Matugama town

අජිත් පැරකුම් ජයසිංහ

මතුගම සහ කොළඹ අතර ධාවනය වන වායුසමනය කළ බසයක කාර්ය මණ්ඩලයේ දෙදෙනාට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ඊයේ රාත්‍රියේ තොරතුරක් ලැබිණි. ඉන් එක් අයෙකු අප මිතුරකු බව පසුව දැනගතිමි.

ඔහු පීසීආර් පරීක්ෂණය කරගෙන ඇත්තේ ජාතික රෝහලේ කොවිඩ්-19 වැළඳුණු පැලවත්තේ හෙද නිලධාරිවරියක මෙම බසයේ නිතිපතා යන එන නිසා ඇති වූ සැකය නිසාය.

මෙම බස්රියේ තවත් සැලකිය යුතු පිරිසක් ගමන් කරන්නට ඇති බව අපගේ මිතුරා පැවසීය. මෙම බසයේ ආශ්‍රිතයන් ගණන ඉතා විශාල මෙන්ම සොයාගැනීම දුෂ්කර ද විය හැකිය.

මෙම ලිපිය ලියන්නට මොහොතකට පෙර, සවස 4ට පමණ මම එම මිතුරාට දුරකථනයෙන් කතා කළෙමි. සුළු රෝග ලක්ෂණ සහිත අප මිතුරා පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමෙන් පැය 20කට පමණ පසුව පවා තවමත් සිටින්නේ ඔහුගේ නිවසේය. දැනට ක්‍රියාත්මක වැඩසටහන්වල කාර්යක්ෂමතාවෙහි ගැටලු තිබේ.

පීසීආර් පරීක්ෂණ කරන කාලය හා ප්‍රතිඵල ලැබෙන කාලයත්, ඉන් අනතුරුව ක්‍රියාමාර්ග ගැනීමට ගතවන කාලයත් අතර පුළුල් පරතරයක් තිබේ. පීසීආර් පරීක්ෂණවලින් පසු ඒවාට මුහුණ දුන් පුද්ගලයන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ඔවුන්ට උපදෙස් දීමෙහි ගැටලු ඇති බව පෙනේ.

තමන් දුරකථන ඇමතුම් ගණනාවක් ලබාගෙන තම පීසීආර් ප්‍රතිඵලය දැනගැනීමට උත්සාහ කළ බව අප මිතුරා පැවසීය. එහෙත් වෙනත් මාර්ගයකින් සැල වනතෙක් ඒ බව ඔහුට දැනුම් දී නොතිබිණි. ඇත්තම කීවොත් ඔහුට පෙර මෙම සටහන ලියන මා ද ඒ පිළිබඳ දැනගත්තෙමි.

කොවිඩ්-19 සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්ති වෙනස් කිරීමට බලධාරීන් හට දැන් කාලය පැමිණ ඇති බව පුරවැසියකු ලෙස මගේ අදහසයි.

ප්‍රජා ව්‍යාප්තියක් සිදු වී නැතැයි අනුමාන කරන්නට හේතු තිබේදැයි අප දන්නේ නැත.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කරගන්නට ප්‍රමුඛතාව ලබාදිය යුතුය. ජාතික රෝහලේ සේවය කරන හෙද නිලධාරිවරියක් බස්රියෙන් දිනපතා කිලෝමීටර් 100ක් පමණ ගමන් කරන තත්වයක් මෙම සිද්ධියේදී දැකිය හැකිය. අවදානමට වැඩිපුර මුහුණ දෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක් නැත. සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් යෝජනා කරන, සකස් කරගන්නා සැලසුම්වලට පවා සෞඛ්‍ය බලධාරීහු අකුල් හෙළති. නිදසුනක් ලෙස, කොවිඩ්-19න් පසු නාගොඩ රෝහලේ හෙද කාර්ය මණ්ඩල විසින් ගමනාගමනය සඳහා සංවිධානය කරගෙන තිබෙන වෑන් රථ රෝහල් පරිශ්‍රයට පිවිසීම වළක්වාගැනීම මේ වන විට නාගොඩ රෝහලේ බලධාරීන්ට ප්‍රමුඛ කාර්යයක් වී ඇති බව අපට දැනගැනීමට ලැබිණි.

දැනටමත් අයිඩීඑච් රෝහලේ ධාරිතාව ඉක්මවා ඇති බව වාර්තා වේ. රෝග ලක්ෂණ හෝ නැති පුද්ගලයන් පවා රෝහල්ගත කිරීම තව කෙතරම් කලක් කරගෙන යා හැකිද යන්න විමසා බැලිය යුතුය. අපගේ කොවිඩ්-19 වැළඳුණු මිතුරා දැන් පැය 20කට වැඩි කාලයක් සිටින්නේ තම නිවසේය. නිවසේ සිටියදීම රෝගීන් බලාගැනීම වෙනත් රටවල සාමාන්‍ය තත්වයකි.

එසේම, ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීම වෙනුවට විධිමත්ව ස්වයං නිරෝධායනය සඳහා උපදෙස් ලබා දී අධීක්ෂණය කළ හැකිය.

රෝගය නිසා වැඩි අවදානමකට ලක්විය හැකි පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් රෝහල්ගත කරන අතර, අනෙක් අය දුර සිට අධීක්ෂණය කිරීම කළ හැකිය.

කොවිඩ්-19 අභියෝගයට ලංකාව සැබැවින් මුහුණ දෙමින් සිටින්නේ දැන්ය. ඒ සමග ජීවත් වීම සඳහා මිනිසුන් දැනුවත් කළ යුතුය. මෙම අභියෝගයට මුහුණ දිය හැක්කේ ජනතාවගේ වගකීම් සහගතබව ඉහළ නැංවීමෙනි. ලොක්ඩවුන් වැනි ක්‍රියාමාර්ග ගත යුත්තේ දැඩි වගකීමකින් යුතුවය.

අප මෙම අදහස් පළකරන්නේ පුරවැසියන් ලෙස පමණි. විශේෂඥයන් මේ පිළිබඳ යම් පියවර ගත යුතුය.

1 thought on “කොවිඩ්-19 වැළඳුණු මතුගම මිතුරකුගේ කතාව ඇසුරින් අපේ අනාගතය

Leave comment

Your email address will not be published. Required fields are marked with *.