Chamber of Sri Lanka parliament

අද පත් කරනු ලබන අමාත්‍යාංශ උපදේශක කාරක සභා 28න් ඇති වැඩේ මොකක් ද?

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා 28 ක් පත් කරන බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

පාර්ලිමේන්තුවේ වැදගත්කම අහෝසි වන ව්‍යවස්ථා සංශෝධනයක් යෝජනා වී තිබෙන මොහොතේ පොදු ජනතාව වන අපට පාර්ලිමේන්තුවේ ඇති වැදගත්කම පිළිබඳ අප කතාබහ කළ යුතුයි.

අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා පත් කිරීම පිළිබඳ තොරතුරු ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට අද (08) ඉදිරිපත් කෙරේ.

අදාළ විෂය භාර අමාත්‍යවරයා මෙම කාරක සභාවල සභාපතිවරයා ලෙස කටයුතු කරයි. ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස් දෙනෙකු ද ඊට ඇතුළත්‍ ය. මෙම එක් එක් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් තිදෙනෙකුගෙන් සං‍යුක්ත විය යුතුය.

සෑම පාර්ලිමේන්තු සභාවාරයක ම ආරම්භයේදී අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යාංශ සංඛ්‍යාවට අනුරූපව අමාත්‍යංශයීය උපදේශක කාරක සභා සංඛ්‍යාවක් ද පත්කරනු ලැබේ. විෂය භාර ඇමතිවරයා නිල බලයෙන් අදාළ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත්වෙයි. සෑම අමාත්‍යංශයීය උපදේශක සභාවක් ම විෂය භාර අමාත්‍යවරයාගෙන්, රාජ්‍ය අමාත්‍යවරයාගෙන්, නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් සහ තේරීම් කාරක සභාව විසින් නම්කරනු ලබන වෙනත් මන්ත්‍රීවරුන් පස්දෙනෙකුගෙන් සමන්විත වේ.

ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් යොමු කරනු ලබන කරුණු සලකා බැලීම මෙම කාරක සභාවල කාර්යභාරයයි.  ඕනෑම පුද්ගලයකු කාරක සභාව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමට ද,  ඕනෑම ලියවිලි, පොත්, වාර්තා හෝ වෙනත් ලේඛනයක් නිරීක්ෂණය කිරීමට ද මෙම කාරක සභාවට බලය තිබේ.

ප්‍රජාතාන්ත්‍රික සමාජයන්හි කාරක සභා විසින් පාර්ලිමේන්තුවේ පක්ෂ සංයුතිය නිරූපණය කරයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයක් ම කාරක සභාවල නියෝජනය විය යුතු ය. ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන් විසින් මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම්, අභිරුචීන් සහ අත්දැකීම් සලකා බලමින් ඔවුන් කාරක සභා නියෝජනය සඳහා යෝජනා කළ යුතු ය.

ස්ථාවර නියෝග යටතේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පහත දැක්වෙන ආකාරයේ කාරක සභා තිබේ:

  1. විශේෂ කාරක සභා
  2. අමාත්‍යංශයීය උපදේශක කාරක සභා
  3. ආංශික අධීක්ෂණ කාරක සභා
  4. ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව‍
  5. පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාව
  6. විශේෂ කාර්යයන් සඳහා කාරක සභා

මෙම සියලු කාරක සභාවල සාමාජිකයන් සභාව විසින් පත්කරගනු ලැබූ හෝ නැතිනම්, කථානායකවරයා විසින් නම්කරනු ලැබූ අය වේ. කාරක සභාවලට සාමාජිකයන් නම්කිරීමට පෙර ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන්ගෙන් සහ පක්ෂ නායකයන්ගෙන් අදහස් විමසනු ලැබේ. කථානායකවරයා විවිධ කාරක සභාවලට සාමාජිකයන් පත්කිරීමේදී පාර්ලිමේන්තුවේ පක්ෂවල සංයුතියට අනුපාතිකව එසේ කරනු ලැබේ. 

කාරක සභාවක සභාපතිත්වය සාමාන්‍යයෙන් හිමිවන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකුට ය.

කාරක සභාවක ගණපූරණය ආසන්න වශයෙන් එම කාරක සභාවේ සමස්ත සාමාජිකත්වයෙන් තුනෙන් එකක් ලෙස තීරණය කරනු ලැබේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මනාව ඒකාබද්ධිත කාරක සභා පද්ධතියක් නිර්මාණය කර තිබේ. ඒවා විධිමත් රීති පද්ධතියක් මගින් ක්‍රියාත්මක වේ. පාර්ලිමේන්තු සභාවේ වටිනා කාලය ඉතිරි කරගැනීමේ පැහැදිලි වාසියටත්, නිමක් නොමැතිව විස්තරාත්මක ලෙස කරුණු සාකච්ඡා කිරීමට සිදුවීම වළක්වා ගැනීමට හැකි වීමටත් අමතරව, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා කැපීපෙනෙන දායකත්වයක් කාරක සභා විසින් සපයා තිබේ.  එහි ආරම්භය සිදු වී තිබෙන්නේ බ්‍රිතාන්‍යයේ වුව ද, ශ්‍රී ලංකාවේ කාරක සභා ක්‍රමය පාර්ලිමේන්තුවේ සහ සමාජයේ වෙනස් වන විකාශයන්ට අනුකූල වන ලෙස හැඩගස්වාගෙන තිබේ. කාරක සභා විසින් වැඩි බලයක් අත්පත් කරගෙන තිබෙන අතර පුළුල් බලාධිකාරයක් ඒවා සතු ය.   

(පාර්ලිමේන්තුවේ නිල ලේඛන ඇසුරෙනි)