herd immunity

එන්නත වෙනුවට සමූහ ප්‍රතිශක්තිය

අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකා රජය කොවිඩ්-19 එන්නත මහජනතාවට ලබාදෙන ආකාරය රජය ගැන බලාපොරොත්තු සුන්කරනසුලු තත්වයකි. ඒ වෙනුවෙන් පැහැදිලි ප්‍රතිපත්තියක් නැත. එවැනි ප්‍රතිපත්තියක් තිබේ නම්, රජය එය පැහැදිලිව ප්‍රකාශ කර ද නැත.

කෙසේ වෙතත්, එකක් පැහැදිලිය. බලපුළුවන්කාරයන් තම බලය පාවිච්චි කර එන්නත ගසාගනිති. ජනාධිපති හා අගමැති සෞඛ්‍ය සේවකයන්ටත් කලින් හොරෙන්ම එන්නත ගසාගත් බවට සැක කළ හැකිය. එසේම, සෞඛ්‍ය සේවකයන් එන්නත ලබාගත් සැණින් ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා එන්නත ලබාගත්හ.

රටේ අනාගත නායකයන් වීමට අපේක්ෂා කරන විපක්ෂයේ දේශපාලනඥයන් පවා ප්‍රමුඛතා පෝලිමට පිටින් එන්නත ලබාගත්හ.

කොවිඩ්-19 එන්නත් ලබාදීමේ ක‍්‍රමවේදය සඳහා සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර තිබෙන්නේ මෙසේය (උපුටාගැනීම: කොවිඩ්-19 ගෝලීය කොරෝනා අධිවසංගතය පරදවමු, සමන් රත්නප්‍රිය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය):
පළමු අදියර – ජනතාව ගෙන් 20% ක් සඳහා
පළමු පෙළ සෞඛ්‍ය සේවකයින් – 3% ක්
වැඩිහිටි හා වෙනත් කාලීන රෝග තත්ත්ව වළින් පෙලෙන්නන් – 17%ක්
දෙවන අදියරය – මුල් අවස්ථාවේ ලබා දුන් ජනතාව ගෙන් 20% ට අමතර ජනතාවට

එන්නත් ලබාදීම ස`දහා රටක් ලෙස සිදු කල යුතු පුර්ව සුදානම:
1. ඉතා කෙටි කාලයකදී එන්නත්කරණ වැඩසටහන් සඳහා එන්නත් ලබා දීම සිදුකළ හැකි වනසේ බෙදා හැරීමේ ක‍්‍රමවේද ඇති කිරීම.
2. ප‍්‍රමාණවත් කාර්යය මණ්ඩල පුහුණු කිරීම.
3. ගබඩා පහසුකම් දියුණු කිරීම
4. එන්නත්වල තත්ත්ව සහතික කිරීමේ ක‍්‍රමවේද ඇති කිරීම

ග්‍රාමසේවා නිලධාරි වසම් මට්ටමෙන් නිවැරදි තොරතුරු භාවිතා කර, ප්‍රමුඛතා අනුව එන්නත ලබාදීමේ හැකියාව තවමත් තිබේ. එමගින් අවුල්සහගත තත්වය අවම කළ හැකිය.

කෙසේ වෙතත්, කොවිඩ්-19 එන්නත විසින් ප්‍රදර්ශනය කරනු ලැබුවේ රජයේ අකාර්යක්ෂමතාව පමණක් නොවේ. අපේ සමාජයේ මජර ආත්මාර්ථකාමීත්වය ද මනාව ප්‍රදර්ශනය විය.

රජයේ සෞඛ්‍ය අංශ එන්නත ලබාදීමේදී අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග කෑගල්ලේ ධම්මික නම් පුද්ගලයා පැණි බෙදාදීමේදී අනුගමනය කළ පිළිවෙත තරම්වත් විධිමත් නැත. සෞඛ්‍ය සේවකයන් ලජ්ජා විරහිතව තම ඥාති මිත්‍රාදීන්ට ප්‍රමුඛතාවලින් පිට එන්නත ලබාදුන් ආකාරය නින්දිතය.

මහජන මුදලින් ලබාදෙන මෙම එන්නත ලබාගැනීමට ජනතාවට අයිතියක් තිබේ. එහෙත්, රජයේ ප්‍රතිපත්තියක් නොමැතිකම පාවිච්චි කර ප්‍රමුඛතාවලට පිටින් එන්නත ලබාගත් ජනතාව ද විලිලජ්ජා නැති ආත්මාර්ථකාමීන්ය. ක්‍රමවේදයක්, ප්‍රතිපත්තියක් නැති අරාජිකත්වයක් තුළ එවැනි දේ සිදුවීම සම්බන්ධයෙන් මහජනතාවට බැණවැදීම තේරුමක් නැත.

එහෙත්, වඩා දියුණු යයි අප සිතූ මිනිසුන් ද මේ අරාජිකත්වය තුළ තම බලපුළුවන්කාරකම් භාවිතා කර ප්‍රමුඛතාවන්ට පිටින් එන්නත ලබාගත් ආකාරය හා ඒ ගැන කයිවාරුගසන්නට පෙළඹුණු ආකාරය ගැන කණගාටුවක් ඇතිවේ. සමාජවාදය ජීවන විලාසයකි. මෙවැනි සුළු කාරණා පවා සමාජ වෙනස සම්බන්ධයෙන් වැදගත්ය.

මම මැදිවියේ සිටින, බෝ නොවෙන රෝග නොමැති, නීරෝගී පුද්ගලයෙක්මි. විද්‍යාව විශ්වාස කරමි. එහෙත්, මෙම අවුල් ජාලය තුළ එන්නතට වඩා මගේ ප්‍රතිශක්තිය හා සමාජයේ සමූහ ප්‍රතිශක්තිය විශ්වාස කරමි. ඒ නිසා විධිමත් පිළිවෙලකට මා ජීවත් වන ප්‍රජාවට එන්නත ලබාදෙන බව සෞඛ්‍ය අංශ නිල දැනුම්දීමක් කරන තෙක් එන්නත ලබා නොගනිමි. මගේ බිරිඳ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩලයක සේවයේ නියුතු නිසා මට ද මේ එන්නත ගසාගැනීම සඳහා හොර ක්‍රමයක් සොයාගත හැකිය. එහෙත්, මම එය නොකරමි.

මගේ නිවස අසලම ජීවත් වන වයස අවුරුදු 90 ඉක්මවූ මගේ මව්පියන් ගැන හා මා ඇසුරු කරන සෙසු අය ගැන සිතා සෞඛ්‍ය පිළිවෙත් දැඩිව අනුගමනය කරමි. එහෙත්, හැකි තරම් සාමාන්‍ය ආකාරයෙන් ජීවත්වෙමි.