Hospital in Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ (2019 ඔක්තෝබර් 27 ලංකා පුවත්පතේ පළ විය)

සෞඛ්‍යය ගැන ප්‍රධාන ප්‍රතිපත්තිමය කරුණු දෙකක් කෙරෙහි පසුගිය දිනවල අවධානය යොමු වුණා. ජාතික ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය එකක්. අනෙක, ප්‍රකාශයක් පමණක් වුවත්, එය ක්‍රියාත්මක වැඩපිළිවෙලක ඉදිරි පියවරක් පිළිබඳ කරන ලද ප්‍රකාශයක් ලෙස සැලකිය හැකියි.

Translations by Creative Content Consultants

ජාතික සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ස්ථාපිත කිරිම ආණ්ඩුවේ මීලඟ ඉලක්කය බව අගමැති රනිල් වික්‍රමසිංහ ජාතික සෞඛ්‍ය පර්යේෂණ සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් පැවසුවා. ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජයගත්තත්, ගෝඨාභය රාජපක්ෂ ජයගත්තත් මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමේ හැකියාවක් තිබෙනවා. එසේම, ඕනෑම දෙයකට විරුද්ධ වීම ප්‍රතිපත්තිය කරගත් ව්‍යාපාරවල විරෝධය මතු වීමත් අපේක්ෂා කළ හැකි තත්වයක්.

මොකක්ද මේ ජාතික සෞඛ්‍ය රක්ෂණය? ලංකාවේ අපට මෙය කුමක් ද යන්න තේරුම් ගන්නට අමාරුයි. ජර්මනියේ පදිංචි ශ්‍රී ලාංකිකයකු අපට එය පැහැදිලි කරදුන්නේ මෙසේයි:

ජාතික සෞඛ්‍ය රක්ෂණයක් ක්‍රියාත්මක වන ලෝකයේ බොහෝ දියුණු රටවල වැඩ කරන ජනතාව ලබා ගන්නා වැටුපෙන් යම්කිසි ප්‍රතිශතයක් සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා රක්ෂණ වාරිකය ලෙස කපා ගන්නා අතර ඒ හා සමාන කොටසක් රැකියාව කරන ආයතනය මගින් ද වෙන්මේ කර, මුළු මුදලම රක්ෂණ සමාගමට ගෙවනු ලබනවා. එම පුද්ගලයාගේ සෞඛ්‍ය වියදම් ආවරණය වන්නේ මෙම සෞඛ්‍ය රක්ෂණයෙන්. ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු හෝ රෝහලක් වෙත ගියවිට ශ්‍රී ලංකාවේ මෙන් අත්තනෝමතික මිළ ගණන් අයකරන්නට බැහැ. රක්ෂණ සමාගම් විසින් ඒ ඒ ප්‍රතිකාර සඳහා නියමිත ගෙවීම් සම්මත කර තිබෙනවා. ෆාමසිවලින් මිළ දී ගන්නා ඖෂධ සඳහා ද සම්මත මිළ ගණන් තිබෙනවා. ඒ අනුවයි රක්ෂණ සමාගම් ගෙවීම් කරන්නේ. වැඩි මිළක් අය කරන්නට සිදුවෙනවා නම් වෛද්‍යවරයාට හෝ රෝහලට රක්ෂණ සමාගමෙන් අනුමැතිය ලබා ගන්නට සිදු වෙනවා.

මේ පිළිබඳ මහාචාර්ය සිරි හෙට්ටිගේ ලංකාදීප පුවත්පතට ලියූ ලිපියක අදහස් දක්වන්නේ මෙසේයි: “අද වනවිට පොදු සෞඛ්‍ය සේවාවේ ඇත්තේ විශාල කඩාවැටීමකි. නිදහස් සෞඛ්‍ය සේවය යැයි කීව ද එහි නිදහස්භාවයේ සීමාව එන්න එන්නම පටුවෙමින් තිබේ. කොහේ හෝ වැටී සිටීමට තැනක් ඇත යන අර්ථයෙන් සෞඛ්‍ය සේවය පවතිද්දී ඇති හැකි මිනිසුන් සෑමවිටම සිය සෞඛ්‍ය අවශ්‍යතා සඳහා යොමුවන්නේ පෞද්ගලික රෝහල් වෙතටය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්යවරයකු මීට කදිම යෝජනාවක් වසර කීපයකට පෙර කළේය. ඒ සෑම පවුලකටම නිතර මුණගැසිය හැකි වෛද්‍යවරයකු බිහිකිරීමය. මෙය දියුණු ලෝකයේ ක්‍රියාත්මක වන වැඩපිළිවෙළකි. දියුණු රාජ්‍ය විසින් සහතික කරනු ලැබූ තත්ත්වයකි. පුරවැසියන්ට පා ගමනින් යා හැකි දුරකින් වෛද්‍යවරයකු හෝ වෛද්‍ය මධ්‍යස්ථාන පිහිටුවීම එහිදී සිදුවේ. මේවා ලෝකයේ යථාර්ථයක් කළ වැඩපිළිවෙළය.

“මෙම වැඩපිළිවෙළ යටතේ පුරවැසියකු විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුවන්නේ වෛද්‍ය මධ්‍යස්ථානයේ හෝ සාමාන්‍ය වෛද්‍යවරයාගේ මඟපෙන්වීම හා අනුදැනුම මතය. විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ ආදිය ද වෛද්‍ය මධ්‍යස්ථානයේ පුරවැසියාට අදාළ ගොනුවේ තැන්පත් කර ඇත. එයින් කියැවෙන්නේ පුරවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්ව හා රෝග ඉතිහාසය ගැන කියැවෙන වාර්තාවක් ඔවුන් අසලම ඇති බවය. මෙය ඉතාම පහසුවෙන් දියත් කළ හැකි ව්‍යාපෘතියකි. ඊට රුපියල් කෝටි ගණන් වැය වෙන්නේ ද නැත. ඒ සඳහා පුහුණු කළ වෛද්‍යවරු මේ රටේ ඕනෑ තරම් සිටිති. ඔවුන්ට දිය යුත්තේ මූලික යටිතල පහසුකම් පමණි. අපට මෙය ග්‍රාමසේවක කොට්ඨාස පදනමින් වුව ආරම්භ කළ හැකිය. උදාහරණයකට ග්‍රාමසේවක කොට්ඨාසයේ පවුල් පන්සීයක් වේ නම් ඔවුන් වෙනුවෙන් වෙනම වෛද්‍යවරයෙක් සිටී. ඔහුට අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරාලිය යුතුය. මේ ආකාරයට රට පුරා ව්‍යාප්ත වූ බිම් මට්ටමේ සෞඛ්‍ය සේවයක් ආරම්භ කරන්නේ කෙසේදැයි අප සාකච්ඡාවට ලක් කළ යුතුය. ඊට සෑම පුරවැසියකුටම ජාතික සෞඛ්‍ය රක්ෂණයක් දෙන ක්‍රමයක් සෑදිය හැකිය. දැන් පවතින ක්‍රමය යටතේ මනුෂ්‍යයෙකු රෝගී වූ විට අන්ත අසරණය. ඔවුන් සිටින්නේ අන්තිමේදී ගොස් ඉස්පිරිතාලයට මිය යන අදහසකිනි. එසේම සෞඛ්‍ය වෛද්‍ය සේවා සියල්ල ඒකාබද්ධ කිරීම ද අත්‍යවශ්‍යය. සැබැවින්ම තර්කානුකූල පදනමකින් කෙරෙන සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානයකින් අපට මේ පොදු පෞද්ගලික භේදය පවා වෙනස් කළ හැකිය.” (මූලාශ්‍රය: 2019 පෙබරවාරි 13 ලංකාදීප පුවත්පත)

කැනඩාව සහ ඔස්ටේ‍්‍රලියාව වැනි බටහිර රටවල ව්‍යාප්ත වී ඇති සමාජ සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රමයෙන් (social health insurance) සැමදෙනාටම එක් ක‍්‍රමයක් යටතේ එක් මට්ටමක ආවරණයක් ලබාදෙන බැවින් සෞඛ්‍ය සේවා පාරිභෝගිකයන්හට සැලකියයුතු බාහිර වියදම් නොමැතිව වඩාත් පරිපූර්ණ සහ සාධාරණ සේවා ආවරණයක් ලබා ගත හැකි බවත්, ග‍්‍රී ලංකාවේ පවත්නා නිදහස් සෞඛ්‍ය පද්ධතියට විකල්පයක් වශයෙන් ප‍්‍රතිපත්ති සම්පාදකයන් යෝජනා කරන්නේ බටහිර රටවල්වල පවතින මේ සමාජ සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රමය බවත්, යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප‍්‍රජා හා පවුල් වෛද්‍ය දෙපාර්තමේන්තුවට අනුයුක්ත වෛද්‍ය රම්‍යකුමාර් විසින් සම්පාදනය කරන ලද ලිපියක, දිවයින පුවත්පතේ පළ වූ පරිවර්තනයක දැක්වේ.

ජාතික ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්තියෙහි මෙසේ දැක්වේ: “80 දශකය පමණ වනතෙක් මුළුමනින්ම රජයේ වගකීම මත ක‍්‍රියාත්මක වූ සෞඛ්‍ය සේවාවෙන් රජය ක‍්‍රමයෙන් ඉවත් වී හෝ ප‍්‍රමාණවත් පරිදි මැදිහත් නොවී එම සේවාව වෙළඳපොලට භාරදෙමින් සිටියි. සෞඛ්‍ය ගැටලූ විසඳීම සඳහා ක‍්‍රමවත් සැලස්මක් නොමැති වීම නිසාත් ඒවා විසඳීම සඳහා වන රාජ්‍ය මැදිහත්වීම කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන නිසාත් පැනනැගී ඇති අර්බුදය විවිධ අංශ විසින් සිය ව්‍යාපාරික අරමුණු ඉටුකර ගැනීම සඳහා භාවිතා කර ගනිමින් සිටී අවම අවදානමක් සහිතව පහසුවෙන් අධික ලාභ ලැබිය ක්ෂෙත‍්‍රයක් ලෙස සෞඛ්‍යය ආයෝජකයින් විසින් හඳුනා ගෙන ඇත. බදු ගෙවීම්වලින් පසු තම පසුම්බියෙන් සෞඛ්‍ය සේවාව සඳහා වැය කිරීම (out of the pocket expenses) 50% ඉක්මවා ඇත.”

අප රට තුළ සෞඛ්‍ය සේවාව සඳහාදළ දේශීය නිෂ්පාදිතයෙන් වාර්ෂිකව වෙන්වන ප‍්‍රමාණය සාමාන්‍යයක් ලෙස 3% පමණ වුවද ඒ සඳහා රජයේ දායකත්වය දළ දේශීය නිශ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස අඩු වෙමින් පවතින බව ද, 2007 දී එය 1.68% ක් වූ අතර 2017 දී එය 1.48% ක් වූ බව ද පෙන්වා දෙන ජාතික ජන බලවේගය විසඳුමක් ලෙස යෝජනා කරන්නේ “සෞඛ්‍යය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් 5% ක් ආයෝජනය කිරීම ඉලක්ක කර ගනිමින් ඉදිරි වසර පහ තුළ එය 3% දක්වා වැඩි කිරීම” ය. ඒ වෙනුවෙන් උද්දේශනය ඉතා හොඳ දෙයක් වන අතර ම ජාතික සෞඛ්‍ය රක්ෂණයක හොඳ නරක පිළිබඳව ද සංවාදයක් ඇති විය යුතු ය.

හේතුව වන්නේ පවත්නා තත්වය විසින් පහසුවෙන් විසඳිය නොහැකි ගැටලු රැසක් නිර්මාණය කර තිබීමයි. වෛද්‍ය රම්‍යකුමාර් පෙන්වා දෙන පරිදි, “කොළඹ සෞඛ්‍ය ප‍්‍රතිපත්ති ආයතනය විසින් පළ කර ඇති දත්ත අනුව 2015 දී ග‍්‍රී ලංකාවේ සෞඛ්‍ය වියදම්වලින් 54% ක් පෞද්ගලික මූලාශ‍්‍රවලින් පැමිණ ඇති අතර, එයින් 85% ක්ම රෝගී පාර්ශ්වය විසින් තම පසුම්බියෙන් ගෙවා තිබේ. ඉතිරි 15% අතරින්, සේවායෝජකයන් විසින් 5-8% ක් පමණ දායක වූ අතර රාජ්‍ය නොවන ආයතන විසින් 2-3% අතර ප‍්‍රමාණයක් ආවරණය වී ඇත. ඉතිරි 5% ක ප‍්‍රමාණය සෞඛ්‍ය රක්ෂණයෙන් ආවරණය වී ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය රක්ෂණයෙන් ගෙවනු ලබන කොටස සැලකිය යුතු ලෙස පෙනෙන්නට නොතිබුණද පෞද්ගලික මූල්‍ය සම්පාදනය සඳහා සෞඛ්‍ය රක්ෂණ දායකත්වය 1990 සිට 2015 කාල පරාසය තුළ 1% සිට 5% දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙම 2015 ඇස්තමේන්තුව තවදුරටත් ඉහළ යමින් පවතී.” (මූලාශ්‍රය: 2019 ජනවාරි 13 දිවයින පුවත්පත)

පෞද්ගලික රක්ෂණ සමාගම් විසින් මහජනයා අතර රෝග සම්බන්ධ බිය පතුරුවාහරිමින් සෞඛ්‍ය රක්ෂණය ඔස්සේ අධික ලෙස ලාභ ලබන, මනා නියාමනයකින් තොර, කූට අන්දමින් කටයුතු කරන වෙළඳපොළක් නිර්මාණය කර තිබේ. මෙම සෞඛ්‍ය ආවරණයන් බොහෝ විට වයස්ගත පුද්ගලයන්ට හිමි වන්නේ නැත. එසේම, එමගින් ආවරණය කරනු ලබන රෝග හා ප්‍රතිකාර සඳහා දැඩි සීමාවන් තිබේ. වෙළඳ ප්‍රචාරණයේදී එම කරුණු වසන් කරනු ලැබේ. වෙළඳපොළෙහි තිබෙන සෞඛ්‍ය රක්ෂණයක් ලබාගත්ත ද, සෞඛ්‍ය වියදම් සම්බන්ධ අවදානමට එයින් විසඳුමක් ලැබෙන්නේ නැත.

රජයේ සේවකයන් හා විශ්‍රාමිකයන් සඳහා වන අග්‍රහාර රක්ෂණ ක්‍රමය හා පාසල් සිසුන් සඳහා වන සුරක්ෂා රක්ෂණ ක්‍රමය වැනි රක්ෂණ ක්‍රම සහනදායී වේ. එහෙත්, පාසල් සිසුවකු පළමු වර උසස් පෙළ විභාගය ලියූ සැණින් එම සිසුවාගේ සුරක්ෂා රක්ෂණ ක්‍රමය අවසන් වේ. අග්‍රහාර රක්ෂණයෙන් ආවරණය කරනු ලබන්නේ සමස්ත ජනගහනයෙන් සුළු ප්‍රතිශතයකි.

ජාතික සෞඛ්‍ය රක්ෂණයක් හඳුන්වා දීමේදී සැලකිය යුතු තවත් කාරණයක් වන්නේ රක්ෂණය සඳහා අවශ්‍ය ගෙවීම් කරගත නොහැකි දිළිඳු ජනකොටස්වල ආවරණයයි. ජාතික සෞඛ්‍ය රක්ෂණයකින් කිසිවකු අත නොහැරීම රජයේ වගකීමකි. ඉන්දීය රජය කෝටි 50ක් ජනතාව ආවරණය කරමින් 2018 වසරේ දියත් කළ ආයුෂ්මන් භාරත් රක්ෂණ ක්‍රමයේ අත්දැකීම් මෙහිදී යොදාගත හැකියි. එය ලොව ලොව විශාලතම රාජ්‍ය සෞඛ්‍ය රක්ෂණය ලෙස සැලකේ.

මේ අතර, නිදහස් සෞඛ්‍ය සේවයක් නොමැතිව ජාතික සෞඛ්‍ය රක්ෂණයක් පවා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීමේ දුෂ්කරතාව පෙන්වා දෙමින් වෛද්‍ය රම්‍යකුමාර් ඉහත සඳහන් කරන ලද ලිපියේ පහත දැක්වෙන කරුණ පෙන්වා දෙයි.

“2017 වසරේදී රජය විසින් හඳුන්වාදුන් “සුරක්‍ෂා” වැඩසටහන මගින් අවුරුදු 5 ත් 19 ත් අතර වයස් කාණ්ඩයේ සිසුන් හට රෝහල්ගත කිරීම සඳහා රුපියල් 200,000 ක්ද (රු. 100,000 ක උපරිමයකට යටත්ව, රජයේ රෝහලකට ඇතුළත් කිරීමකදී දිනකට රු. 1000 ක්ද, රජයේ රෝහල මගින් නොලැබෙන ඖෂධ / පරීක්ෂණ සඳහා රු. 10,000 ක්ද ඇතුළත්ව), විශේෂ නිදන්ගත රෝග හා සම්බන්ධ බාහිර රෝගී සේවා සඳහා රු. 10,000 ක් ද සමහර අනතුරු/ආබාධිත තත්ත්වයන් සඳහා සීමිත ප‍්‍රතිලාභ ගොනුවක් ද 2018 ඔක්තෝබර් මාසය දක්වා මෙම සිසුන්ගේ දෙමාපියන් වෙත සපයන ලදී. මෙහිදී, රජය විසින් ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත රක්ෂණ වාරික ගෙවූ අතර ග‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පාසල් ළමුන්ගේ සෞඛ්‍ය වියදම් සඳහා ආවරණය සිසුන් හට ලබා දුනි.

“සුරක්‍ෂා වැනි යෝජනා ක‍්‍රම, නිදහස් සෞඛ්‍ය ක‍්‍රමය නොමැති තැන නිෂ්පල වේ. උදාහරණයක් ලෙස යාපනයේ මා හඳුනන නිවසක සේවයේ යෙදෙන ස්ත‍්‍රියකගෙ දියණිය වන තෙනුජාගේ කතාව ගෙන බලමු. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නට බලාපොරොත්තු වූ ශිෂ්‍යාවක් වන තෙනුජා මසකට වැඩි කාලයක් පුරා අඛණ්ඩ උණෙන් පෙළීම නිසා යාපනය ශික්ෂණ රෝහලට කීප වතාවක් ඇතුළත් වූ අතර, විශේෂඥයන් විසින් තරයේ පරීක්ෂා කර අවසානයේදී නිදන්ගත බෝවන රෝගයක් ඇතිබව හඳුනාගනු ලැබීය. තෙනුජාගේ මව හට තම දුව රෝහලේ රැඳී සිටියදී රෝහලෙන් ලබාගත නොහැකි පරීක්ෂණයකට සහ ඖෂධ සඳහා රු. 2600 ක් ගෙවීමට සිදුවිය. ඇය ඉන් අනතුරුව මෙම වියදම් පියවා ගැනීමට සහ නේවාසික ප‍්‍රවේශ සඳහා දිනකට රු. 1000 ක දීමනාව ලබා ගැනීමට අයැදුම් කරන ලදී. මෙම අවස්ථාවේදී සුරක්‍ෂා ක‍්‍රමය තෙනුජාගේ මවට සහනයක් වුවද, නිදහස් සෞඛ්‍ය ක‍්‍රමය නොතිබුනේනම් ඇය බරපතළ තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇත.”

Leave comment

Your email address will not be published. Required fields are marked with *.