Matugama

කොවිඩ්-19 දැඩි අවදානමක් ඇති මතුගම සිට

අජිත් පැරකුම් ජයසිංහ

අප ජීවත් වෙන මතුගම ප්‍රදේශයේ මේ වන විට දැඩි කොරෝනා අවදානමක් මතු වී තිබේ. සියලු කොවිඩ්-19 ආසාදනයන් බ්‍රැන්ඩික්ස් පොකුරට යා කරන මුත්, මතුගම ආසාදිතයන් බ්‍රැන්ඩික්ස් සමග සම්බන්ධ වන ආකාරය අපැහැදිලි ය. මේ පොකුර හමුවන්නේ ස්වේච්ඡාවෙන් පීසීආර් පරීක්ෂණ සිදු කරගත් හෙද නිලධාරිනියකගේ හා බස් සේවකයන් පිරිසකගේ ඉදිරිපත් වීම නිසා ය.

එහෙත්, ප්‍රජා ව්‍යාප්තියක් නැති බවටත්, සියල්ල බ්‍රැන්ඩික්ස් බවටත් ගායනයක් පුන පුනා අසන්නට ලැබේ. එය රජයේ මතය නිසා අප එයට අභියෝග කරන්නේ නැත. විකල්ප මතයක් දරන්නට රජයට ඇති අයිතියට අපි ගරු කරන්නෙමු.

මතුගම කොවිඩ්-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය දෙස නිරීක්ෂණය කරන අපට දැකිය හැකි වන්නේ පූර්ණ අපිළිවෙලකි. ආසාදිතයන් රෝහල්ගත කිරීම, ආශ්‍රිතයන්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීම හා නිරෝධායනයට යැවීම පමා වීම් සහිතව, හැකි මට්ටමෙන් කරනු දැකිය හැකි ය. ආශ්‍රිතයන් හඹා යාම මෙහි ඉතා සංකීර්ණ ය. ඒ නිසා කිසිවකුට දොස් කීමෙන් වැඩක් නැත. ක්‍රියාවලි අතර දැවැන්ත පරතරයන් තිබේ. එම අඩුපාඩු ඇත්තෙන් ම ධාරිතා සම්බන්ධ ගැටලු ය.

දැනට තිබෙන ආරංචි අනුව, හමු වී තිබෙන බොහෝ රෝගීන්ට සංකුලතා අවම ය. එහෙත්, රෝගීන් හා සමීප ආශ්‍රිතයන් පොදු ප්‍රවාහනය, කොටහලු මඟුල්, වන්දනා ගමන්, දාන මාන, වැඩිහිටි නිවාස ආදී අවදානම් සහගත සම්බන්ධතා රැසක් රෝගීන් විසින් පවත්වා තිබේ. මේ වන විට, පිඹුර, මතුගම හා ඉත්තෑපාන රෝහල් කොවිඩ්-19 රෝගීන් සඳහා සූදානම් කෙරෙමින් ඇති බව වාර්තා වේ. අනුමාන ආශ්‍රිතයන් සිටින තරම් පීසීආර් පරීක්ෂණ සිදු කිරීම පහසු නැත. පීසීආර් කරන්නට යැවූ සාම්පල් අවතැන් වීම්, වාර්තා පමා වී පසුව ඔක්කොම එක සැරේ නෙගටිව් යයි තොග වාර්තා ලැබීම් හා පරීක්ෂණ සඳහා නැවත සාම්පල් යැවීම් ආදී අවුල් එමට ය.

මේ අතර, හමුදාවේ හා පොලිසියේ දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් සැක ඇති බොහෝ පුද්ගලයන් ස්වේච්ඡාවෙන් පරීක්ෂණ සඳහා ඉදිරිපත් නොවන තත්වයක් ද තිබේ. අප මෙම ගැටලුව මුල සිට ම පෙන්වා දුන්නෙමු. රෝගියකු හමු වූ විට රෝගියා අරගෙන යනු ලැබේ. පවුලේ අය ද නිරෝධායනය සඳහා යයි අරගෙන යනු ලැබේ. සෞඛ්‍ය බලධාරීන් නිවසේ නිරෝධායනය වන්නැයි උපදෙස් දුන් ළමයින් පවා හමුදාව පැමිණ නිරෝධායනයට රැගෙන ගිය බවට වාර්තා වී තිබේ. මිනිසුන් ස්වේච්ඡාවෙන් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වීම අධෛර්යවත් කිරීමට මෙම තත්වය හේතු වී තිබේ. බොහෝ දෙනෙකුට හෙම්බිරිස්සාවක් තරම්වත් අමාරුවක් නොපවතින ලෙඩක් වෙනුවෙන් කන්නට සිදුවන පරිප්පුව එසේ මෙසේ එකක් නොවේ. නිරෝගී මිනිසුන් ආසාදිතයන් වීමේ අවදානම ඇති පුද්ගලයන් සමග ඇසුරට තල්ලු කර දැමීමේ අවසානය පවුලේ අයට දකින්නට හෝ නොලැබී අවසන් ගමන් යන්නට සිදුවීම විය හැකි ය.

වෙනත් රටවල කරන්නා සේ ආශ්‍රිතයන්ට නිවසේ ම නිරෝධායනය වන්නටත්, රෝගීන්ට පවා සංකුලතා අවම නම් නිවසේ ම සිටින්නට සලස්වන්නටත්, ඒ ගමන් රෝගීන් පිළිබඳ සොයාබලන්නට විධිමත් ක්‍රමයක් සකසන්නටත්, අවශ්‍ය රෝගීන් පමණක් රෝහල්ගත කරන්නටත් අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු ගන්නට සිදුවන තත්වයක් අපට නම් පෙනේ. එහෙත්, තීරණ ගන්නට කිසිවෙකු සිටීදැයි අපට නොපෙනේ.

අප ජීවත් වන ප්‍රදේශයේ වර්තමානයේ පවතින තත්වය අනුව, මේ වන විට රෝගය ප්‍රජාව වෙත ව්‍යාප්ත වී ඇතැයි මිනිස්සු විශ්වාස කරති. එසේ ව්‍යාප්ත වී නැතිනම්, කොරෝනා වයිරසය අප හිතන තරම් නරක නැත. දැන් දැන් මිනිසුන් හොඳින් පරිස්සම් වනු දැකිය හැකි ය. අනවශ්‍ය ගමන් බිමන් නොයාම, මුඛ ආවරන පැළඳීම, දෑත් සේදීම, මීටර් පරතරය වැනි සෞඛ්‍යාරක්ෂක විධිවිධාන බොහෝ ජනයා අනුගමනය කරති. ඒ අතර රැකියා, ව්‍යාපාර, කෘෂිකාර්මික කටයුතු ආදිය පවත්වාගෙන යන්නට ද වෙහෙසෙති. වැඩ කරන ජනතාවට පූර්ණ ආරක්ෂාවක් නැති බව ජනතාව දනිති. සෞඛ්‍ය සම්පන්න අයට රෝගය වැළඳීම එතරම් ප්‍රශ්නයක් නොවන්නට ඉඩ තිබේ. එහෙත්, ආරක්ෂා කළ යුතු සහෝදර ජනතාවක් අපට සිටිති.

එහෙත්, බිය වී වැඩක් නැති බව ජනතාව දනිති.

රජයෙන් එතරම් දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව මෙහි ඉතා පැහැදිලිව දකින්නට ලැබේ. අඩු තරමේ රෝහල් ටික හා ඒවායේ සේවකයන් ආරක්ෂා කරගැනීමටවත් වැඩපිළිවෙලක් ඇති බවක් පෙනෙන්නේ නැත. රෝහල් සේවකයන්ගේ රාජකාරි කාලයන්, ගමනාගමනය වැනි ප්‍රශ්න වෙනුවෙන් අඩු තරමේ චක්‍රලේඛයකින්වත් විසඳුම් දීමක් සිදුවන්නේ නැත. මෙම තත්වය තුළ රෝහල් සියල්ලට පෙර අඩපණ විය හැකි බවට සංඥා දැනටමත් නිකුත් වෙමින් තිබේ.

මහජනතාව ලෙස අපට බරපතල වගකීමක් ඇති බව මේ වන විට තත්වය නරක අතට හැරෙමින් ඇති ප්‍රදේශයක සිට අපි ඔබ සමග බෙදාගන්නෙමු. අපට එක පැත්තකින් රෝගයෙන් බේරෙන්නට සටන් කරන ගමන්, අනෙක් පැත්තෙන් ආර්ථිකය රැකගන්නට ද සටන් කරන්නට සිදු වනු ඇත. රජය හා ආණ්ඩුවේ නායකයන් ආරක්ෂා කරගන්නට සිදුවන්නේ ද අපට ය.

පොලිස් කොට්ඨාස පිටින් ඇඳිරි නීති දමා මිනිසුන්ට බඩගින්නේ මැරෙන්නට සිදුවන තත්වයක් ඇති නොකර, දැඩි ව්‍යාප්තියක් සහිත ගම් පමණක් හුදකලා කරමින්, වැඩ කරමින් රෝගය සමග සටන් කරන්නට අපට තවමත් අවස්ථාව දී තිබීම ගැන අපි රජයට ස්තුතිවන්ත වෙමු.

ඡායාරූපය Matugama Guys and girls ෆේස්බුක් පිටුවෙනි.