President Gotabaya at public office Narahenpita

අජිත් පැරකුම් ජයසිංහ

රාජ්‍ය වියදම් සීමා කිරීම සඳහා භාණ්ඩාගාරය විසින් අලුතින් නිකුත් කර තිබෙන චක්‍රලේඛය අනුව, වාහන, ගොඩනැගිලි කුලියට ගැනීම් ආදිය සමග කඩදාසි භාවිතය හැකිතාක් අඩු කරන ලෙසත් ඒ වෙනුවට විද්‍යුත් සන්නිවේදනයට මාරු වන ලෙසත් නිර්දේශයක් තිබේ.

2015දී මා රජයේ සේවයෙන් ඉවත් වී එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැඳුණු අවස්ථාවේදී මගේ අලුත් සේවාදායකයාට මගේ පැරණි ආයතන ප්‍රධානියාට ඊමේල් පණිවුඩයක් යවා නිර්දේශයක් ලබාගැනීමට අවශ්‍ය විය. එවකට මගේ ආයතන ප්‍රධානීවරිය වූ අධ්‍යාපන පරිපාලන නිලධාරීවරියට ඊමේල් ලිපිනයක් තිබුණේ නැත. නිල ඊමේල් ලිපිනයක් නම් දැනටත් නැති විය හැකිය.

නවීන, විධිමත් ආයතනයකට සේවකයකු බඳවාගත් පසු මුලින්ම කරන දෙයක් වන්නේ ආයතනික ඊමේල් ලිපිනයක් ලබාදීමයි. ආයතනය අභ්‍යන්තර සියලු කාර්යයන් සඳහා එය අත්‍යවශ්‍ය වේ.

රාජ්‍ය සේවයේ වෙබ් අඩවි පවතින්නේ ඉතා දුර්වල තත්වයකය. ඒවා මනාව නඩත්තු කරන්නේ හෝ යාවත්කාලීන කරන්නේ නැත. නිසි ලෙස තොරතුරු ලබාදෙන්නේ ද නැත. ආයතනික ඊමේල් සේවාවන් නම් දුලබය. ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ නිල ඊමේල් ලිපිනයන් ඇතැම්විට වෙබ් අඩවිවල තිබේ. ඒවා බොහෝවිට නමට පමණක් තිබෙන ඒවා වන අතර, ඒවාට ඊමේල් පණිවුඩයක් යවා පිළිතුරක් ලබාගැනීමට හැකි නම් අති විශාල ජයග්‍රහණයකි.

දැනට තිබෙන සරල, අඩු වියදම් හා නවීන ක්ලවුඩ් තාක්ෂණය භාවිතා කර මෙම තත්වය වෙනස් කිරීම ආයතනික මට්ටමෙන් පවා පහසුවෙන් කළ හැකිය. අවශ්‍ය වන්නේ යම් රෙගුලාසි සංශෝධනයන් පමණි.

මේ මේසයෙන් අර මේසයට ලිපි ගොනු ගෙන යන පියන්ලාගේ අවශ්‍යතාවේ සිට බොහෝ දේ මෙමගින් වෙනස් කළ හැකිය. ආයතන තුළ මෙන්ම ආයතන අතර සන්නිවේදනය ද විධිමත් හා වේගවත් කළ හැකිය. මහජන සේවා කාර්යක්ෂම කළ හැකිය.

සරල උදාහරණයකින් දැනට කටයුතු සිදුකරනු ලබන ආකාරය පෙන්වාදිය හැකිය. රෝහල් වාට්ටුවල රෝගීන්ගෙන් ලබාගත් ලේ ආදී සාම්පල රසායනාගාරය කරා ගෙන යා යුත්තේ සනීපාරක්ෂක කම්කරුවකු විසිනි. සාමාන්‍ය කම්කරුවන් ඒවා ගෙනයන්නේ නැත. එහෙත්, රසායනාගාරයේ සිට වාර්තා රැගෙන එන්නේ සාමාන්‍ය කම්කරුවෝය. ඒ සඳහා යාම ඒම ඔවුන්ගේ ප්‍රධාන කාර්යයක් වන අතර එසේ කිරීමට සිදුවීම ගැන වැඩිදෙනෙකු සිටින්නේ තරහෙනි. රජයේ සේවයේ හැටි එහෙමය. රෝහල් පරිගණක ජාලයකට ඇතුළත් කිරීම කල්ගත වන වියදම් අධික වැඩක් නම්, රසායනාගාරයේ සිට ඊමේල් පණිවුඩයක් වාට්ටුවට එවන ක්‍රමයක් සම්පාදනය කරගැනීම ඊට වඩා බොහෝ සරලය.

කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් අධ්‍යාපනය බොහෝ දුරට තොරතුරු තාක්ෂණය සමග සම්බන්ධ විය. යටිතල පහසුකම් පිළිබඳ ගැටලු තිබුණ ද, ගුරුවරුන් බොහෝදෙනෙකු දැනටමත් අධ්‍යාපන කටයුතු හා සන්නිවේදනය සඳහා තොරතුරු තාක්ෂණය භාවිතා කරනු දැකිය හැකිය. පාසල් සිසුන් ගුරුවරුන්ටත් වඩා තොරතුරු තාක්ෂණය වෙත යොමුවී තිබේ. නිර්මාණශීලී ගුරුවරුන් මෙම තත්වයෙන් ප්‍රයෝජන ගනු දැකිය හැකිය. එය ආයතනගත කිරීම නම් තරමක් සංකීර්ණ විය හැකිය.

සෙසු බොහෝ රජයේ කාර්යාලවල ද ගෙදර සිට වැඩකිරීමේ ක්‍රමවේදය හේතුවෙන් තොරතුරු තාක්ෂණය කෙරෙහි යොමුවීම වර්ධනය විය. එහෙත්, සුපුරුදු පරිදිම වැඩකිරීමට අකැමැති පිරිස්වලට තමන් කොම්පියුටර් නොදන්නා බව කියා හෝ තමන්ට ඒවා කාර්යාලයෙන් ලබාදී නොමැති බව කියා හෝ වැඩ නොකර සිටීමට හැකිය. වැඩ නොකර ඉන්න රජයේ සේවකයාට නම් මේ සියල්ලම සැපයුවත් වැඩ කරන්නේ නැත. එහෙත්, අලුත් තරුණ පරපුර ආකල්ප අතින් පැරණි පරපුරට වඩා ඉදිරිගාමීය.

රාජ්‍ය සේවය කඩදාසිවලින් මුදාගැනීම සාමාන්‍යයෙන් පෙනෙනවාට වඩා විප්ලවීය වෙනසකි. එහෙත්, ඒ වෙනුවෙන් ආයතන හා මූල්‍ය රෙගුලාසි සංශෝධනය කිරීම ද, ආයතන සංග්‍රහය සහ නීති සංශෝධනය ද අවශ්‍යය.

2 thoughts on “රාජ්‍ය සේවය කඩදාසිවලින් නිදහස් කළ හැකිනම් එය විප්ලවයකි

  1. වර්තමානයේ මෙරට පවතින බරපතළ වූත් ප්‍රමුඛ වූත් ගැටලුව ආර්ථික අර්බුදය බව රහසක් නොවේ. එසේ වුවද දේශපාලන, සමාජ හා වෙනත් විවිධ ක්ෂේත්‍ර කිහිපයකට අදාළ වූ අර්බුදකාරි තත්ත්වයන්ද වරින්වර හිස ඔසොවමින් තිබෙන බව අමතක කළ යුතු නැත. මහින්ද රාජපක්ෂ මෙරට දේශපාලන අධිකාරියේ බලගතුම තනතුර වූ ජනාධිපති පදවිය දරමින් සිටියදී මෙරට ජනවාර්ගික ගැටලුවට සන්නද්ධ අරගලයක් මඟින් යම් විසඳුමක් ලබාදුන් බව රහසක් නොවේ. එහෙත් දීර්ඝ කාලයක් තිස්සේ මෙරට ක්‍රියාත්මක වූ කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමක් සේ එම ජයග්‍රහණය සැලකිය හැකිද? වර්තමාන ද්‍රවිඩ දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් අඩු වැඩි වශයෙන් වරින්වර විවිධ අරමුණු පෙරදැරිව කරන ලද ප්‍රකාශ සැහැල්ලුකොට සිතා බැහැර කළ හැකිද?

    ගෝඨාභයට සරණාගතභාවය ලබාදෙන්න හොඳම තැන යාපනය බව ඊව්ඒ හිටපු මන්ත්‍රි සරවනබවන් කියා තිබෙන්නේ කින්ඩියටය. සරවනබවන් ඉකුත් 13දා යාපනයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ කියා තිබිණි.

    “යුද්ධය කාලයේදී අපගේ ජනතාවට පහරදෙනවිට අපගේ ජනතාව පිටරටවලට ගියා. බොහෝ අය කියන කතාවක් තමයි ඔවුන් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න එදා මෙරටින් පැන ගියාය කියන කතාව. එහෙත් එය එසේ නොවෙයි. එදා අප පළාත්වල හැම නිවෙසකම ජීවිත පිළිබඳ යම් බියක් තිබුණා. අප පළාත්වල මිනිස්සු තමන්ගේ දරුවන් සමඟ ඔවුන්ට හැකි හැම මාර්ගයකින්ම මෙරටින් පැනගියා. වැඩි පිරිසක් ගියේ සරණාගතයන් විධියට. දැන් ඔවුන් ඒ ඒ රටවල ස්ථිර පදිංචිකරුවන්. එදා අපේ මිනිස්සු ගියේ ඥාතීන් අහිමි කරගෙන. එහෙම යනවිට ශාප කළා. අඳෝනා නැඟුවා. ඒවා අපි කන්වලින් අසා තිබෙනවා.”

    සරවනබවන්ලා මේ කියන්නේ කුමක් ගැනද? යුද බිමේ තුවාල තවමත් මුළුමනින්ම සුව වී නැති බවය. යුද්ධය නිමා වී වසර 13කි. යුද්ධයට නායකත්වය දුන් දේශපාලන අධිකාරිය මෙහෙය වූ ගෝඨාභය දැන් පිටරටය. මහින්ද පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් පමණි. එවකට හිටපු යුද හමුදාපතිද වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරයි. ඉන්දු _ ශ්‍රී ලංකා සාම ගිවිසුම අවස්ථාවෙහි මෙන්ම යුද සමයේ සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටි දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ දැන් මේ රටේ අට වැනි විධායක ජනාධිපතිවරයාය. අට වැන්නාගෙන්වත් රට රැකෙනු ඇති බවට විශ්වාසයක් ගොඩනැඟීම සිහිනයක් වේද? තීන්දුව හෙට දවසේය.

Leave a Reply to Lakshman Jayasinghe Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: