saprophytic fungi

කළු දිලීර රෝගය හෙවත් මියුකොමයිකොසිස් ගැන විද්‍යාත්මක කරුණු

ඊශා කප්පරගේ

ඉන්දියාවේ පැතිර යමින් තිබෙන කළු දිලීර රෝගය ශ්‍රී ලංකාවේ ද පැතිර යන්නේ ද යන බියක් නිර්මාණය වී තිබේ. කළු දිලීර රෝගය විද්‍යාත්මකව හැඳින්වෙන්නේ මියුකොමයිකොසිස් (mucormycosis) ලෙසයි. එය මින් පෙර ද ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. මෙම පර්යේෂණ පත්‍රිකාව එවැනි රෝගියකු පිළිබඳ පළ කරන ලද එකකි. කියවන්න: Rhinocerebral mucormycosis : a case report

එම වාර්තාවේ දැක්වෙන ආකාරයට මියුකොමයිකොසිස් යනු දිලීර ආසාදන සමූහයකි. දිලීරවලට අප සාමාන්‍යයෙන් කියන්නේ පුස් කියාය. කළු දිලීර රෝගය මගින් මිනිසුන්ට ජීවිත තර්ජන පවා ඇති වේ. එය ඇති වන්නේ පරිසරයේ ඉතා සුලබව හමුවන දිලීර විශේෂ මගිනි. ආශ්වාසය මගින් ඒවා ශ්වසන මාර්ගයට ඇතුළු වී කෝටර හෝ පෙනහලු ආසාදනය කළ හැකිය. දිලීරවලින් බේරී සිටීම ඉතා දුෂ්කර කාර්යයකි. ප්‍රතිශක්තිය පිළිබඳ ගැටලු සහිත කොවිඩ්-19 රෝගීන් එන්-95 මුඛ ආවරණයක් නිවැරදිව පැළඳීමෙන් හා පස්, ඉදිකිරීම් ස්ථාන ආදිය මගහැර සිටීමෙන් යම්දුරකට මෙය මගහරවාගත හැකි බව සඳහන් වේ. කෙසේ වෙතත්, මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ වන්නේ නැත.

කොවිඩ්-19ට පෙර දියවැඩියා, ශරීර අම්ල අසමතුලිතතා, ගැඹුරු තුවාල, අන්ත:ශිරා ඖෂධ භාවිතය, ඉන්ද්‍රිය බද්ධය, පිළිකා හා එච්අයිවී වැනි ප්‍රතිශක්තියට බලපාන රෝග තත්වයන් හේතුවෙන් මෙම මියුකොමයිකොසිස් අවදානම ඇති වී තිබේ. කොවිඩ්-19 නිසා මියුකොමයිකොසිස් වැළඳෙන්නේ ද රෝගයට ප්‍රතිකාර කිරීමේදී පෙනහලුවල ආසාදන අවම කිරීම සඳහා ඖෂධ ලෙස ලබාදෙන ස්ටෙරොයිඩ හේතුවෙන් ප්‍රතිශක්තිය හීන වීම නිසායි.

මේ අතරින් සුලබ වන්නේ රයිනොසෙරිබ්‍රල් මියුකොමයිකොසිස්ය. එය කලාතුරකින් නාසය, නාසයට ගලන සොටු නිෂ්පාදනය වන කෝටර, මුඛ කුහරය හා මොළය ආශ්‍රිතව ඇතිවිය හැකි ආසාදනයකි. එමගින් මරණය පවා ඇතිවිය හැකිය. රෝගය සුවකිරීම සඳහා කල් තබා හඳුනාගැනීම ඉතා වැදගත්ය. එය හඳුනාගත හැක්කේ නිසි වෛද්‍ය පරීක්ෂණ මගින් පමණයි. ඇතැම්විට රෝගියාගේ ජීවිතය බේරාගැනීම සඳහා ශල්‍යකර්ම මගින් ඇස් ඉවත්කිරීම පවා සිදුකර තිබේ. එම නිසා වළක්වාගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය. කොවිඩ් රෝගීන් මනාව නිරීක්ෂණය කිරීම එහිදී ඉතා වැදගත් වෙනවා. එහෙත්, ආසාදනයට තිබෙන බිය නිසා රෝගීන් පරීක්ෂා කිරීමේ අඩුපාඩු තිබේ.

සැප්‍රොෆිටික් දිලීර (Saprophytic fungi) නමින් හැඳින්වෙන දිලීර විශේෂ මියුකොමියිකොසිස් ඇතිකරන ප්‍රධාන සාධක වේ. මේවා හැම තැනම තිබෙන ප්‍රයොජනවත් දිලීර විශේෂයකි. මැරුණු සත්ව හා ශාක කොඩස් ජීර්ණය කර පස් බවට පත්කිරීමට මේවා උපකාර වේ.

Creative Content Consultants

ආශ්‍රිත තවත් ලිපියක් මෙතැනින්