Dengue - Inter Press Service

ඩෙංගු අවදානම ඉහළට; මදුරු කොයිල්වත් නැත

නිරිතදිග මෝසම තව සති කීපයකින් සක්‍රිය වීමට ඉඩ තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පළාත වන බස්නාහිර පළාත තවමත් පවතින්නේ කොවිඩ්-19 ඇඳරි නීතිය යටතේ ය. එම ඇඳිරි නීති ඉවත් කරන දිනයක් හෝ තවමත් ප්‍රසිද්ධ කර නැත. මේ අතර මෝසම් වැසි සමග, විශේෂයෙන් බස්නාහිර පළාතේ ඩෙංගු (ඩෙංගි) රෝගය හිස එසවීමේ දැඩි අවදානමක් තිබේ.

Translations

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු අනුව, 2020 වසරේ මුල් මාස හතර තුළදී ඩෙංගු රෝගීන් 18,835ක් වාර්තා විය. ඒ අතරින් 11,500කට වඩා වාර්තා වූයේ ඊසානදිග මෝසමින් පසු එළඹුණු ජනවාරි මාසයේදී ය.

සාමාන්‍යයෙන් ඩෙංගු රෝගීන් 30%ක් පමණ වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.

අන්තර් මෝසම් වැසි ආරම්භ වීමත් සමග මදුරුවන් බෝවීමේ වැඩි වීමක් ද දක්නට ලැබේ. බස්නාහිර පළාතේ වැසියන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන මදුරු දඟර, මදුරුවන් විකර්ෂක ශාරීරික ආලේපන, මදුරු දැල් ආදිය මිළ දී ගැනීමේ හැකියාවක් ද නැති තරම් ය. භාණ්ඩ බෙදාහැරීමේ ජාලයන් අක්‍රිය වී තිබෙන අතර, නිවෙස් වෙත භාණ්ඩ රැගෙන පැමිණෙන වාහනවලින් මෙවැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ දී ගැනීමේ හැකියාව අවම ය. භාණ්ඩ මිළ දී ගැනීමට පිටත යා නොහැකි අතර, ඇඳිරි නීති කැඩීම හේතුවෙන් මේ වන විට 40,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

2019 වසරේදී ද ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 100කට වඩා සිදු විය. වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 105,000කට වැඩි ය.

මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව හා සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන සෞඛ්‍ය අංශ දින තුනකට වඩා උණ රෝගය පවතීනම් ප්‍රතිකාර ලබා ගැනීම හා අවශ්‍ය සායනික පරීක්ෂණ සිදුකරගැනීම වැදගත් බව දැනුම් දෙයි.

Photo: Inter Press Service