කොවිඩ්-19 සම්බන්ධයෙන් රජයේ නිල තොරතුරු වංචනික ද?

ජුලි 22 දින ප.ව. 11.45 වන විට එම දිනය ඇතුළත කොවිඩ්-19 රෝගීන් 22ක් ශ්‍රී ලංකාවේ අලුතින් හඳුනාගෙන තිබෙන බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබිණි. මෙ වාර්තාව මෙතැනින්.

මෙම වාර්තාවේ සත්‍ය අසත්‍යභාවය පරීක්ෂා කරගැනීම සඳහා මම නිල මූලාශ්‍ර සොයා ගියෙමි. පහත දැක්වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ කොවිඩ්-19 ඩෑෂ්බෝඩ් එකේ 2020-07-23 පෙ.ව. 10ට ලබාගත් තිර රූපයකි.

පහත දැක්වෙන්නේ එම වේලාවේ ම ලබාගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අදාළ වෙබ් පිටුවේ තිර රූපයකි. එහි තිබෙන නවතම වාර්තාව ජුලි 22දා පෙ.ව. 10 වන අතර ඊට පෙර පැය 24 තුළදී කිසිදු රෝගියකු වාර්තා වී නැත.

පහත දැක්වෙන්නේ එම වේලාවේ ම ලබාගත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාව සම්බන්ධ විස්තර ඇතුළත් පිටුවේ තිර රූපයකි. එය අවසන් වරට යාවත්කාලීන කර තිබෙන්නේ ජුලි 22 ප.ව. 6.48ට ය.

ඊයේ හමු වූ ආසාදිතයන්ගෙන් 14 දෙනෙකු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි අය වෙයි. එමෙන්ම තවත් 07 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති අතර අනෙක් පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරන බව දිනමිණ පුවත්පතේ වෙබ් අඩවියේ දැක්වේ. එම වාර්තාව මෙතැනින්

රාත්‍රී රූපවාහිනී සහ රේඩියෝ ප්‍රවෘත්ති විකාශයන්හි ද දැක්වෙන්නේ ඊයේ දවස ඇතුළත කිසිදු රෝගියකු සොයා නොගත් බවයි. එහෙත්, මධ්‍යම රාත්‍රියට ආසන්නයේදී ලංකාදීප පුවත්පත හිටිහැටියේ එදින දවස ඇතුළත රෝගීන් 22ක් සොයාගෙන ඇති බව වාර්තා කළේ ය. මේ එම රෝගීන් පිළිබඳ පීසීආර් වාර්තා ලැබෙන වේලාව විය හැකි ය. එහෙත්, කලින් දවසේ රාත්‍රී වන විට බිංදුව ලෙස තිබෙන සංඛ්‍යාලේඛනයක් පසුදා උදේ වන විට 22 බවට පත් වී තිබීම එතරම් හොඳ තත්වයක් නොවේ. මිනිසුන් නිල සංඛ්‍යාලේඛන විශ්වාස නොකිරීමටත්, කටකතා පැතිරීමටත් ඉවහල් වන්නේ මෙවැනි තත්වයන් ය. එපමණක් නොව, නිල යාවත්කාලීන කිරීම් සිදු වීමේ ප්‍රමාදය ද බරපතල ගැටලුවකි.

මේ වන විට කොවිඩ්-19 සමාජ ව්‍යාප්තියක් සිදු වී තිබිය හැකි බවට අනුමාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා අංශය විසින් ම පළ කර තිබේ. ඒ අනුව, හෙම්බිරිස්සාව, උණ, කැස්ස වැනි රෝග ලක්ෂණ ඇති අය ස්වයංව නිරෝධායනය වන ලෙස හා රෝග ලක්ෂණ දින දෙකකට වඩා පවතී නම්, කොවිඩ්-19 සඳහා පරීක්ෂා කරගත යුතු ද යන්න පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ද උපදෙස් දී තිබේ.

එවැනි පසුබිමක් තුළ කොවිඩ්-19 සම්බන්ධ නිල තොරතුරු පිළිබඳ සෞඛ්‍ය අංශ හා රජය දැඩි ලෙස සැලකිලිමත් වීම ඉතා වැදගත් ය.