Suren Raghawan

උතුරු පළාත් සභාවේ රැකියාවලට බඳවා ගැනීමේදී 2020 ජනවාරි 1 වන දින සිට ආබාධිත පුද්ගලයින් සඳහා උතුරු පළාත් බඳවා ගැනීමේ කෝටාව සියයට 6 ක් ද, කාන්තා මූලික පවුල් සඳහා සියයට 5 ක් ද, අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා සියයට 3 ක්  සහ සංක්‍රාන්තික ලිංගිකයන් සඳහා සියයට එකක් ලෙස වෙන් කිරීමට තමා බලාපොරොත්තු වන බව උතුරු පළාත් සභාවේ ආණ්ඩුකාර සුරේන් රාඝවන් පසුගියදා නිවේදනය කළේ ය.

රජයේ රැකියා ලබා දීමේ වර්තමාන ක්‍රමවේදය අනුව මෙවැනි සාධාරණ බෙදාහැරීමක් සිදුකිරීම නරක නැත. එහෙත් මෙහි මූලික සංකල්පීය ගැටලුවක් තිබේ. එය රාජ්‍ය පාලනය සම්බන්ධ එකකි.

රජය තිබෙන්නේ රැකියා සපයන්නට ද? රජය රැකියා සපයන මාධ්‍යයකි ය යන්න යල්පැනගිය අදහසකි. එපමණක් නොව, එය අතිශය ප්‍රතිගාමී සංකල්පයක් ද වේ.

යහපාලනයක් තුළ රජය ඇත්තේ රැකියා සපයන්නට නොව, මහජන සේවා සඳහා ය. ඇතැම් සේවා රජය විසින් ඍජුව ම සපයනු ලැබේ. නිදසුනක් ලෙස හැඳුනුම්පත් නිකුත් කිරීම, ගමන් බලපත්‍ර ලබා දීම ආදිය රජය විසින් ඍජුවම සපයන සේවා ය. රජය ඇතැම් සේවා නියාමනය කරයි. උදාහරණයක් ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂම පොදු දේපලක් වන විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය ජංගම දුරකථන සමාගම්, රූපවාහිනී, රේඩියෝ නාලිකා, පොලිසිය, හමුදා හා වෙනත් රාජ්‍ය ආයතන ආදිය විසින් නිසි පරිදි භාවිතා කරන ආකාරය නියාමනය කරයි.

රජය නිෂ්පාදකයකු විය යුතු ය යන සංකල්පය දැන් ලොව ප්‍රධාන සමාජවාදී රටක් වන චීනය පවා පිළිගන්නේ නැත. ඇතැම් විට රජය සතුව නිෂ්පාදන සමාගම් තිබේ. එහෙත්, දැන් දැන් ඒවා හුදෙක් රජයේ අයිතිය පමණක් තිබෙන, පෞද්ගලික සමාගම් පරිද්දෙන් ම පාලනය වන ආයතන බවට පත්වෙමින් තිබේ. ඒවායේ රැකියා ලබාදීමේදී, වෙනත් පෞද්ගලික සමාගම් පරිද්දෙන් ම ඵලදායිතාවට මුල් තැන ලබාදෙයි. රැකියාවක් ලබාදෙන්නේ අත්‍යවශ්‍ය කාර්යයක් ඉටු කරගැනීමට ය.

එහෙත්, ලංකාවේ දැනට පවතින රජය වෙනස් ය. රජය තිබෙන්නේ රජයේ සේවකයන්ට, නිලධාරීන්ට හා දේශපාලකයන්ට රැකියා දෙන්නට ය. වැටුප් හා වෙනත් වරප්‍රසාද දෙන්නට ය. රජයේ මූලික කාර්යය එයයි. එය සිදුකරන්නේ මහජන මුදලින් වීම නිසා රජයේ රැකියා කරන්නෝ යම් දුරකට මහජන සේවාවන් ද සපයති.

අප රජය වෙනස් කළ යුතු ය. එසේ වෙනස් කරනු ලබන රජයෙහි නිලධාරීන් සිටින්නේ මහජන සේවය පිණිස ය. රජය රැකියා ලබාදෙන්නේ එම කාර්යය වඩා ඵලදායී ලෙස ඉටුකිරීම සඳහා ය.

මේ වන විට රජයේ සේවයේ කම්කරු මට්ටමේ රැකියා ලබාදීම තනිකර ම සිදුවන්නේ දේශපාලනය හරහා ය. කම්කරු බඳවාගැනීම් වෙනුවෙන් පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීමක් සිදුවෙන්නේ ම නැත. මෙම කම්කරුවන් අතර දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් වන්නේ ඔවුන් වැඩ කරන්නට අකැමැති වීමයි. පාසල් කම්කරුවන්, රෝහල් කම්කරුවන් ලෙස මෙසේ බඳවාගන්නා දේශපාලන අතකොලු විසින් එම ආයතන වෙතින් සේවා ලබාගන්නා මහජනතාවට සෑහෙන පීඩනයක් ද ඇති කරනු ලැබේ.

රජය තිබෙන්නේ රැකියා සපයන්නට යයි සිතන ප්‍රධාන ම පිරිසක් වන්නේ කලා උපාධිධාරීන් ය. විශ්වවිද්‍යාලයකින් බාහිර හෝ උපාධියක් ලබාගෙන එතැන් සිට වසර ගණනාවක් උද්ඝෝෂණ කර ඔවුහු කෙසේ හෝ රජයේ රැකියාවක් ලබාගනිති. සංවර්ධන සහකාරවරුන් ලෙස දෙන මේ රැකියාවලට බොහෝ විට නිල රාජකාරියක් නැත. ඇතැමෙකුට ක්ෂේත්‍ර නිලධාරීන් ලෙස ම ලොතරැයිය ඇදේ. එවිට වැඩක් කරන්නට ඕනෑ ම නැති තරම් ය.

අකාර්යක්ෂම රජයේ රැකියාවලට තරුණ තරුණියන් අලුතෙන් පිවිසීම අධෛර්යවත් කිරීම සඳහා වත්මන් රජය විසින් විශ්‍රාම වැටුප තාවකාලිකව අත්හිටුවන ලදී. එහෙත්, ඒ සම්බන්ධ යම් විසඳුමක් ඉදිරියේදී ලබා දිය යුතු ය. නැතිනම්, එය ද වර්ජනයකට මුල වනු ඇත. රජයේ පැරණි සේවකයන් ඒ සම්බන්ධයෙන් වර්ජනය නොකරන්නේ සෙසු අයට තමන්ට හිමි වරප්‍රසාද නොලැබීමෙන් ඔවුන් සතුටු වන නිසා වන්නට පුළුවන. රජයේ සේවකයන්ගේ ආකල්ප අනුව ඒ ගැන පුදුම විය යුතු නැත. කෙසේ වෙතත්, විශ්‍රාම වැටුප අවිනිශ්චිත වුණා ය කියා රජයේ සේවයට පිවිසීමේ අඩුවක් නැත. හේතුව, අඩු වැඩ, සාපේක්ෂව වැඩි වැටුප්, රැකියා සුරක්ෂිතභාවය, විශ්‍රාම වැටුප් බලාපොරොත්තුව, වරප්‍රසාද හා ඇතැම් විට වෙනත් රැකියාවක් කරන්නට කුසලතා නැතිකමයි.

කෙසේ වෙතත්, මේ මහජන මුදල් ය. මහජන මුදල් වැය කළ යුත්තේ මහජන සේවය සඳහා අරපිරිමැස්මෙනි. රජය තියෙන්නේ රස්සා දෙන්නට නොවේ. රජයේ රස්සා බෙදී යාමේ අනුපාතිකයක් තිබීම මහජන සේවයට දෙවෙනි ය. ප්‍රමුඛතාව දිය යුත්තේ මහජන සේවයට වඩාත් ම යෝග්‍ය පුද්ගලයන් රජයේ තනතුරු සඳහා අවශ්‍ය ප්‍රමාණයට පත් කිරීමටයි.

ආබාධිත, කාන්තා මූලික පවුල්, අතුරුදහන් වූවන්ගේ පවුල් ආදියට ප්‍රමුඛතාව දී පත්වීම් දෙන්නට ගියොත්, 1980 දශකයේ අගභාගයේදී ආර්. ප්‍රේමදාස යටතේ අභ්‍යාසලාභී ගුරුවරුන් බඳවාගැනීමේ නාඩගම යළි රඟදැක්වෙනු ඇත.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.