herd immunity

අජිත් පැරකුම් ජයසිංහ – අනිද්දා පුවත්පත – 2021-02-14

මේ මොහොත වන ශ්‍රී ලංකාවේ කෝවිඩ්-19 ඉතා වේගයෙන් පැතිරෙමින් තිබේ. දිනකට හමුවන රෝගීන් ගණන දහසේ සීමාවට ද ඇතැම් දිනවල සිදුවන මරණ සංඛ්‍යාව දහයේ සීමාවට ද ළඟාවෙමින් තිබේ.

Translations by Creative Content Consultants

කොවිඩ්-19 එන්නත හඳුන්වාදීමත් සමග ලෝකය ලෙස සැලකූ කල දෛනිකව හමුවන රෝගීන් සංඛ්‍යාව හා දෛනික මරණ සංඛ්‍යාව අඩුවෙමින් තිබේ.

ගෝලීයව කෝවිඩ්-19 ප්‍රස්ථාරයේ වක්‍රය පහළට හැරෙමින් තිබේ. එහෙත්, ශ්‍රී ලංකාවේ තත්වය එසේ නැත. ශ්‍රී ලංකාව මෙම ප්‍රස්ථාරයේ වක්‍රය පැතලිව තබාගන්නට සමත් වූ නමුත් මේ වනවිට එය ඉහළට හැරී තිබේ.

එහෙත්, සමාජය ලෙස අප මේ වන විට තවදුරටත් කෝවිඩ්-19 සම්බන්ධයෙන් සැලකිලිමත් වන බවක් නොපෙනේ. කෝවිඩ්-19 පැතිරෙමින් තිබුණු මුල් සමයේදී සෞඛ්‍ය අංශවල අතිධාවනකාරී උපදෙස් මත සාධාරණ හේතු නොමැතිව රටම අවහිර කළ රජය මේ වනවිට කෝවිඩ්-19 හමුවේ අනුගමනය කරමින් සිටින්නේ අලස ප්‍රතිපත්තියකි. එදා ගන්නා ලද පියවර රජය සාධාරණීකරණය කරමින් රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ එම පියවර ගත්තේ එම අවධියේදී වසංගතය ගැන දැනුවත්ව නොසිටි නිසා බවයි. දැන් අප වසංගතය ගැන බොහෝ දුරට දැනුවත්ය. එම නිසාම අප එය ගණන් ගන්නේ ද නැති තත්වයක් පැනනැගී තිබේ.

2020 සැප්තැම්බර් 14දා මව්බිම පුවත්පතට ප්‍රකාශයක් කරමින් අනුරාධපුර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලධාරි හේමා වීරකෝන් පැවසුවේ 2019 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝහල්වල සිදුවූ මරණවලින් වැඩිම මරණ සංඛ්‍යාවට හේතුව නිව්මෝනියාව බවයි. ඇය විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන අනුව 2019 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝහල්වල 409දෙනෙකු නිව්මෝනියාව නිසා මියගොස් තිබේ. 2018 වසරේදී ඒ අන්දමින් නිව්මෝනියාවෙන් මියගිය සංඛ්‍යාව 322කි. එය එම වසරේ දෙවන ස්ථානයේ තිබිණි. එම වසරේ 380දෙනෙකු මියගියේ රුධිරයට විෂබීජ ආසාදනය වීමෙනි. අනුරාධපුර දිස්ත්‍රික්කය නිදන්ගත වකුගඩු රෝගය සම්බන්ධයෙන් ප්‍රසිද්ධය. එහෙත්, එයින් සිදුවන මරණ නිව්මෝනියාවෙන් සිදුවන මරණ සංඛ්‍යාවට වඩා අඩුය. වයිරස හා බැක්ටීරියා සමග මිනිසා කරන අරගලය අලුත් එකක් නොවේ. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා වයිරස පවා මාරාන්තික විය හැකිය. කෝවිඩ්-19 වැනි වසංගත තත්වයක් තුළ ශ්‍රී ලංකාවේ ජනයා අද වනවිට හැසිරෙන සැහැල්ලු ස්වභාවය ඇත්තටම ගැටලුවකි. එම තත්වය හමුවේ ශ්‍රී ලංකාවේ රජයේ හැසිරීම ද අසාමාන්‍ය අන්දමින් ලිහිල්ය.

මෙම පසුබිම තුළ නැවතත් සමූහ ප්‍රතිශක්තිය ගැන කතාකරන්නට ද පුළුවන. කෝවිඩ්-19 වසංගතයේ මුල් අවධියේ බ්‍රිතාන්‍යය මූලික කරගෙන සමූහ ප්‍රතිශක්තිය ගැන යම් සාකච්ඡාවක් මතු වූ අතර ලොව පුරාම වෛද්‍යවරුන් මෙන්ම සමාජ විද්‍යාඥයන් වෙතින් ද එයට විරෝධය මතුවිය. ඒ සමගම රාජ්‍ය ප්‍රතිපත්ති තුළ සමූහ ප්‍රතිශක්තිය සාකච්ඡාවට ගැනුණේම නැත.

සමූහ ප්‍රතිශක්තියට ජනගහන ප්‍රතිශක්තිය කියාද කියනු ලැබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ථාවරය අනුව, සමූහ ප්‍රතිශක්තිය යනු ආසාදන රෝගයක් සම්බන්ධයෙන් වක්‍ර ලෙස නිර්මාණය වන ප්‍රතිශක්තියයි. එය සිදුවන්නේ එන්නත් හෝ පූර්ව ආසාදන හේතුවෙන් හෝ සිදුවන ප්‍රතිශක්තියේ වැඩිවීම  සමගයි. එන්නත්කරණය ඔස්සේ ‘සමූහ ප්‍රතිශක්තිය’ලබාගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහයෝගය ලබාදෙයි. එහෙත්, කිසියම් ජනගහන කොටසක් තුළ රෝගය පැතිරීමට සැලැස්වීමෙන් ‘සමූහ ප්‍රතිශක්තිය’ නිර්මාණය කිරීමට සහයෝගය දෙන්නේ නැත. එමගින් අනවශ්‍ය අන්දමින් රෝග ව්‍යාප්තිය හා මරණ සිදුවේ.  

සමූහ ප්‍රතිශක්තිය නිර්මාණය කිරීම සඳහා ප්‍රතිශක්තිය ලබාදීමට අවශ්‍ය යයි සලකන ප්‍රතිශතය රෝගයෙන් රෝගයට වෙනස් වෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. උදාහරණයක් ලෙස, සරම්ප සඳහා සමූහ ප්‍රතිශක්තිය වෙනුවෙන් ජනගහනයෙන් 95%ක් පමණ එන්නත් කළ යුතුය. ඉතිරි 5% ආරක්ෂා වන්නේ එන්නත් කරන ලද අය අතර රෝගය පැතිරෙන්නේ නැති හෙයිනි. පෝලියෝ රෝගය සඳහා එන්නත ලබාදිය යුතු ප්‍රතිශතය 80%කි.

සමූහ ප්‍රතිශක්තිය ඇතිකිරීම සඳහා කෝවිඩ්-19ට එරෙහිව එන්නත ලබාදිය යුතු ජනගහන ප්‍රතිශතය අප තවම දන්නේ නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. මෙය පර්යේෂණ කළ යුතු වැදගත් ක්ෂේත්‍රයකි. එසේම,  එන්නත් වර්ගය, එන්නත්කරණය සඳහා ප්‍රමුඛතාව ලබාදී තිබෙන ජනගහනය හා වෙනත් සාධක මත එය ප්‍රජාවෙන් ප්‍රජාවට වෙනස් වන්නට පුළුවන් බව ද එම සංවිධානය පවසයි.   

අප තවමත් ඉන්නේ කෝවිඩ්-19 පිළිබඳ ඉගෙනගනිමින්ය. කෝවිඩ්-19 ආසාදනය වූ බොහෝ අය තුළ පළමු සති කීපය තුළ ප්‍රතිශක්ති ප්‍රතිචාර  හඳුනාගත හැකිය. එහෙත්, එය විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් වෙනස් වන ආකාරය පිළිබඳ පවා අප තවමත් හරිහැටි දන්නේ නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කෝවිඩ්-19 දෙවන වරට ආසාදිත වූ පුද්ගලයන් පිළිබඳව ද වාර්තා තිබේ. අනාගතය පිළිබඳ අනාවැකි කීම කෙසේ වෙතත්, කෝවිඩ්-19 රෝගය හා එය සම්බන්ධ ප්‍රතිශක්තිය පිළිබඳ අප වඩා හොඳින් අවබෝධ කරගන්නා තුරු ජනගහනයෙන් කෙතරම් ප්‍රතිශතයකට ප්‍රතිශක්තිය ගොඩනැගිය යුතුද,  එම ප්‍රතිශක්තිය කෙතරම් කලක් පවතීද යන්න පවා දැනගත හැකි ආකාරයක් නැති බව එම සංවිධානය පෙන්වා දෙයි.

එම නිසා ජනගහනයක් ආසාදනය වීමට ඉඩදීමෙන් ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ සැලසුම්  අප බැහැර කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ රජය මෙන්ම සමාජයේ අප සියලු දෙනා ද වර්තමානයේදී කටයුතු කරන ආකාරය මේ අනුව බැලූ කල ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිවලට අනුකූල නොවේ. රටේ ජනගහනයට එන්නත ලබාදීම තවමත් ආරම්භ කරවත් නැත. එහෙත් රජය පාසල් ද ඇතුළු සියලු අවකාශයන් විවෘත කරමින් සිටින්නේ රෝගය පැතිරීම වේගවත් වෙමින් තිබියදීය. මේ අතර කරනු ලබන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව ද අඩුවෙමින් තිබේ. කෝවිඩ්-19 සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රසිද්ධ තත්ව විශ්ලේෂණ දත්ත  පුවරුවෙහි පසුගිය මාසයක පමණ කාලය තුළ කරන ලද පීසීආර් පරීක්ෂණ පිළිබඳ විස්තර ද අඩංගු වන්නේ නැත.

ශ්‍රී ලංකාවේ රජයේ වගකීම් විරහිතභාවය හා සමාජය එයට අනුගත වීම, ප්‍රශ්න නොකිරීම හා චර්යාවන් වෙනස් කර නොගැනීම බරපතල ගැටලු සහගත තත්වයකි.   

Translations

Leave comment

Your email address will not be published. Required fields are marked with *.