COVID-19 Oxford vaccine trial

සාර්ථක වූ බව කියන ඔක්ස්ෆර්ඩ් කොරෝනා එන්නතේ ඇත්ත කතාව

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් AstraZeneca නම් ඖෂධ සමාගම සමග එක්ව කොවිඩ්-19 වයිරසය වෙනුවෙන් ප්‍රතිශක්ති එන්නතක් නිෂ්පාදනය කිරීමට කරන ලද පර්යේෂණය බලාපොරොත්තු ඇති කරන මට්ටමකට පැමිණ තිබෙන බව වාර්තා විය.

Translations by Creative Content Consultants

මේ පිළිබඳ The Lancet නම් වෛද්‍ය සඟරාවෙහි පළ කරන ලද වාර්තාව අනුව, මෙම එන්නත මගින් වයිරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ප්‍රතිදේහ සහ ටී සෛල ප්‍රතිශක්ති ප්‍රතිචාර නිර්මාණය කර තිබේ. මෙමගින් බලාපොරොත්තු වන්නේ මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් දිගු කලක් මෙම වයිරසය මතක තබාගැනීමයි.

ප්‍රතිදේහ යනු ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් නිර්මාණය කරනු ලබන කුඩා ප්‍රෝටීන වන අතර ඒවා වයිරසයේ මතුපිටට බලපායි. එහෙත්, වයිරසය විසින් මෙම ප්‍රතිදේහ නිශේධ කළ හැකි ය.

ටී සෛල යනු සුදු රුධිරාණු විශේෂයක් වන අතර එමගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියට ආසාදනය වූ සෛල හඳුනාගෙන ඒවා විනාශ කළ හැකි ය.

ඵලදායී එන්නතක් මගින් ප්‍රතිදේහ ප්‍රතිචාර මෙන් ම, ටී සයිල ප්‍රතිචාර ද ගොඩනගනු ලැබේ.

මෙම පර්යේෂණයේදී ටී සෛල ප්‍රතිචාර මට්ටම දින 14කදී උපරිමයට පැමිණි අතර ප්‍රතිදේහ ප්‍රතිචාර මට්ටම දින 28කදී උපරිම විය.

කෙසේ වෙතත්, මෙම එන්නත මගින් වයිරසයෙන් ආරක්ෂා වීමට හැකි වේ ද යන්න තහවුරු වන්නේ මේ වන විට ආරම්භ වී තිබෙන තුන්වන අදියරේ පරීක්ෂණවලින් පසුව ය. මෙම එන්නතෙහි ඵලදායිතාව ඇගයීම සඳහා SARS-CoV-2 ලෙස සායනිකව නම් කර තිබෙන මෙම වයිරසය පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයන අවශ්‍ය බව පර්යේෂක කණ්ඩායමේ සාමාජිකයකු වූ ඇන්ඩෘ පොලඩ් පැවසී ය.

එන්නත පරීක්ෂා කිරීමේ දෙවෙනි අදියරේදී එය ලබාදුන් පිරිස අතරින් දින 56කට පසුව කරන ලද පරීක්ෂණවලදී ප්‍රතිදේහ වාර්තා කරගෙන තිබේ. මෙම එන්නත මගින් පාලනය කරන ලද තත්වයක් තුළ කොවිඩ්-19 ආසාදනය ඇති කරන ලද අතර, එමගින් පරීක්ෂණයට භාජනය වූ පුද්ගලයාට ඇති වූයේ සුළු අතුරු විපාක ප්‍රමාණයක් පමණි.

මේ වන විට බ්‍රිතාන්‍යය, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව සහ ඉදිරියේදී එක්සත් ජනපදය යන කොවිඩ්-19 අධික ව්‍යාප්තියක් ඇති රටවල කරනු ලබන තුන්වන අදියරේ පරීක්ෂණය සඳහා 30,000ක් පමණ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පුද්ගලයන් යොදාගනු ලැබේ. එම රටවල ආසාදනය ව්‍යාප්ත වීමේ වේගය අඩු වුවහොත්, මෙම පර්යේෂණ අදියර සඳහා වැඩි කාලයක් ගත විය හැකි ය. මෙම කාලය මාස දෙකේ සිට හය දක්වා වනු ඇතැයි අපේක්ෂා කරනු ලැබේ.

මෙම පර්යේෂණය සඳහා යොදාගෙන තිබෙන්නේ ජානමය වශයෙන් වෙනස් කර දුර්වල කරන ලද චිම්පන්සි සෙම්ප්‍රතිශ්‍යා වයිරසයක් වන අතර එමගින් කොරෝනා වයිරසයේ ප්‍රෝටීන් ශරීරයට ඇතුළු කර ප්‍රතිදේහ ගොඩනගනු ලැබේ.

AstraZeneca සමාගම විසින් මෙම එන්නත සාර්ථක වුවහොත් එයින් එන්නත් බිලියන දෙකක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වේ. මේ වන විටත්, ඒ සඳහා බ්‍රිතාන්‍යයෙන්, යුරෝපා සංගමයෙන් සහ එක්සත් ජනපදයෙන් ඇණවුම් මිලියන ගණනක් සිදු වී තිබේ. බ්‍රිතාන්‍යය පමණක් එන්නත් මිලියන 100ක් ඉල්ලා තිබේ.

මේ වන විට මෙවැනි තවත් එන්නත් 22ක් මිනිසුන් යොදාගෙන පරීක්ෂා කරන මට්ටමට පැමිණ තිබෙන අතර, තවත් 140ක් විද්‍යාගාර මට්ටමේ ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මේ වන විට චීනය විසින් එන්නතක් තම යුද හමුදා වෙත ලබා දීම සඳහා අනුමැතිය ලබා දී තිබේ.

Translations