ලංකාව පොරොන්දු වී සිටිමුත් එය ඉටු කිරීමට ලංකාව අසමත් වීම හේතුවෙන් 2017 වසරේදී ඒ වෙනුවෙන් වසර දෙකක කාලයක් ලබාගන්නා ලදී. මෙම යෝජනාව අනුව රජය ලබා දුන් පොරොන්දු 36 ක් පවතින බව ද එම පොරොන්දු ප්‍රධාන තේමාවන් පහකට වර්ග කළ හැකි බවද වෙරිටෙ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි. එනම් 1.සංක්‍රාන්ති යුක්තිය සහ සංහිඳියාව 2.අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍ය 3.ආරක්ෂාව සහ නිර්හමුදාකරණය 4.බලය බෙදා ගැනීම 5.අන්තර්ජාතික මැදිහත්වීම්.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මේලනයේ 30/1 යෝජනාවලිය අනුව රජය එකඟ වී ඇති ප්‍රධාන කරුණු 9ක් ඇති බව බීබීසී සිංහල සේවය පෙන්වා දෙයි. ඒවා නම්,

  1. කාලානුරූපී අධිකරණ ක්‍රියාවලියක් සඳහා පුළුල් ජාතික උපදේශකත්වයක් ලබා දීම
  2. සත්‍යය, නීතිය, සංහිඳියාව සහ යළි ඇති ගැටුම් නොවීම සම්බන්ධයෙන් කොමිසමක් ස්ථාපනය කිරීම
  3. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම
  4. වන්දි ගෙවීම් කාර්යාලයක් ස්ථාපනය කිරීම
  5. එල්ටීටීඊ සංවිධානය විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපචාර විමර්ශනය කිරීම
  6. විශේෂ උපදෙස් මත ක්‍රියාත්මක අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම‍
  7. අධිකරණ සහ නීතිමය ආයතන මෙහෙයවීම සඳහා අවංක සහ අපක්ෂපාතී පුද්ගලයින් පත් කිරීම
  8. ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීම
  9. කාලානුරූපී අධිකරණ ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගෙන් මූල්‍යමය, ද්‍රව්‍යමය හා තාක්ෂණික සහය ලබා ගැනීමට අවසර දීම

2017 වසරේ ඉදිරිපත් කෙරුණු 34/1 යෝජනාවලිය මඟින් යම් නිශ්චිත විෂය ක්ෂේත්‍රයන් යටතේ ශ්‍රී ලංකාව තුළ කළ යුතු වූ නීතිමය ප්‍රතිසංස්කරණ සිදුකිරීමටත්, දෙමුහුන් අධිකරණය, හානිපූරණය, අතුරුදන්වූවන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වන යාන්ත්‍රණයන් පිහිටුවීමටත්, ලසන්ත වික්‍රමතුංග හා ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය වැනි තෝරාගත් විශේෂිත නඩු සම්බන්ධයෙන් විමර්ශනයන් කර 2019 වන විට අවසන් කිරීමටත් නියමිතව තිබූ බව සමබිම වෙබ් අඩවියට ලිපියක් ලියමින් ජයනි අබේසේකර පෙන්වා දෙයි.

එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අදාළව වාර්තාවක් සැපයීමට 2019 මාර්තුවේදී ලංකාවට නියමව තිබුණි. මෙවර 40වන සැසිවාරයේදී ලංකාව ගැන සාකච්ඡා වන්නේ ඒ අනුවය. 

40/1 යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා දෙවසරක කාලයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ පවසන පරිදි ඔවුන්ගේ රජය විසින් මෙම ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරනු ඇත. ඒ වෙනුවට, මානව හිමිකම් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ රජය විසින් කරගෙන ආ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනු ඇත. එම ක්‍රියාවලිය කුමක් ද?

Translations by Creative Content Consultants

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් 2006 වසරේදී ජාත්‍යන්තර බලපෑම නිසා විනිසුරු නිශ්ශංක උදලාගම ප්‍රමුඛ සාමාජිකයන් සයදෙනෙකුගෙන් යුත් කොමිෂමක් පත් කරන ලදී. එහි අරමුණ වූයේ යුද සමයේ මානව හිමිකම් කඩවීම හා ඝාතන සිදුවීම් 16ක් පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීමයි. හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය, දිගම්පතානේ දී නිරායුධ නාවික භටයන් 98දෙනෙකු ඝාතනය කිරීම, ප්‍රංශ රාජ්‍ය නොවන සංවිධානයක පුද්ගලයන් 17 දෙනෙකු ඝාතනයට ලක්වීම, පොතුවිල්හිදී මුස්ලිම් වැසියන් දහදෙනෙකු ඝාතනය කිරීම, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ බස් රථයකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 68දෙනෙකු ඝාතනය කිරීම, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය ආදිය විමර්ශනය කර ‍උදලාගම කොමිෂම විසින් වාර්තාවක් සම්පාදනය කරන ලදී. එම වාර්තාව සඟවා තබාගන්නා ලද අතර 2015 වසරේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය වීමෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එයින් ද නිර්දේශ වූ ප්‍රධාන කරුණක් වූයේ, යුද සමයේ සිදු වූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධව සොයා බැලීමට ස්වාධීන කමිටුවක් පත් කළ යුතු බව ය.

2009 මැයි මාසයේ යුද ගැටුම් අවසන් වූ සැණින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වූ බෑන් කී මූන්ට ආරධනා කළේ ය. එම චාරිකාවෙන් පසු ශ්‍රී ලංකා රජය හා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයෙන් ශ්‍රී ලංකා රජය මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ දේශීය පරීක්ෂණයක් පවත්වන බව හා යුද්ධයට තුඩු දුන් හේතු ඉවත් වන පරිදි දේශපාලන විසඳුමක් ලබා දෙන බව ප්‍රකාශ කළේ ය.

මේවා එක්සත් ජාතීන් විසින් හෝ ජාත්‍යන්තර ප්‍රජාව සැනසීම සඳහා කළ යුතු දේ නොව, ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් සිදු කළ යුතු දේ ය. ඒ වෙනුවෙන් උත්සාහයක් ලෙස 2010දී රජය විසින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව (LLRC) පත් කරන ලද අතර 2011 වසරේ නිකුත් වූ එම කොමිෂමේ වාර්තාවේ නිර්දේශයක් අනුව, යුද්ධයේ අවසාන සමයේ රජය හා කොටි සංවිධානය විසින් කරන ලදැයි කියන යුද අපරාධ පිළිබඳ සොයාබැලීම සඳහා මැක්ස්වෙල් පරණගමගේ සභාපතිත්වයෙන් කොමිෂමක් පත් කරනු ලැබුවේ ද රාජපක්ෂ රජය ම විසිනි. යුද්ධයේ අවසන් සමයේ සිවිල් වැසියන් 7000 – 7500 අතර සංඛ්‍යාවක් මිය ගිය බව එම කොමිෂම විසින් වාර්තා කරන ලදී. වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද අතුරුදහන් වූවන් පිළිබඳ සොයාබැලීමේ කාර්යාලය, අතුරුදහන් වූවන්ට, මානව හිමිකම් උල්ලංඝනය වූවන්ට වන්දි ගෙවන හානිපූරණ කාර්යාලය ආදිය පරණගම කොමිෂමේ නිර්දේශයි.

මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ දේශීය පරීක්ෂණයක් පවත්වන බවට එක්සත් ජාතීන්ට පැවසුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් රජය ම ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ තවමත් හොල්මන් කරන්නේ එයයි.

ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රියාකාරිත්වයන් පමා වෙමින් තිබියදී මෙරට මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීති කඩවීම් පිළිබඳ සොයාබැලීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් 2011දී ඉන්දුනීසියානු ජාතික මර්සුකි දරුස්මාන්ගේ සභාපතිත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී. පුද්ගලයන් 2,300කගෙන් පමණ සාක්ෂි 4,000ක් පමණ ලබාගෙන සිදු කරන ලද විමර්ශනයේ වාර්තාවේ, ශී‍්‍ර ලංකා ආණ්ඩුවට තහනම් පොකුරු වෙඩිලිවලින් සිවිල් වැසියන් ඝාතනය කිරීම, ආණ්ඩුව විවේචනය කළ ජනමාධ්‍යවේදීන් ඝාතනය, රෝහල් හා තහනම් ස්ථානවලට ෂෙල් වෙඩි එල්ල කිරීම ඇතුළු චෝදනා පහක් එල්ල විය. කොටි සංවිධානයට ද බරපතල මානව හිමිකම් උල්ලංඝන හා යුද අපරාධ චෝදනා එල්ල විය. ශ්‍රී ලංකා රජය මෙම වාර්තාව පිළිගන්නේ නැත. පරණගම කොමිෂම පිහිටුවනු ලැබුවේ ඒ අනුව ය.

2015 ජනවාරි 8 බලයට පත් වූ රජය ඉදිරියට ගියේ, මහින්ද රාජපක්ෂ රජය විසින් පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂමේ හා පරණගම කොමිෂමේ පදනම් මත ය. 30/1 යෝජනාවලිය එන්නේ ඒ අනුව ය. මානව හිමිකම් සම්බන්ධයෙන් පසුගිය පස් වසරක් පුරා ජාත්‍යන්තර ප්‍රජාව හා එක්සත් ජාතීන් සමග ගැටුම් විරහිත තත්වයක් පවත්වාගැනීමට ආණ්ඩුව සමත් විය. පස් වසරක එම ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ආණ්ඩුව දැන් පවසයි.

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම යනු ප්‍රතික්ෂේප කළ නොහැකි යථාර්ථයකි. ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව කටයුතු කරන ආකාරය පිළිබඳව ද රජයට සැලසුම් තිබිය යුතු ය.

3 thoughts on “ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන 30/1 හා 40/1 යෝජනා යනු මොනවා ද?

  1. Desapalakayan kaiwaaru kelimin wahasibas dodanne maanawa NIDAHASA yanu owun praveaniyen daayaada woo , owunge abhimathata yatathwa paalane kalakeki deyak lesai

Leave comment

Your email address will not be published. Required fields are marked with *.