molnupiravir

කෝවිඩ්-19 ඖෂධ ලංකාවට කවදා විතර එයිද?

කොවිඩ්-19 වසංගත තත්වය ලොව පුරාම නැවත නැවතත් හිස ඔසවමින් සිටිනවා. ඒ අතර, එන්නත් පමණක් නොවෙයි, දැන් දැන් කොවිඩ්-19ට ප්‍රතිකාර කරන ඖෂධත් නිර්මාණය කරමින් තිබෙනවා. ඒත්, වයිරසය වේගයෙන් විකෘති වෙමින් නව ප්‍රභේද නිර්මාණය වෙමින් තිබෙනවා. Merck & Co (MRK.N) සහ Pfizer Inc (PFE.N)/BioNTech SE සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද කොවිඩ්-19 ඖෂධ නිසිකලට ලබාගැනීමෙන් ආසාදනයේ තීව්‍රතාව අවම කළ හැකි බව විද්‍යාඥයන් පවසනවා. ආසාදනයේ මුල් අවධියේදී මෙම ඖෂධ මගින් වයිරසය ශරීරය තුළ ප්‍රතිජනනය වීම වැළැක්විය හැකියි. මෙම මුල් අවධිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බැවින් ඖෂධ ලබාදිය යුතු කාලසීමාව හඳුනාගැනීම පහසු නැහැ.

කෝවිඩ්-19 ආසාදනයේ දෙවන අවධියේදී සංකුලතා නිර්මාණය වන්නේ අධික වයිරස් ගහණයට ශරීරය දක්වන වැරදි ප්‍රතිශක්තිමය ප්‍රතිචාර හේතුවෙන්. ඖෂධ ලබාදිය යුතු මුල් අවධිය හඳුනාගැනීම පහසු නැහැ. එම මුල් අවධිය පසුවුණොත් ඖෂධවලින් ප්‍රතිඵලයක් ලබාගැනීම දුෂ්කර බවයි විද්‍යාඥයන් පවසන්නේ.

පර්යේෂණ මට්ටමේ තිබෙන ෆයිසර් සමාගමේ Paxlovid නම් ඖෂධය මගින් වැඩිහිටි කොවිඩ් ආසාදිතයන් රෝහල්ගතවීම හා මරණ 89%කින් අවම කළ හැකි බව එම සමාගම පවසනවා. Merck සහ Ridgeback Biotherapeutics සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද මුඛ මාර්ගයෙන් ලබාදෙන molnupiravir නම් ඖෂධයට බ්‍රිතාන්‍යයේ කොන්දේසි සහිත අනුමැතිය ලැබී තිබෙනවා. මෙම ඖෂධ කිසිවකට තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැහැ. එහෙත්, ඒවා දෙසැම්බරය වන විට වෙළඳපොළට පැමිණිය හැකි බව රොයිටර් පුවත් සේවය පවසනවා.

ලංකාවත් මෙම ඖෂධ ඇණවුම් කරන බව රජය පවසනවා. කෙසේ වෙතත්, මෙම ඖෂධ සඳහා පවතින ඉල්ලුම නිසා ඒවා ලංකාවට පැමිණෙන දවස හරියටම කියන්නට බැහැ.

කොවිඩ් ඖෂධ හා එන්නතත්, ශාරීරික දුරස්ථභාවය හා මුඛ ආවරණ පැළඳීම වැනි සමාජ ක්‍රියාමාර්ගත් කොවිඩ්-19 සමග සටනේදී ඉතා වැදගත් බව වෛද්‍යවරුන් පවසනවා.

(රොයිටර් ඇසුරෙනි)