Mahara prison riots

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත, 2020-12-13

පසුගිය නොවැම්බර් 29දා මහර බන්ධනාගාරයේදී සිදුවීමකින් රැඳවියෝ 11දෙනෙකු මියගියා. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 100කට වැඩි පිරිසකට තුවාල සිදුවුණා. මෙහි තිබෙන අමානුෂිකම පැතිකඩ වන්නේ මියගිය 11දෙනාගෙන් නවදෙනෙකුම කොවිඩ්-19 රෝගීන් බව සනාථ වීමයි. ඒ කියන්නේ, මරා දමා තිබෙන්නේ රෝගීන් පිරිසක්. ඔවුන් මරාදැමීමට හේතු වුණේ, රෝගී අයිතිවාසිකම් උදෙසා පැනනැගුණු අරගලයක ප්‍රතිඵලයක් ලෙස බව තමයි අපගේ නිරීක්ෂණය.

මහර බන්ධනාගාරය ගැන එහි අධිකාරි ජගත් වීරසිංහ කියන පරිදි මහර බන්ධනාගාරය කියන්නෙ අපරාධ වැරදි සම්බන්ධයෙන් දෙවරකට වඩා සිරගත වන පුද්ගලයන් රඳවා තබන විශේෂ බන්ධනාගාරයට. එහි ඉඩ තියෙන්නෙ 670ක් සඳහායි. දැන් 3,000ක් පමණ රඳවා තිබෙනවා. එහි රිමාන්ඩ් අංශයක් ද තිබෙනවා. අධිකරණ 10කින් පමණ රිමාන්ඩ් කිරීම් සිදුවන්නේ මෙම බන්ධනාගාරය තුළයි.

මේ අනුව බලන කල, මහර බන්ධනාගාරයේ එක් සිරකරුවෙකුට තිබෙන ඉඩ තුළ සිරකරුවන් සිව්දෙනෙකුට වඩා රඳවා තබා තිබෙනවා. මෙය තමයි ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල සාමාන්‍ය තත්වය. දොළොස් දහසක් සිරකරුවන්ට පහසුකම් තිබෙන බන්ධනාගාරවල මේ වන විට තිස්දහසකට වඩා සිරකරුවන් රඳවා තිබෙනවා.

මෙවැනි පරිසරයක් තුළට කොවිඩ්-19 පැතිර ගිය විට එහි සමාජ දුරස්ථභාවය පවත්වාගන්නට බැරි බවත්, රෝගය අධිවේගයෙන් පැතිරෙන බවත්, එයින් බන්ධනාගාර පමණක් නොව, සමස්ත සමාජයම අවදානමට ලක්වන බවත් ඕනෑම කෙනෙකුට වටහාගත හැකියි. එහෙත්, ආණ්ඩුවට මේ කාරණා වැටහෙනවා ද යන්න පැහැදිලි නැහැ. සිරකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම තිබෙන්නේ රජයටයි. මහර බන්ධනාගාරයේ උණුසුම් සිදුවීම් නිර්මාණය වුණේ රජයේ අඩුපාඩු නිසායි. සිරකරුවන් ඝාතනය වන තත්වයක් නිර්මාණය කිරීමෙන් මෙම ප්‍රශ්නය අවසන් වන්නේ නැහැ.

සිරකරුවන් කිසිවෙකුත් වෙඩිතැබීම්වලින් මියගොස් නැති බව අලුතෙන් පත් වූ බන්ධනාගාර භාර ඇමති ලොහාන් රත්වත්ත පාර්ලිමේන්තුවේ පැවසුවා. මරණ පරීක්ෂණ නොපවත්වා මරණවලට හේතු කියන්නේ කොහොමද? රජය උත්සාහ කළේ කොවිඩ්-19ට හා නිරෝධායන නීති රීතිවලට මුවා වී මරණ පරීක්ෂණ නොපවත්වා මළසිරුරු ආදාහනය කර සාක්ෂි විනාශ කිරීමට බව පෙනෙනවා. සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල හා දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම්වල බලපෑමත්, අධිකරණ ක්‍රියාමාර්ගත් නිසා මේ වන විට එය අත්හිටුවා, මරණ පරීක්ෂණ පැවැත්වීමට විශේෂ ක්‍රියාමාර්ග ගැනීමට අධිකරණය නියෝග කර තිබෙනවා. මේ මරණ මොන ආකාරයෙන් සිදුවූවත්, ඒවා මිනීමැරුම්. මිනීමැරුමක් සිදු වුණා නම්, එම ඝාතනය සිදුකළ අයෙකුත් සිටිය යුතුයි. බන්ධනාගාර බලධාරීන් කියන විදියට සිරකරුවන් ඝාතනය කළේ සිරකරුවන්ම නම්, විමර්ශන පවත්වා එම සිරකරුවන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මොකටද මේවා හංගන්නට උත්සාහ කරන්නෙ?

නොවැම්බර් 18දා බෝගම්බර බන්ධනාගාරයේදීත් සිරකරුවකු වෙඩිතැබීමකින් මියගියා. එම සිරකරුවා නිරෝධායනයට ලක්කර සිටි අයෙක්. බලධාරීන් කියන්නේ ඔහු පැන යාමට උත්සාහ කළ බවයි. මේ හේතුම ඉදිරිපත් කරමින් මාර්තු මාසයේදී අනුරාධපුර බන්ධනාගාරයේදීත් සිරකරුවන් දෙදෙනෙකු මරාදැම්මා.

නොවැම්බර් මාසයේ මුලදී මොනරාගල බන්ධනාගාරය තුළත් සිරකරුවෙකු ඝාතනය කළා. ඒ නම් ඍජුවම නිලධාරියකු විසින් සිරකරුවාට පහර දීමෙන්. හේතුව විදියට කියන්නේ සිරකරුවා නිලධාරියාට පහර දුන් බවයි.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ වධහිංසනය හා සිරකරුවන් මරාදැමීම සුලබ සංසිද්ධියක් බව පැහැදිලියි. 2012 නොවැම්බර් 9දා වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් 27දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවමත් කිසිවකු වරදකරුවකු වී නැහැ. 1983දී සිරකරුවන් 52ක් ඝාතනය කළ කුප්‍රකට සිද්ධියේ ඝාතකයන් කාලයේ වැලිතලා යට සැඟවී ගිහින්. ඒත්, ඒ අපකීර්තිය තවමත් රැව් පිළිරැව් දෙනවා.

ඔව්. රජයේ අත්අඩංගුවේ සිටින සිරකරුවන් නීතියට පිටින් මරාදැමීම ශිෂ්ට සමාජයන් අනුමත නොකරන අපකීර්තිමත් ක්‍රියාවක්. ඒ බව සමාජයක් ලෙස අප ද පිළිගන්නා නිසායි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (4) වගන්තියේ මෙහෙම කියවෙන්නෙ: “නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව නිසි අධිකරණයක් විසින් කරනු ලැබූ ආඥාවක් අනුව මිස, කිසිම තැනැත්තකු මරණීය දණ්ඩනයට යටත් කිරීම හෝ කිසිම තැනැත්තකු බන්ධනාගාරගත කිරීම හෝ නොකළ යුත්තේ ය.”

1 thought on “කොවිඩ්-19 රෝගී සිරකරුවන් පවා මරන රටක්

  1. Yuda hamuda maanasikathwaya civil samaja sankirna manasikathwayan samaga samapaatha nowe .
    Yudahamudawak visin civil samajaya paalanaya kiriema honda yai kalakadi bahutharayak sithuwath , kanakok suda den penei .
    Kapuwo dostharala wena , Dostharala kapuwo wemin pawathina , hire vilanguwe sitiyayuthuwo bandhanagaara baarakaruwo wana yugayaka viparietha sidhdhi arumayan nowei .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: