Cervical cancer

පැප් පරීක්ෂාවක් කර ගතිමි. කාන්තාවක් නම්, ඔබත් ඒගැන හිතන්න

ඊශා කප්පරගේ

මම අද පැප් පරීක්ෂාවක් කර ගත්තා.

ඒ මොකක්ද? ලංකාවේ කාන්තාවන් අතර දෙවැනි තැනට ඇති පිළිකා වර්ගය ගැබ් ගෙල පිළිකා.
අවුරුදු පතා කාන්තාවන්ගේ ජීවිත 700ක් පමණ එයට ගොදුරු වෙනවා. මේ පිළිකාව අඳුන ගන්න තමයි මේ පරීක්ෂණය කරන්නෙ. මෙහි ඇති වාසිය තමයි කලින් හඳුනා ගත්තොත් සම්පූර්ණයෙන් සුව කළ හැකි වීම. මේ පරීක්ෂාවෙන් පිළිකාවේ මූලික අවස්ථාව (Early cancer stage) වගේම පූර්ව පිළිකා අවස්ථාව (Pre cancer stage) හඳුනා ගන්න පුළුවන්.

පැප්ස්මියර් පරීක්ෂාව සරල ගැබ් ගෙල පිළිකා පරීක්ෂාවක්. එමගින් ගැබ් ගෙලෙහි පිළිකාවලට තුඩු දිය හැකි සෛල වෙනස්කම් හඳුනාගන්නවා. ඒවාට ප්‍රතිකාර නොකර සිටියහොත්, ගැබ් ගෙල පිළිකා ඇති විය හැකියි.

මේ පිළිකාව හදන්නේ කවුද? Human Papillomavirus හෙවත් මානව පැපිලෝමා වයිරසය. මේ වයිරසය ලිංගිකව සම්ප්‍රේෂණය වන්නක්.

මේ පරීක්ෂණය කොහොමද කරගන්නෙ? ලංකාවේ ඇති සුව නාරී සායන මගින් කරගන්න පුළුවන්. තමා අයත් සෞඛ්‍ය වෛද නිලධාරී කොට්ඨාසයේ පවුල් සෞඛ්‍ය සේවිකාව මගින් මේ විස්තර දැන ගන්න පුළුවන්.

කාටද සුදුසු? මීට නිසි වයසක් තියෙනවද? ලිංගික සබඳතා පවත්වන වයස 35 ට වැඩි කාන්තාවන්ට රජයේ ආයතන මගින් කළ හැකියි. එක් වරක් පරීක්ෂාවකින් පසු වසරපහකට වරක්වත් මෙය නැවත කළ යුතුයි.

මොකක්ද මෙහිදී කරන්නෙ? කවුද කරන්නෙ? මෙය වෛද්‍යවරයෙකු කරන යෝනි පරීක්ෂාවක්. යෝනි තරලය මෙහිදී පරීක්ෂාවක් සඳහා ගන්නවා. මාසයක් ඇතුළත වාර්තාව ලැබෙනවා. දැනීමක් මිස, වේදනාවක් දැනෙන්නේ නැහැ.

මේ සඳහා එන්නතක් නැද්ද? වයස 10 සම්පූර්ණ (6 ශ්‍රේණියේ දැරියන්) පාසල් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් කරනවා. මෙමගින් අනාගතයේ මේ පිළිකා අවදානම අවම වේවි. මේ එන්නත්කරණය ආරම්භ කලේ මීට වසර කිහිපයකට කලින් නිසා එන්නත නොලැබුණු කාන්තාවන් තමයි වැඩිපුර ඉන්නේ.

කාන්තාවන් මේ සඳහා යොමු වීමට කැමැත්තක් නෑ. ලොකු මහත් වූ දරුවන් සිටින කාන්තාවන් සායනයකට යාම ඇතැම්විට ලජ්ජාවට කාරණයක් ලෙස සලකන්නේ නැවත ගැබ් ගැනීමක් නිසා සායනය වෙත යනවා යැයි ගමේ කටකතා පැතිරෙතැයි යන බිය නිසායි.

කාන්තාවන්ට හිතන්න දෙයක් මේ. පවුලක අම්මා පවුලේ මුදුන් මුල වගේ. ඇය නැති තැන පවුලේ පෝෂණය, දූ දරු රැකවරණය, නෑ සබඳතා, ආදරය බිඳ වැටෙනවා. ඇය විසින් ඇය රැක නොගත්තොත් තමා ආදරය කරන්නන් අනතුරට පත්වීම වළක්වන්න බැහැ.තමන්ට,තමා ආදරය කරන්නන්ට ආදරෙයි නම් අකාලේ ජීවිතය අහිමි කර නොගන්න. ලේසියෙන් ජීවත් වෙන්න පුළුවන්කම තිබියදී අකාලයේ ජීවිතය හැර නොයා අනතුර මගහැර පැප් පරීක්ෂාවකට යොමු වන්න.

මේ ලිපියත් කියවන්න: නිදහසට යට වූ පිළිකාව