President Gotabaya at RMV

රජය රස්සා ලක්ෂ දෙකක් දී රට දියුණු කරන්නට යන්නේ මෙහෙමයි

සහනාධාර මත පදනම් වූ දිළිඳුකම පිටුදැකීමේ ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක කිරීම වෙනුවට මහා පරිමාණව හා ඵලදායීව රැකියා අවස්ථා බිහි කිරීම පිළිබඳව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් වසර 2020 හා ඉදිරිය පිළිබඳ මුදල් හා මුල්‍ය අංශ ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් පසුගිය ජනවාරි 6දා කතා කළේ ය.

Translations by Creative Content Consultants

මෙය රජයේ පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියකි. ඒ අනුව, ජනවාරි මාසයේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් පුද්ගලයන් ලක්ෂයකට රජයේ කම්කරු රැකියා ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසී ය. ජනවාරි මාසයෙන් අඩක් ගෙවී හමාර වී තිබෙන මුත්, ඒ සම්බන්ධයෙන් විවෘත අයදුම්පත් කැඳවීමක් නම් තවමත් සිදු වූයේ නැත.

රජයේ සුළු රැකියා සඳහා බඳවාගැනීම් හැමදාමත් සිදු වූයේ දේශපාලනය ඔස්සේ ය. අධ්‍යාපන, සෞඛ්‍ය වැනි අමාත්‍යාංශවලට පත් වන ඇමතිවරුන් හැමදාමත් මහා පරිමාණෙන් රජයේ රැකියා ලබා දුන් හ. ඒවා සංඛ්‍යාත්මකව එකතු කර බැලීමක් මෙතෙක් සිදු නොවූ අතර මේ කරන්නට යන්නේ එය මිස අලුත් දෙයක් නොවේ. මෙම රැකියා හරහා උසස් පෙළ සමත් අය පවා රජයේ රැකියාවලට පිවිසි අතර පසුව අභ්‍යන්තර ලිපිකරු, හෙද වැනි විභාග ඔස්සේ ඉහළ තනතුරුවලට පත් වූ හ. දේශපාලනය හරහා එන මෙම පිරිස් තමන්ට අදාළ රැකියා කටයුතු හරි හැටි නොකරති. උදාහරණයක් ලෙස පාසල් දුසිම් ගණන් සේවය කරන පාසල්වල පවා පිරිසිදු කිරීම් ආදියට වෙනම ගෙවීම් කිරීමටත්, මව්පියන්ගේ හා සිසුන්ගේ කාලය යෙදවීමටත් සිදු වී තිබේ. ජනාධිපතිවරයා කියන්නේ ඔවුන්ගෙන් වැඩ ගත යුතු බවයි. වැඩ කිරීමට කැමති අය පමණක් රැකියාවලට පැමිණිය යුතු බවයි. එය නම් අලුත් සංකල්පයකි.

මෙම බඳවාගැනීම් කරනු ලබන්නේ සාමාන්‍ය පෙළ අසමතුන් අතරින් පමණක් නම්, අධ්‍යාපන සුදුසුකම් රජයේ රැකියා සඳහා නුසුදුසුකමක් වන්නට යන පළමු අවස්ථාව මෙය විය හැකිය. අධ්‍යාපන සුදුසුකම්වලට මේ අන්දමින් සැලකීම ඉතා නරක පූර්වාදර්ශයකි.

මේ අතර, රැකියා විරහිත උපාධිධාරීන් 50,000කට ද රජයේ රැකියා ලබාදෙන බව රජය පවසයි. පසුගිය රජයන් විසින් මේ වන විට රැකියා විරහිතව සිටි උපාධිධාරීන් ලක්ෂ දෙකකට පමණ සංවර්ධන නිලධාරි පත්වීම් පමණක් දී තිබේ. මෙම උපාධිධාරීන්ගේ කුසලතා වර්ධනයට හෝ් ඔවුන්ගෙන් සමාජ සංවර්ධනය සඳහා ඵලදායී දායකත්වයක් ලබාගන්නට හෝ වැඩපිළිවෙලක් රජයට තවමත් නැත.

ගුරු සහායකවරුන් 50,000ක් අලුතෙන් බඳවා ගන්නා බව ද රජය නිවේදනය කර තිබේ. ගුරු සහායකවරුන් බඳවා ගන්නා බව කියා පන්තියක සිසුන් සංඛ්‍යාව ද 35 සිට 40 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කළේ ය.

මේ අනුව, ඡන්දයට යාමට පෙර, රජය අලුතෙන් රජයේ රැකියා ලක්ෂ දෙකක් දෙන බව කියා ඇත. දැනටත් රජයේ සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 14ක් පමණ වන අතර, නව බඳවාගැනීම් සමග එය ලක්ෂ 16 දක්වා ඉහළ යනු ඇත.

එහෙත්, දැනට සිටින රජයේ සේවක පිරිසට හෝ වැටුප් ගෙවාගැනීමට රජයට ප්‍රමාණවත් තරම් මුදල් නැත.

රජයේ සේවකයන් කොයි තරම් විශාල පිරිසක් සිටියත්, රජයේ සේවයෙන් මහජනතාවට සහනයක් ද නැත. බොහෝ රාජ්‍ය කාර්යාලවල සේවක ආදර්ශ පාඨය ‘පුළුවන් නම් ආපු වැඩේ කරගනින් බලන්න’ වැනි ය.

කෙසේ වෙතත්, ලංකාවේ පහළ මධ්‍යම පන්තික සමාජයට මේ අන්දමින් රජයේ රැකියා ලබාදීමෙන් ආණ්ඩුවට විශාල ශක්තියක් ලබාගැනීමට පුළුවන. විශේෂයෙන් ම කාර්මාන්ත සංවර්ධනයක් ප්‍රමාණවත් අන්දමින් සිදු වී නොමැති ග්‍රාමීය ප්‍රදේශවල මධ්‍යම පන්තික ආධිපත්‍යය ගොඩනැගීම ආණ්ඩුවට ජාතිවාදය මත පදනම්ව බලය රැකගැනීමට ප්‍රයෝජනවත් වනු ඇත. කලින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් කළ අන්දමින් ම දැවැන්ත රාජ්‍ය අංශයක් හා රාජ්‍ය අංශයෙන් යැපෙන දැවැන්ත මධ්‍යම පන්තියක් ගොඩනැගීම ගෝඨාභය රාජපක්ෂගේ ද ක්‍රමය බව සිතාගත හැකි ය. මෙම දැවැන්ත මධ්‍යම පන්තිය පෝෂණය කරන රජය රැකගැනීම සඳහා මේ රටේ වැඩකරන ජනතාවටත්, ව්‍යවසායකයන්ටත්, ඉදිරියේදී ද ලේ, කඳුළු, දහදිය වගුරුවමින් වැඩකිරීමට සිදු වනු ඇත.

Translations