COVAX-Sri Lanka

යහපත් ජාත්‍යන්තර සම්බන්ධතා නිසා අපට නොමිලේ ලැබෙන කොවිඩ් එන්නත

අජිත් පැරකුම් ජයසිංහ

ඡායාරූපයේ දැක්වෙන්නේ අද දිනයේ යුනිසෙෆ් සංවිධානය හරහා එමිරේට්ස් ස්කයි කාගෝ සේවාව මගින් ශ්‍රී ලංකාවට ගෙන එන ලද COVAX පහසුකම යටතේ නොමිලේ ලැබුණු පළමු එන්නත් තොගයයි. එහි මාත්‍රා 264,000ක් අඩංගු වෙනවා.

ඊයේ දිනයේත් ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 හේතුවෙන් අවම වශයෙන් වැඩිහිටියන් තිදෙනෙකු මියගොස් තිබේ. පෝලිම පැන එන්නත ලබාගත් ඇතැමුන්ගේත්, පොදුවේ සමාජයේත් දෑත්වලත් මේ මරණවල ලේ තැවරී තිබෙන්නට පුළුවන්. කෙසේ වෙතත්, මේ වන විට එන්නත ලබාදීමේ වැඩපිළිවෙල යම් දුරකට විධිමත් කිරීමට රජය සමත් වී තිබෙන එක ගැන සතුටුවිය හැකියි.

කොළඹ එන්නත් මධ්‍යස්ථානවලදී රු. 5,000 බැගින් අල්ලස් ලබාගෙන එන්නත් ලබාදුන් නිලධාරීන් ගැන තොරතුරු වීඩියෝත් සමගම ආරක්ෂක අංශ වෙත ලැබී තිබෙන බව අපට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගැනීමට ලැබුණා. මරදානේදී මරදාන දෙමටගොඩ පාරේ පිහිටි මුස්ලිම් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ප්‍රදේශවාසීන් සඳහා කොරෝනා මර්දන එන්නත ලබාදීමේදී එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ කාර්ය සහායකයෙකු එන්නත ලබාගන්නා පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් රුපියල් 1000 බැගින් අය කරගෙන එන්නත් ලබා ගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තේ ඒ අනුවයි. එහෙත්, මෙම ජාවාරමට ඊට වඩා ජ්‍යේෂ්ඨ නිලධාරීන් සම්බන්ධ බව ආරක්ෂක අංශ දන්නා බව අදාළ නිලධාරීන්ට ඒ කැත වැඩ නැවැත්තීම සඳහා අවවාදයක් ලෙස දැනුම් දෙනවා.

සවුදි අරාබියේ ජීවත් වන මගේ මිතුරකු කී දෙයක් මට සිහිපත් වෙනවා. ඔහු කියන පරිදි ෆයිසර් එන්නත නොමිලේ සියලුදෙනාට ලබාදීම සඳහා සවුදි රජය වැඩපිලිවෙළක් යෙදුවත්, ඒ ගැන ජනතාවගේ උනන්දුව අවමයිලු. එන්නත ගැන විශ්වාසය අවම වීම තමයි එයට හේතුව. මේ වන විට ඇප් එකක් හරහා ලියාපදිංචි වී ඕනෑම කෙනෙකුට ෆාමසිවලින් එන්නත ලබාගත හැකි වුණත්, ලබාගන්නා පිරිස අඩුයිලු. ලංකාවේ මිනිසුන් එන්නතට පොරකෑවාට සවුදියේ ඉන්න ලංකාවේ මිනිසුනුත් එන්නත ලබාගන්නට කම්මැලියිලු. දේසෙ හැටියටනෙ බාසෙ.

ලංකාවෙත් තව වැඩි දවසක් යන්නට කලින් ඔය තත්වය ඇතිවෙන්නට පුළුවන්. පැණිකාරයන්, කට්ටඩියන්, ජාතික චින්තනකාරයන් ඇතුළු තක්කඩි අලුත් වටයකින් මිථ්‍යාව පතුරුවා හරීවි. ඒ එක්කම කොවිඩ්-19 ලෝකය පුරාම සාමාන්‍යකරණය වෙමින් තිබෙනවා.

ලෝකය සුරක්‍ෂිත වන්නේ සියල්ලන්ම ආරක්‍ෂිත වූ විට පමණක් බව අප සියලුදෙනා මතක තබාගත යුතුයි.

COVAX පහසුකම යටතේ පළමු මාත්‍රාවන් 264,000ක කොවිඩ් – 19 එන්නත් තොගය දැන් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. මැයි මාසය වන විට මාත්‍රා 1,440,000ක් ශ්‍රී ලංකාවට ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20% ක් ආවරණයවන අමතර එන්නත් මාත්‍රා ප්‍රමාණය 2021 දෙවන භාගයේදී පැමිණෙනවා.

මෙම සියලුම එන්නත් මාත්‍රාවන් සඳහා අරමුදල් සපයන්නේ පරිත්‍යාගශීලීන් විසින්. ශ්‍රී ලංකාවට ඒ වෙනුවෙන් කිසිදු වියදමක් දැරීමට අවශ්‍ය වන්නේ නැහැ. COVAX කියන්නේ ගාවි (Gavi), එන්නත් සන්ධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ වසංගත සූදානම සඳහා වන නවෝත්පාදන සන්ධානය (CEPI) විසින් සම-නායකත්වය ලබාදෙමින් මෙහෙයවන ගෝලීය එන්නත් වැඩසටහනක්. ඒ සඳහා අරමුදල් සම්පාදනය කරනු ලබන්නේ රජයන්, බහුපාර්ශ්වික ආයතන සහ පදනම්වලින් ලැබෙන අරමුදල් මගින්. ලෝක ඉතිහාසයේ විශාලතම එන්නත් ප්‍රසම්පාදන හා සැපයුම් මෙහෙයුම එයයි. එමගින් සංවර්ධනය වෙමින් පවතින රටවල් 92කට එන්නත් මාත්‍රා බිලියන් දෙකක් පමණ සපයනවා.

ගෝලීය වශයෙන් ප්‍රසම්පාදනය, සැපයුම් සහ ගබඩා කිරීම වෙනුවෙන් යුනිසෙෆ් සංවිධානය මූලිකත්වය ගෙන ක්‍රියා කරනවා. කෝවිඩ්-19 එන්නත් සඳහා ගෝලීය වශයෙන් සාධාරණ ප්‍රවේශයක් ලබා දීමෙන් හැකි ඉක්මනින් වසංගතයේ උග්‍රතම අවධිය අවසන් කිරීම සඳහා වූ තම මෙහෙවර ඉටු කිරීම සඳහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, සාමාජික රටවල්, සිවිල් සමාජ සංවිධාන, නිෂ්පාදකයින් සහ වෙනත් අය සමඟ COVAX සහයෝගයෙන් කටයුතු කරමින් සිටිනවා. COVAX පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන පළමු එන්නත් තොගය වන්නේ ඉන්දියාවේ සීරම් ආයතනය (SII) විසින් නිෂ්පාදනය කරන ලද ඇස්ට්‍රා සෙනකා/ ඔක්ස්ෆර්ඩ් එන්නතයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්ඩ්සේ නිවේදනයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කළා: “කෝවිඩ්-19 සමඟ සටන් කිරීම සඳහා ලැබූ එන්නත අපගේ මෙවලම් කට්ටලයට තීරණාත්මක එකතු කිරීමක් වන නමුත් එමගින් ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳෙන්නේ නැහැ. වසංගතය අවසන් කිරීමට උපකාරී වනු ඇත්තේ එන්නත් සමඟ මහජන සෞඛ්‍ය හා සමාජ ක්‍රියාමාර්ග ඒකාබද්ධ කිරීමයි. එන්නත ලබා දීමත් සමඟම, එන්නත ලබාගත්ත ද ශාරීරික දුරස්ථභාවය පවත්වා ගැනීම, මුව වැස්මක් පැළඳීම, සබන් යොදා දෑත් සේදීම, ජනාකීර්ණ හා සංවෘත අවකාශයන් මගහැරීම ආදී වශයෙන් වෛරසය පැතිරීම අවම කිරීම සඳහා අප දන්නා වැළැක්වීමේ පියවර අනුගමනය කිරීම සඳහා අප සෑම කෙනෙකුම කැපවී සිටීම ඉතා වැදගත් වෙනවා. අපගේ ආරක්ෂාව බිඳ නොගෙන වඩාත් සුපරීක්ෂාකාරී විය යුතු කාලය දැන් එළැඹ තිබෙනවා.”

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන රටකට යහපත් ජාත්‍යන්තර සම්බන්ධතා කෙතරම් වැදගත් වෙනවාද කියන කාරණය කොවිඩ්-19 අධි වසංගතය විසින් නැවත වරක් පෙන්වා දුන්නා. කෝවිඩ්-19 වෛරසය දේශ සීමාවන් දන්නේ නැහැ. ලෝකය සුරක්‍ෂිත වන්නේ සියල්ලන්ම ආරක්‍ෂිත වූ විට පමණයි.

කෝවිඩ්-19 අර්බුදයේ සෞඛ්‍ය හා සමාජ ආර්ථික බලපෑම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීම සඳහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාව වෙනුවෙන් විශේෂයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 5ක් වෙන් කර තිබෙන බව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති ගරු ඩෙනිස් චයිබි මහතා පැවසුවා.