decontamination chamber

ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය

ආයතනවලට ඇතුළු වන ස්ථානවල විෂබීජහරණ කුටියක් තනා ආයතනයට ඇතුළු වන සියලු පුද්ගලයන් එම කුටිය හරහා යාම අනිවාර්ය කිරීම දැන් බොහෝ ආයතන විසින් අනුගමනය කරනු ලැබේ. ඒ පිළිබඳ කරුණු දක්වන ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය විසින් පහත දැක්වෙන කරුණු පෙන්වා දෙයි.

Translations

මෙම කුටි තුළදී පුද්ගලයන් මතට විදිනු ලබන විෂබීජ නාශක අතර ඇල්කොහොල්, ක්ලෝරීන් සංයෝග, ඕසෝන් බවට පත් කරන ලද ජලය හා සබන් වතුර තිබේ. ඇතැම් විට, පාරජම්බුලකිරණ ද භාවිතා කරනු ලැබේ.

ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය විසින් ඒ සම්බන්ධ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වෙත අවධානය යොමු කරවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිදු තත්වයක් යටතේ පුද්ගලයන් හෝ කණ්ඩායම් මත විෂබීජ නාශක ඉසීම කිසි සේත්ම නිර්දේශ කරන්නේ නැත. එය ශාරීරිකව හා මානසිකව හානිකර වන අතර එමගින් කොවිඩ්-19 පැතිරීම වැළැක්වෙන්නේ ද නැත. කොවිඩ්-19 ආසාදිත පුද්ගලයකු මත පවා විෂබීජ නාශක විසුරුවා හළ පමණින් එම පුද්ගලයාගේ ශරීරය තුළ ඇති වයිරස විනාශ වන්නේ නැත. මෙම භාවිතාවෙන් පුද්ගලයාගේ සෞඛ්‍ය තත්වයට ද හානි සිදු විය හැකි ය.

ඇල්කොහොල්, ඕසෝන් ආදිය මගින් විෂබීජහරණය වීමට නම්, ඒවා විෂබීජ මත ක්‍රියාත්මක විය යුතු ප්‍රමාණයක් හා කාලයක් තිබේ. විෂබීජහරණ කුටි මගින් එම තත්වයන් සම්පාදනය කරන්නේ නැත.

එපමණක් නොව, මෙමගින් වටිනා විෂබීජ නාශක ද්‍රව්‍ය වන ඇල්කොහොල් ආදිය අපතේ යයි. එසේම, අධික ගිනිගැනීම් අවදානමක් ද ඇති කරයි.

කොවිඩ්-19 ප්‍රධාන වශයෙන් බෝවන්නේ අත්වලින් මුහුණ, කට, නාසය හා ඇස් ස්පර්ශ කිරීමෙනි. එහිදී කළ යුතුව තිබෙන්නේ දෑත් හොඳින් විෂබීජහරණය කරගැනීමයි. එහෙත්, මෙම විෂබීජහරණ කුටිවලින් දෑත් නිසි පරිදි පිරිසිදු වන්නේ ද නැත.

මෙම විෂබීජහරණ කුටිවල භාවිතා කරනු ලබන රසායනික හේතුවෙන් අසාත්මිකතා හා ශ්වසන සංකුලතා ඇති වීමේ අවදානමක් ද ඇති බව ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය වැඩිදුරටත් පෙන්වා දෙයි. අධික ලෙස පාරජම්බුල කිරණවලට නිරාවරණය වීමෙන් චර්ම පිළිකා ඇති වීමේ අවදානම පවා වැඩි වේ. ඕසෝන් හා පාරජම්බුල කිරණ භාවිතය සම්බන්ධයෙන් ඇති අනුමැතිය ද ගැටලුවකි.

විෂබීජ නාශක යොදා පිරිසිදු කිරීම කළ යුතුව ඇත්තේ වයිරසය රැඳී පැවතිය හැකි, නිරතුරු ස්පර්ශ කරන දොර අගුල්, රේලිං පොලු, කවුන්ටර මේස වැනි මතුපිට බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය පවසන්නේ පරිසරයට මහා පරිමාණෙන් විෂබීජ නාශක මුදාහැරීම මගින් පරිසර දූෂණයක් හා නාස්තියක් සිදු වන බවයි. ඒවා මිනිසුන්ට හා සතුන්ට ද හානිකර විය හැකි ය.

විෂබීජහරණ කුටි වැනි ඒවා හේතුවෙන් ආරක්ෂිතබව පිළිබඳ ව්‍යාජ විශ්වාසයක් ඇති වී අත්‍යවශ්‍ය ආරක්ෂක විධිවිධාන නොතකා හැරීමට මහජනයා පෙළඹීමේ අවදානම ද ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය පෙන්වා දෙයි.

එහෙයින්, දෑත් සේදීම හෝ විෂබීජ නාශක යොදා දෑත් පිරිසිදු කිරීම සඳහා පහසුකම් සැපයීම, නිරතුරුව ස්පර්ශ කරන මතුපිට විෂබීජ නාශක යොදා පිරිසිදු කිරීම, කැස්ස හා කිවිසුම් සම්බන්ධයෙන් ආචාරධර්ම අනුගමනය කිරීම හා සමාජ පරතරය පවත්වාගෙන යාම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය පෙන්වා දෙයි.

මුල් ලිපිය මෙතැනින්

2 thoughts on “විෂබීජහරණ කුටිවලින් හා ඉසින විෂබීජ නාශකවලින් පරිස්සම් වෙන්න

  1. අජිත් මේ කියන දේ ඇත්ත වෙන්නේ විෂබීජහරණ ක්‍රමවේදයන් තේරුමක් නැහැයි කියලා වෛද්‍ය අනිල් ජාසිංහත් කිව්වට පස්සෙයි. මම දන්න තරමින් ‘රතු තරුව’ ඔය විෂබීජහරණ කළේ ආවට ගියාට නෙමෙයි. ඒ සඳහා අදාළ නිල රාජ්‍ය ආයතනවල ඉල්ලීම පරිදි. බොහෝ ආයතන රජයේ සෞඛ්‍ය ආයතන . ඒ කියන්නේ අතේ ඇගිලි වලින් ගැණිය හැකි දින ගාණකට පෙර වෙනකම් ඒ බලධාරීනුත් මේ වැඩේ විද්‍යත්මක වැරැද්ද හෝ නිශ්ප්‍රයෝජනය දැකලා දැනගෙන හිටියේ නැහැ. මට තේරෙන විදිහට ලෝකයේම තත්වය එහෙමයි.
    ඒ නිසයි අගුළු අරින අද දවසේ රාජ්‍ය ආයතනත් පොදු මගී සේවාත් ඒ දේම කළේ.
    ‘රතු තරුව’ හිතුමතේ පිටේ ටැංකි බැදගෙන හිතෙන හිතෙන තැන් වලට පැනලා බෙහෙත් විද්දේ නැහැ. අදාල ආයතනවල ඉල්ලීම සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලිඛිතව නිල වශයෙන් ලැබුණම ඒ සේවය දුන්නා.
    හැබැයි මේ “විෂබීජහරණය” ගැන දැන් නිගමනය ලෝක මට්ටමින්ම වෙනස් නිසා ‘රතු තරුව’ දැන්නම් කවුරු ඉල්ලුවත් ඒ වැඩේ කරන්න කලින් නොකරන්න හිතහදා ගන්න එක හොද‍‍‍‍‍‍යි.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.