Wife of arrested Muslim man

අත්අඩංගුවට පත් හොරොව්පතානේ පස්දෙනාගේ බැංකු ගිණුම්වල කෝටි 100ක් යන පුවත ඇත්තද?

මාධ්‍ය වාර්තාවක් හා එයට පසුබිම් වූ සිද්ධිය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයකි.

මෙම අධ්‍යයන වාර්තාව කියවීමට පෙර ඒ සම්බන්ධ අපගේ ස්ථාවරය මෙතැනින් කියවන්න

අන්තවාදී ආගමික මතවාද පැතිරවීම ඇතුළු ‌චෝදනා කිහිපයක් මුල් කරගනිමින්  හොරොව්පතාන පොලිසිය විසින් ඉකුත් මැයි මස 24 වන දා ප්‍රදේශයේ පදිංචිකරුවන් පස්  දෙනෙකු අත් අඩංගුවට ගත්තා. ඊට පසු දින එනම් මැයි 25 දා මෙරට ප්‍රධාන පෙළේ  ජාතික පුවත්පතක  මුල් පිටුවේ මේ පිළිබද පළ වූයේ  සහරාන් කල්ලියේ පස් දෙනාගේ බැංකු ගිණුම්වල කෝටි 100ක් යන මැයෙන් වූ ප්‍රධාන සිරස්තලය ද සහිතවය.   එම ප්‍රවෘත්තියට අදාලව අත්අඩංගුවට පත් සැකකරුවන් පස් දෙනාගේ ඡායාරූපද ඒ සමග පළ විය. 

Sinhala Tamil English Translations and Content Writing

මේ පුවත සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් පස් දෙනාගේ පවුල්වල සාමාජිකයන් ප්‍රකාශ කර සිටින්නේ  බැංකු ගිණුම්වල කෝටි 100ක් තිබූ බවට චෝදනාවක් කිසිදු නීති අංශයකින් මේ වනතුරු ඔවුන්ට එල්ල  කර නොමැති අතර මෙම සාවද්‍ය පුවත නිසා ඔවුන් ‌බොහෝ සමාජීය අපහසුතා හා මානසික පීඩාවන්ට ලක්ව ඇති බවයි. භාෂා ගැටලුව විශාල බාධාවක් වී ඇති නිසා  අද වන විට තමන්  පත්ව සිටින අසරණබව ‌ සහ තොරතුරු පැහැදිලි කිරීම් ‌ සිංහල මාධ්‍ය වෙත හෙළි කරගත නොහැකිව වඩාත් පීඩා විඳින බවද ඔවුහු වැඩිදුරටත් අනාවරණය කර සිටියා

ප්‍රවෘත්තියේ ගැටලු සහගත කරුණු

අදාල පුවත්පත එම පුවත වාර්තා කර ඇති ආකාරය දෙස බැලීමේදී පැන නගින ප්‍රධානතම ගැටලුව වන්නේ  සිදුවීමට අදාල නඩුවේ බී වාර්තාව හෝ එළිදැක්වීමට පෙර අත් අඩංගුවට පත් පුද්ගයින්ගේ ගිණුම්වල කෝටි 100ක් තිබූ බවට එම මාධ්‍යවේදීන් නිගමනය කළේ කෙසේද යන්නයි. ඒකී තොරතුර ලබා ගත්තේ විශ්වසනීය මූලාශ්‍ර හරහාද, පළ කිරීමට ‌‌පෙර නිවැරදි බව තහවුරු කර ගැනීමට කටයුතු කළාද,   අවසන් අධිකරණ තීන්දුව ලබා දීමට ‌පෙරාතුව ඔවුන්  සහරාන්ගේ කල්ලිය බවට නම් කිරීමට ඔවුන්ට ලැබුණු විශ්වසනීය සාක්ෂි මොනවාද,  සැකරුවන් පස් ‌දෙනා  අධිකරණයට ඉදිරිපත් කිරීමටත් ‌‌පෙර ඔවුන්ගේ  පැහැදිලි ඡායාරූප මාධ්‍යට මුදා හැරුණේ කෙසේද, පුවතේ සදහන් පරිදි පොලිසිය විසින් එම තොරතුරු ලබා දුන්නානම් ඒවා ලබා දුන්නේ විධිමත් විමර්ශනයකින් අනතුරුවද,  යනාදිය  මෙම පුවත විමසුමට ලක් කිරීමේදී පැන නගින සෙසු ගැටලු ය. 

නීති විමර්ශන වාර්තා හෙළි කළ තොරතුරු

මේ වන විට අත්අඩංගුවට පත් පුද්ගලයින් පස් දෙනා සම්බන්ධ  ත්‍රස්ත විමර්ශන වාර්තාව සහ කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාව නිකුත් වී ඇත. බී වාර්තාව නිකුත් කර ඇත්තේ ඉකුත් මැයි 27 වනදාය. එම නීතිමය වාර්තා තුළ මෙම අත්අඩංගුවට පත් සැකකරුවන් 5 දෙනාගේ ගිණුම්වල කෝටි 100 ක මුදලක් තිබූ බවට කිසිදු සඳහනක් නොමැත. 

හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිතුමන්ගේ ප්‍රකාශය

මේ පිළිබද සොයාබැලීමේදී ‌පොලිසිය හරහා දැනගත් කරුණු වූයේ මෙම පුද්ගලයින් පස්දෙනාගේ ගිණුම්වල කෝටි 100ක මුදලක් තිබූ බවට හොරොව්පතාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කිසිවිටෙකත් මාධ්‍යවලට ප්‍රකාශ නොකළ බවයි. ‌ අදාළ පුවතේ සඳහන්ව තිබූ එම සාවද්‍ය කරුණු හේතුවෙන් හොරොව්පතාන පොලිසියටද  ගැටලුවලට මුහුණපෑමට සිදු වූ අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය විසින් හොරොව්පතාන පොලිස් ස්ථානයට විරුද්ධව පරීක්ෂණයක්ද සිදු කර තිබෙන බව දැනගන්නට ලැබිණි.

කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානාධිපතිතුමන්ගේ ප්‍රකාශය

හොරොව්පතාන පොලිසිය විසින් අත්අඩංගුව ගැනීමට පෙර  සැකකරුවන් සියලු දෙනාවම කැබිතිගොල්ලෑව පොලිසිය විසින් කැදවීමක් කර කට උත්තර සටහන් කර ගැනීමට කටයුතු කර ඇති බව අත්අඩංගුවටපත් පස්දෙනාගේ පවුල්වල සාමාජිකයෝ අනාවරණය කර සිටියහ. මේ පිළිබඳ අපට දැනගන්නට ලැබුණු පරිදි මෙම සැකකරුවන් සහරාන් කණ්ඩායමට සම්බන්ධ බවට හෝ කෝටි 100ක මුදලක් ගිණුම්ගතව පැවති බවට පොලිසියට කිසිදු තොරතුරක් ලැබී නොතිබුණු අතර ඉස්ලාම් ආගමික මතවාද පැතිරවීම සම්බන්ධයෙන් ලද තොරතුරක් සම්බන්ධයෙන් ඔවුන් පොලිසියට කැඳවා කටඋත්තර සටහන් කරගෙන තිබේ. ඒ් අතරතුර හොරොව්පතාන පොලිසියෙන් ඔවුන් අත් අඩංගුවට ගත් බැවින් කැබිතිගොල්ලෑව පොලිසිය සිදු කළ විමර්ශන කටයුතු නවතා දමා තිබේ. 

ඡායාරූපවල සිටින්නේ අත්අඩංගුවට ගත් මුස්ලිම් පවුල්වල අයයි

අත්අඩංගුවට පත් පුද්ගලයින්ගේ සමාජ වටපිටාව:

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කැබිතිගොල්ලෑව පොලිස් වසමට අයත් ඇල්ලවැව ගම්මානයේ  නුහුගේ සකරියා, සේනුල් අබ්දිල් ඉර්ෆාන්, ලේබ්බේ තම්බි ජැස්මින්, සේනුල් අබ්දින් කලිෆතුල්ලා සහ හොරොව්පතාන පොලිස් වසමේ කිවුලේකඩ ග්‍රාමයේ පදිංචි මොහිදින් බාවා නවුෆර් යන පුද්ගලයන් පස් දෙනෙකි.     

අත්අඩංගුවට පත් සේනුල් අබ්දිල් ඉර්ෆාන්  ඇල්ලවැව ග්‍රාමයේ පදිංචි අයෙකි.  ඔහුගේ  බිරිද  ෆාතිමා ශාහිදා පැවසුවේ කෝටි 100ක මුදලක් ගිණුම්ගත වීමේ චෝදනාව තම සැමියා වෙතද එල්ලව ඇති නමුත් ඔහු සතුව අවම වශයෙන් ඉතිරි කිරීමේ බැංකු ගිණුමක් හෝ නොමැති බවයි. “අපිට බැංකු ගිණුම් නැහැ. ලයිසන්, වාහන තියා අපිට ඉන්න තැනක්වත් නැහැ. අපි ජීවිතේ ගැටගහන්නෙ ‌ලොකු දුකක් විදලා. ඉතිං ‌කොහොමද ඒ් පත්තරේ අය කියන්නෙ අපිට ‌කෝටිි 100ක් තිබුණා කියලා? එදා පොලිසිය ඇවිත් ගෙදර ගොඩක් වෙලා සෝදිසි කළා. ඒත් සොයාගන්න කිසිවක් අපි ළග තිබුණෙ නැහැ,” ඇය පැවසුවා ය.    

එක්දරු පියෙකු වන ඉර්ෆාන් පල්ලියක ගුරුවරයෙකු හෙවත් මවුලවිවරයෙක් වශයෙන් සේවය කර ඇති අතර  බිරිඳ ගෘහණියක වශයෙන් කටයුතු කරයි. තමාටම කියා නිවසක් නැති ඉර්ෆාන් සිය බිරිඳ සහ දරුවා සමග දිවි ‌ගෙවන්නේ පුද්ගලයින් 15කින් සමන්විත පවුල් පහක් වෙසෙන කුඩා නිවසකය. 

දිනපතා පල්ලියේ ඉගැන්වීම් කටයුතු සදහා කිලෝමීටර් ‌දෙකක් ගෙවා පයින් ගමන් කරන ඉර්ෆාන් හට පාපැදියක් ගැනීමට හෝ වත්කමක් නොතිබූ බව ඉර්ෆාන්ගේ  පියා පැවසීය. මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසු තම ඇතැම් නෑ සියන් මෙන්ම ඇතැම් ගම් වැසියන් සිය පවුලට අයි.එස්. පවුල යනුවෙන් වාග් ප්‍රහාර එල්ල කිරීමට පෙළඹී ඇති අතර කෝටි 100ක් තිබේනම් ‌මෙලෙස දුප්පත්කමින් මිරිකෙමින් ජීවත් ‌වෙන්නේ මන්දැයි  විමසමින් ඔවුන් සිය පවුල දැඩි අපහසුතාවට පත් කරන බවද ඔහු  කඳුලින් යුතුව පැවසීය.

අත්අඩංගුවට පත් තවත් අයෙක් වන ජැස්මින් ගුරුවරයෙකු වශයෙන් සේවය කළ ‌දෙදරු පියෙකි. ඔහුගේ බිරිඳද  ගුරු වෘත්තියේ නියැලෙන අතර ප්‍රාථමික මට්ටමින් අඩක් ඉදි කළ නිවසක ඔවුහු වාසය කරති. ජැස්මින් මෑතකදී රිය අනතුරකට මුහුණ දී ඇති අතර එයින් ඇති වූ ශාරීරික ආබාධ හේතුවෙන් ඔහු ශරීර කෘත්‍ය කිරීම සදහා  මහත් අපහසුතාවන්ට මුහුණ පාමින් සිට ඇත. නමුත් ඒ සදහා පහසුවක් සැලසිය හැකි කොමඩ් වර්ගයේ වැසිකිලියක අවශ්‍යතාව හෝ සම්පූර්ණ කර ගත නොහැකිව ඒ වෙනුවට පුටුවක් භාවිත කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කළ බව ඔහුගේ බිරිඳ පෙන්වා දුන්නාය. 

ජැස්මින්ගේ බිරිඳ පාසල් සමිතියක් හරහා ණයක් ලබා ගැනීමට කටයුතු කර ඇති අතර ඇගේ වැටුපෙන් රු.20,000ක මුදලක් මාස් පතා ණය සදහා වෙන්වෙයි. පෙරදී සැමියාගේ වැටුපද ලැබුණු බැවින් සිය පවුල ජීවත් කරවීමට එය ප්‍රමාණවත් වුවද දැන් ඔහුගේ රැකවරණය ද අහිමි යාමෙන් ඇය අසරණ තත්වයකට වැටී ඇති බව හෙළි කළාය.  “දෙපාරක් ඇවිල්ල ඔවුන් සෝදිසි  කෙරුවා නමුත්  කිසිම දෙයක් අරන් ගියේ නැහැ,” යි ඇය කීවා ය.

කෝටි 100ක චෝදනාව සම්බන්ධයෙන් පුවත්පතේ පළව තිබුණද පොලිසියෙන් හෝ වෙනත් නීති අංශයකින් මේ වන තෙක් එවැනි චෝදනාවක් සිය සැමියාට එල්ල වී නොමැති බවද ඇය අනාවරණය කර සිටියාය.  

අත් අඩංගුවට පත් මොහිදින් බාවා නවුෆර් හොරොව්පතාන ගම්මානයේ  උපාධිධාරී සංවර්ධන නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ  සිව් දරු පියෙකි. ඔහුගේ බිරිඳ රජයේ පාසලක ගුරුවරියක වශයෙන් කටයුතු කරයි. අත්අඩංගුවට ගත් දින ඔවුන්ගේ මුළු නිවසම පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඔහුට අයත් බැංකු පොත සහ විදේශ ගමන් බලපත්‍රයද පොලිස් භාරයට ගෙන ඇත.   මෙම අත්අඩංගුවට ගැනීම පිටුපස දේශපාලන පලිගැනීමක් ඇති බවට සැක පහළ කරන ඔහුගේ බිරිද මාධ්‍යවල පළ වූ චෝදනා  පිළිබද අදහස් දක්වමින් පෙන්වා දුන්නේ දැනට ඔවුන් ජීවත් වන අඩක් නිම කළ නිවසේ ඉදිරිපස කොටස තනා ගත්තේද අමානා බැංකුවෙන් ලබා ගත් නිවාස ණය මුදලකින් බවයි. තවත් වසර ගණනක් එම ණය මුදල ගෙවා දැමීමට නියමිව ඇති  බවද ‌මේ වන විට ඒදිනෙදා වැඩපළවලට ද වූ ණය රැසක් ‌ගෙවා දැමීමට ඇති බවද ඇය වැඩිදුරටත් සදහන් කළාය. ” ඕනැ ‌කෙනෙකුට අපි ‌දෙන්නගෙම ගිනුම් පරීක්ෂා කරලා බැලුවොත් ‌පෙනෙයි අපේ මාසික වැටුප විතරයි අපේ ගිණුම්වවලට ඇවිත් තිබෙන්නෙ කියලා. පත්තරේ කියනවා වගේ ‌කෝටි 100ක් අපි ළග තිබුණනම් ‌මේ තරම් ණය ‌වෙලා දුක් විදින්නෙ ‌මොකටද? ”

නවුෆර් සිය සේවා ස්ථානයේ  කාර්ය මණ්ඩලය  මෙන්ම ගම්වැසියන් සමග ගෞරවනීයව කටයුතු කළ අයෙකු වූ අතර  අදාල පුවත්පතේ පළ වූ කෝටි 100 චෝදනාව නිසා කාර්යමණ්ඩල සාමාජිකයන් තුළ ඔහු කෙරහි පැවති විශ්වාසය ගිලිහී  ගොස් ඇති බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ පවසති. ඒසේම ගම්මානයේ දිගුකාලීනව පැවති සිංහල මුස්ලිම් සම්බන්ධතා බිඳවැටී එය සිය පවුලටම තදබල මානසික කම්පනයක්  වී ඇති බවද ඔහුගේ පවුලේ පිරිස් හෙළි කර සිටියහ.

නූහුර්ගේ සකරියා  ඇල්ලවැව ග්‍රාමයෙන් අත්අඩංගුවට පත් තවත් අයෙකි. බඩ ඉරිඟු වගාවෙන් ජීවිකාව ගෙන ගිය සකරියාද කලක් මවුලවිවරයෙකු වශයෙන් කටයුතු කර ඇත.  තිදරු පියෙකු වන  ඔහුගේ බිරිද ගෘහණියකි. ‌මේ පිළිබද හඬ අවදි කළ බිරිඳ මෙසේ කීවා ය:  “අපට වත්කමකට කියලා තියෙන්නේ මේ දරුවො ටිකයි ඉන්න ගෙදරයි විතරයි. සහරාන් කියලා කෙනෙක් ගැන දැන ගත්තෙත් අපි මේ සිද්ධියෙන් පස්සෙ. අපේ පවුල රැකුණෙ මහත්තයා ගොවිතැන් කරලා ගෙනාපු ආදායමෙන්.  දැන් එයා නැති නිසා අපි ගොඩක් අසරණ වෙලා ඉන්නෙ. ‌වේල් ගණන් බඩ ගින්නෙ ඉන්න ‌වෙලාවලුත් තියනවා.  අහල පහල කවුරුහරි අපි ගැන අනුකම්පා කරලා දෙන දෙයක් කාලා තමයි දැන් අපි ජීවත් වෙන්නෙ. මේ පලාතට අලින්ගෙන් ගොඩක් කරදර වෙනවා.  අපි ජීවත් වෙන්නෙ දැන් හරි බයෙන්.”   

කලිෆතුල්ලාද ඇල්ලවැව ග්‍රාමයෙන් අත්අඩංගුවට පත් පස්දරු පියෙකි. ඔහුගේ බිරිඳගේ පියා කලිෆතුල්ලාගේ  දරුවන් වෙත දෑත් දිගු කරමින් පවසා සිටියේ  “ගමේ අය පත්තරේ ගෙනත් ‌පෙන්වනකම් අපි ‌කෝටි 100 කතාවක් දන්නෙ නෑ. මේ දරුවන්ගේ කන්වල තිබෙන තෝඩු දෙස හොඳින් බලන්න. ඒවා රත්තරන් නෙවෙයි. රත්තරන් තෝඩු දෙකක්වත් එයාලට දෙන්නවත් අපට වත්කමක් නැහැ. මම මගේ දුවට දීලා තියන ඉඩමයි මේ ගෙදරයි දරුවො පස් දෙනයි තමයි අපට තියන එකම වත්කම. ”  

සාවද්‍ය පුවත පළ කළ පුවත්ප‌ත ‌‌පැවසූ ‌තොරතුරු

මෙම සැකකරුවන් පස් ‌දෙනා සතුව කෝටි 100ක් ගිණුම්ගතව තිබූ බවට වූ පුවත පළ කිරීමට පෙර එහි නිරවද්‍යතාවය විශ්වසනීය සාක්ෂි හා මූලාශ්‍ර හරහා තහවුරු කර ගැනීමට කටයුතු කළාද යන්න අප එම පුවත්පතේ ප්‍රධාන කර්තෘතුමන්ගෙන් හා පුවත වාර්තා කළ මාධ්‍යවේදීන් දෙදෙනාගෙන් විමසීමක් කළෙමු.  එහිදී ප්‍රධාන කර්තෘතුමා පවසා සිටියේ එවැනි විමර්ශනයක් කිරීමට කාලයක් ‌නොතිබූ බවත් ඒවා සාවද්‍ය පුවත් බවට හෙළි වීම පිළඳ තමා දැඩිව කණගාටු වන බවත්ය.

පුවත වාර්තා කළ කර්තෘ මණ්ඩල මාධ්‍යවේදිනිය අප හා පැවසුවේ පුවත නිවැරදි බවට තහවුරු කර ගැනීමට කටයුතු කළේද නැද්ද යන්න අප කරන විමසුමට කිසිදු පැහැදිලි කිරීමක් සිදු කිරීමට තමා බැදී නොසිටින අතර කෝටි 100ක් ගිණුම්ගත වීමේ තොරතුර තමාට පැවසුවේ හොරොව්පතාන පොලිසියෙන් නොවන බවය. 

අනතුරුව අපි  එම පුවත වාර්තා කළ ප්‍රාදේශීය වාර්තාකරුවාද සම්බන්ධ කර ගතිමු. ඔහු පැවසුවේ කිසිදු නීතිමය විමර්ශන වාර්තාවක් හෝ එම පස්දෙනාගේ බැංකු ගිණුම් වාර්තා හෝ අධ්‍යනය කිරීමට තමාට ඉඩ නොලැබුණු නමුත් තොරතුරු පැවසුවේ පොලිසිය බැවින් එය විශ්වසනීය මූලාශ්‍රයක් ලෙස සළකා  පුවත වාර්තා කළ බවය.

පුවත්පතට  ඡායාරූප ලබා දුන්නේ කවුද?

සැකකරුවන් පස් ‌දෙනා පිළිබද  අවසන් අධිකරණ තීන්දුව තවමත් ලබා දී නැත. එපමණක් ‌නොව අවම වශයෙන් නඩුවේ බී වාර්තාව හෝ නිකුත් වීමට පෙර ඔවුන්ගේ පැහැදිලි පින්තූර පුවත සමග පළව තිබුණේ  සහරාන්ගේ කල්ලිය ලෙසින් හැදින් වූ සිරස්තලයක් ද යටතේය. තොරතුරුවල නිරවද්‍යතාව තහවුරු කර ගැනීමට උත්සාහයක් නොකළ පසුබිමක් තුළ එවැනි සිරස්තලයක් යටතේ පින්තූර පළ වූයේ වාර්තාකරුවන්ගේ අනුදැනුම යටතේද යන්න අප කළ විමසීමේදී ප්‍රාදේශීය වාර්තාකරු අනාවරණය කර සිටියේ පොලිසියේ උසස් නිලධරයෙකු තමාට එම පින්තූර ලබා දුන් බවය. 

ඒ අනුව අප හොරොව්පතාන පොලිසියෙන් කළ විමසුමකදී එහි ස්ථානාධිපති රොෂාන් සංජීව මහතා ප්‍රකාශ කර සිටියේ තමා කිසි විටෙකත් සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍යයට ලබා නොදුන් බවය. මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ දින මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම පොලිසියට පැමිණ සිටි අතර මෙම පින්තූර ඔවුන් විසින් ලබා ගන්නට ඇතැයි තමන් සිතන බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම පින්තූර පහ දෙස බැලීමේදී පසක් වන සුවිශේෂ කරුණු කිහිපයක් ඇත. ප්‍රධානම කරුණනම් සැකකරුවන් පස් දෙනාම පින්තූරයට සිය මුහුණ  පැහැදිලිව පෙනෙන සේ සීරුවෙන් සිට කැමරාවට මුහුණ දී ඇති බවය. එනම් මෙම පින්තූර ඔවුන්ද දැනුවත්ව එකම ස්ථානයකදී ලබා ගත් ඒවා බවය.එසේම පින්තූර පහේම පසුබිම රතු පැහැති එකම ආකාරයකින් යුක්තය. ඒ් අනුව ඒ්වා සැකකරුවන්ට පිටුපා හෝ ඔවුන් නොදැනුවත්ව මාධ්‍යවේදීන් විසින් ලබා ගත් ඒ්වා නොවන බව පැහැදිලිය.

අත්අඩංගුවට පත් අයගේ සාමාජිකයන්ගේ පවුල්වල අයෙක් මෙම පින්තූර  හැදුනුම්තෙන්  ලබා ගත් ඒවා බව හදුනා ගැනීමට සමත් වූ අතර අතර  අත් අඩංගුවට ගන්නා විට ඇඳ සිටි ඇඳුම සහිත පින්තූරය  හඳුනාගැනීමට ද තවත් අයෙක් සමත් විය. එසේනම් මෙම පින්තූර අත්අඩංගුවට ගත් දිනම එකම ස්ථානයකදී ලබා ගත් පින්තූර බව ද පැහැදිලිය. 

අත්අඩංගුවට පත් පස්දෙනා පමණක් මෙම සිදුවීමේ ඉලක්කයක් වූයේ කෙසේද?

වැඩිදුර තොරතුරු ගවේශණයේදී ඇල්ලවැව ගම්මානයේ තක්වා මුස්ලිම් පල්ලියේ පූජකතුමන් වන ඉබ්රාහිම්  අබ්දුල් හාලික් විසින් සුවිශේෂ කරුණු කිහිපයක් අනාවරණය කරනු ලැබිණි. 

අත්ඩංගුවට පත් පිරිස හා ගමේම වෙනත් පිරිසක්  අතර  කලක් තිස්සේ විරසකයක් පැවතිණ. ඒ් මෙම දෙපිරිස අනුගමනය  කරන  ඉස්ලාමීය ආගමික මතවාද හා ඇදහීම් ක්‍රමවල පැවති සුළු වෙනස්කම්  සම්බන්ධයෙනි. බොහෝ කාලයක් දෙපිරිසම එකම පල්ලියක වැඳුම් පිදුම් කළද මතවාදීමය විරසකය ක්‍රමයෙන් වැඩි විය. මේ වන විට අත්අඩංගු‌වේ සිටින පුද්ගලයන් ඇතුළු පිරිසක් එකල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇත්තේ මෙම මතවාදී ගැටුමට විසඳුමක් සෙවීමටය.  ඒ  සදහා මුල් තැනගෙන කටයුතු කර  ඇත්තේ දැනට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පුද්ගලයින් පස්දෙනාය. එම නඩුවේ අවසන් අධිකරණ තීන්දුව වී ඇත්තේ මතවාදීමය ගැටුම් හේතුවෙන් මෙම දෙපිරිසටම තවදුරටත් එකම පල්ලියක වැඳුම් පිදුම් කළ නොහැකි බැවින් ගම තුළ ඔවුන්ටම වෙන්වූ ආගමික ස්ථාන ඉදි කළ යුතුය යන්නයි. එම නියෝගයෙන් අනතුරුව සාම්ප්‍රදායික ඉස්ලාම් පල්ලියට අමතරව  තවත් පල්ලියක් බිහි වූ අතර එය දෙපිරිස අතර විරසකය වඩාත් වර්ධනය කරන්නටද හේතුවක් වූ බව පූජකතුමා සහ ගම්වාසීහු අනාවරණය කර සිටියහ.

ඉකුත් අප්‍රේල් 27 වනදා සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග  ත්‍රස්තවාදය පිළිබද භීතියෙන් රටම ඇවිළී ගිය අතර ආගමික මතවාද පැතිරීම සම්බන්ධව ආන්දෝලනාත්මක පුවත් නිතර ඇසෙන්ට විය.  ගමේ සාම්ප්‍රදායික ඉස්ලාම් මතධාරී  කණ්ඩායමක් එම සිදුවීම පුද්ගලික අමනාපකම් පිරිමසා ගැනීමේ අවියක් ලෙසින් භාවිතකර පොලිසියට සාවද්‍ය ‌තොරතුරු ලබා දී නොමග යැවීමෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී ඇති බව අත්අඩංගුවේ සිටින පුද්ගලයින් පස් ‌දෙනාගේ පවුල්වල සාමාජිකයන්‌ගේ දැඩි විශ්වාසයයි.  ‌මෙම සියලු කරුණු ‌සැලකිල්ලට ‌ගෙන අදාළ පුවත්පතේ පළ වූ  සාවද්‍ය පුවත නිසා සිදු ව ඇති අසාධාරණයට සාධරණයක් අගතියට පත් පාර්ශවයනට  ඉටු වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කර සිටිති. 

තොරතුරු ලබා ගත් ප්‍රාථමික මූලාශ්‍ර

මෙම ගවේශණාත්මක වාර්තාව සැකසීමේදී අදාල පුවත්පතේ ප්‍රධාන කර්තෘතුමන්, පුවත වාර්තා කළ කර්තෘ මණ්ඩල මාධ්‍යවේදිනිය, ප්‍රදේශීය පුවත් වාර්තාකරු,  නිලධාරීන්,  අත්අඩංගුවට පත් පාර්ශවයන්ගේ පවුල්වල සාමාජිකයන්, ගම්වැසියන්, ගමේ පූජකවරයෙකු, විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකු යන  පාර්ශවයන් සම්බන්ධකොටගෙන ලබා ගත් තොරතුරු හා පැහැදිලිකිරීම් මෙන්ම නඩුවේ බී වාර්තාව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් මෙම සිදුවීමට අදාලව නිකුත් කළ වාර්තා ද අධ්‍යනයට ලක් කරනු ලැබිණි.   (මෙම සිදුවීම සම්බන්ධයෙන් නීති විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන අතර අප කරන  ගවේශණ කටයුතු ද අඛණ්ඩව කෙරෙමින් පවතියි)