police checkpoint

එලකිරි ලොක්ඩවුන් එකක් කරන හැටි

උපදෙස් අජිත් පැරකුම් ජයසිංහගෙනි

කොවිඩ්-19 ව්‍යාප්තිය හා මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වී තිබේ. එයට විසඳුම් ලෙස රට වසාදැමිය යුතු යයි විවිධාකාර සංවිධාන හා පුද්ගලයන් විසින් උපදෙස් දෙනු දැකිය හැකිය. ඒ පිළිබඳ උපදෙස් දෙන්නට දැනුමක් අපට නැත. පුරවැසියකු ලෙස යම් නිරීක්ෂණ කිහිපයක් නම් කළ හැකිය.

රට වසන්නට උපදෙස් දෙන එක් බලවේගයක් වන්නේ අති වාමාංශික පිරිසයි. ඔවුන් උද්ඝෝෂණවලට ද පක්ෂය. ඔවුන්ගේ මූලෝපාය පවත්නා ක්‍රමය උපරිම වශයෙන් අර්බුදයට පත්කර වාමාංශික බලයක් ගොඩනගාගැනීම විය හැකිය. එහි වරදක් නැත.

රට මේ මොහොතේ පවතින අවදානම් ආර්ථික තත්වය තුළ තවත් ලොක්ඩවුන් එකක් දරාගැනීම රජයට අසීරුය. රජයේ සේවක වැටුප් කප්පාදුවක් වැනි ක්‍රියාමාර්ගයකට යාමට රජයට සිදුවනු ඇත. එය මධ්‍යම පංතිය මත රඳා පවතින වාමාංශිකයන්ට තවත් වාසිදායකය.

සිංහල ජාතිවාදී රාජපක්ෂ පවුල් පාලනයේ විනාශය කුමන තත්වයක් තුළ වුව ප්‍රගතිශීලීය. එයට වඩා ප්‍රතිගාමීත්වයක් පහසුවෙන් නිර්මාණය වන්නේ නැත. පැහැදිලි ස්ථාවරයක් නොමැතිව මේ මොහොතේ රජය කරන සියලු දෙයට විරුද්ධ වන සමගි ජන බලවේගය වුණත් මෙතරම් නරක නොවනු ඇත. එහෙත්, වැඩක් නම් නැත. වාමාංශිකයන් බලය ගැනීම ඊට වඩා හොඳය.

දේශපාලනික වශයෙන් එතරම් වැදගත් නැති වුණත්, රට වසන්නට උපදෙස් දෙන අනෙක් පිරිස නම් වෛද්‍යවරුන් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ය. ඔවුන් වනාහි පවත්නා තත්වයට ඍජුව වගකිව යුතු පිරිසකි. එහෙත්, ඔවුන් එම වගකීම භාරගන්නේ නැත. ඒ වගකීමෙන් ඔවුන්ට ගැලවීමට උපකාර වන තවත් හේතුවක් ද තිබේ. එනම් ජනාධිපතිවරයාගේ කොවිඩ් පාලන කාර්යසාධන බලකායයි. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා නායකත්වය දෙන මෙම කාර්යසාධන බලකාය නොදන්නා මගුල් කරන්නට ගොස් සියල්ල අනාගෙන රට අනාථ කර හමාරය. දැන් සෞඛ්‍ය අංශ වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ කොවිඩ් පාලනය දැන්වත් සෞඛ්‍ය අංශවලට භාර දිය යුතු බවයි.

ආර්ථිකය විනාශ කර දමමින්, දේශපාලන වාසි ගැනීම සඳහා, සමෘද්ධි අරමුදලෙන් පන්දහසින් බැඳි පියලි පුදමින්, ඡන්ද දිනීම සඳහා මුළු රටටම තේරුමක් නැති අගුලුලෑමක් සිදුකළ පළමු අවස්ථාවේ කෙසේ හෝ අත්කරගන්නා ලද සාර්ථකත්වය ස්ථාවර කරගැනීමට සෞඛ්‍ය අංශ අසමත් වූයේ ඇයි?

ධම්මික පැණිය, මුට්ටි පා කිරීම, දුං ඇල්ලීම වැනි විකාර රාජ්‍ය අනුග්‍රහයෙන් ප්‍රවර්ධනය කරමින් ජනතාව අතර කොවිඩ්-19 සම්බන්ධ අධ්‍යාපනය අවුල් කරද්දී සෞඛ්‍ය අංශ කළේ කුමක්ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලද අනුපිළිවෙල අනුව කටයුතු නොකර, වයස අවුරුදු 60ට වැඩි ජනතාවට හා බහුවිධ රෝග ඇති අයට එන්නත ලබා නොදී ඔවුන් මැරෙන්නට ඇරීමේ ප්‍රතිපත්තියක් පාලකයන් විසින් නිර්මාණය කරද්දී සෞඛ්‍ය අංශ නිහඬව සිටියේ ඇයි?

වයස අවුරුදු 60ට වැඩි ජනතාවට නොදුන් එන්නත මහළු පාලකයන් හා ඔවුන්ගේ පවුල්, හිතවතුන් හා ඇම්බැට්ටයන් විසින් හොරකම් කරගනිද්දී සෞඛ්‍ය අංශ කළේ කුමක්ද?

සෞඛ්‍ය නිලධාරීන්ම මහා පරිමාණෙන් එන්නත සොරකම් කළ බව සෞඛ්‍ය අංශ දන්නේ නැද්ද? උඩ දාගෙන තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට ගැසූ ඇස්ට්‍රා සෙනකා එන්නතේ දෙවෙනි මාත්‍රාව මාස ගණනක් පමා වෙද්දී එහි ඵලදායිතාවට කුමක් වීදැයි සෞඛ්‍ය අංශ සොයාබැලුවාද?

කෙසේ වෙතත්, දැන් නැවතත් ඔවුන්ට රට වැසීමට අවශ්‍යය. රට වසනවා නම් සම්පූර්ණයෙන් වැසිය යුතුය. පොලිසියේ සිටින අතළොස්සක් රාළහාමිලාට චෙක් පොයින්ට්වල වේලෙමින් රට වැසීම පවරා අනෙක් සියල්ලන්ම විවිධ සාධාරණ හේතු ඉදිරිපත් කරමින් පාරවල රස්තියාදු ගැසීම සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුය.

රට වසන්නට උපදෙස් දෙන බොහෝ රජයේ සේවකයන්ට තම හැඳුනුම්පත පෙන්වා රාජකාරියට යන බව පවසා ඕනැ ගමනක් යා හැකිය. ගෙදර සිට වැටුප් ගන්නටද පුළුවන් නිසා කාලා බීලා ජොලියේ සිටිය හැකිය. ලොක්ඩවුන් බලාගන්නට ඉන්නේ පොලිසිය පමණි. පොලිසියට කාර්ය මණ්ඩල ප්‍රමාණවත් නැත. චෙක් පොයින්ට්වල ඉන්න අයත් ඉක්මණින් වෙහෙසට පත්වන අතර ඉහළ නිලධාරීන් නොමැති වේලාවට මොනම පරීක්ෂාවක්වත් සිදුවන්නේ නැත.

මෙම ප්‍රශ්නයට විසඳුම නම්, ගම් මට්ටමෙන් චෙක් පොයින්ට් පිහිටුවා ගම්වල රජයේ නිලධාරීන් සේවා මුර ක්‍රමයකට ඒවාට අනුයුක්ත කිරීමයි. එම රාජ්‍ය නිලධාරීන්ට පූර්ණ වැටුප් ගෙවිය යුතු අතර, එය ප්‍රතික්ෂේප කරන අයට දැනට අර්ධ වැටුප් ගෙවිය හැකිය. රට නැවත විවෘත කර ආර්ථිකය යථා තත්වයට පත්වූ පසු ඔවුන්ගේ ඉතිරි අඩ වැටුප ලබාදිය හැකිය. පොලියක් ගෙව්වත් කමක් නැත.

එදිනෙදා රැකියා කරමින් රජයේ සේවකයන්ට ද කන්නට අඳින්නට දෙන මේ රටේ ඇත්තටම වැඩකරන පෞද්ගලික අංශයේ කම්කරුවන්ට හා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට රජය අනිවාර්යයෙන්ම සහන සැලසිය යුතුය. ඔවුන්ගේ ණය වෙනුවෙන් දඩ පොලී අය නොකරන ණය සහන කාලයන් ලබාදිය යුතුය. එසේම, සේවක වැටුප් ආදී අත්‍යවශ්‍ය වියදම් වෙනුවෙන් සහන පොළියට ණය ලබාදිය යුතුය. රජයේ හිමිකරුවන් වන දේශපාලකයන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් අඩුකිරීමෙන් හා අධික ලාභ ලබන ව්‍යවසායකයන්ගෙන් කුමන හෝ ආකාරයකින් කොල්ලකෑමෙන් මෙය කළ හැකිය. කළ යුතුය. එහි ප්‍රතිඵල කුමක් වුවත් කම් නැත. ආර්ථිකයට කෙළවෙන්නට ඇර ජනතාව ජීවත් කළ යුතුය.

දැන් නහයට උඩින් වතුර ගලා හමාර බැවින් තව කොච්චර ගියත් කමක් නැත. මෙය විප්ලවීය යුගයකි.