Colombo Development Dialogue

අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දිළිඳුභාවය පිටුදැකීම සඳහා වන නව නිර්මාණාත්මක සංකල්පයක් වන බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය සඳහා ලක්ෂයක් දෙනා බඳවාගැනීමේ අයදුම්පත් කැඳවීමේ දැන්වීම පසුගියදා පුවත්පත්වල පළ විය. බඳවා ගන්නා අයට මාස හයක අඛණ්ඩ පුහුණුවක් සපයනු ලබන අතර පුහුණු කාලය තුළ රු. 22,500ක දීමනාවක් සැපයේ. පුහුණුව සාර්ථකව අවසන් කරන්නන්ට ප්‍රාථමික ශිල්පීය නොවන ස්ථිර තනතුරු ලැබෙන අතර වසර දහයක කාලයෙන් පසු විශ්‍රාම වැටුප් හිමිකම ලැබේ.

Translations

මෙසේ පිහිටුවනු ලබන බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ම රජයේ රැකියා 350කට වඩා නිර්මාණය වන බව වාර්තා වේ. මෙම බලකාය මෙහෙයවීම සඳහා උපාධිධාරීන් 10,000ක් ඉදිරියේදී දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමට නියමිතයි. තවත් රැකියා විරහිත උපාධිධාරීන් 50,000කට ද රජයේ රැකියා ලබා දීමට නියමිතයි.

ගුරු සහායකවරුන් 50,000ක් අලුතෙන් බඳවා ගන්නා බව ද රජය නිවේදනය කර තිබේ. ගුරු සහායකවරුන් බඳවා ගන්නා බව කියා පන්තියක සිසුන් සංඛ්‍යාව ද 35 සිට 40 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කළේ ය.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2016 වසරේ සංඛ්‍යාති අනුව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය සන්නද්ධ හමුදා සාමාජිකයන් ලක්ෂ තුනක් ද සමග ලක්ෂ 14ක් වේ. ඍජු රාජ්‍ය සේවකයන් ලක්ෂ 11 අතරින් 65%ක් අයත් වන්නේ මධ්‍යම රජයටයි. ඔවුන් අතරින් 26%කට උපාධි හෝ ඉහළ අධ්‍යාපන සුදුසුකම් තිබේ. රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව එපමණින් සීමා වන්නේ නැත. අඩු වශයෙන් 450ක්වත් රාජ්‍ය ව්‍යවසාය තිබේ. ඒවායේ සේවකයෝ ද රජය සමග සම්බන්ධ ය. ලක්ෂ පහක් පමණ වන රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවන්නේ ද රජයේ අරමුදල්වලිනි.

රජයේ සේවයට අලුතෙන් ලක්ෂ දෙකක් පමණ බඳවාගැනීමට සැලසුම් කරන අතරේ රජය රාජ්‍ය අංශය නවීකරණය පිළිබඳ ද කතා කරයි. මේ අතර රාජ්‍ය බදු ආදායම්වල ද අඩු වීමක් පිළිබඳ අවදානමක් ද මතු වී තිබේ.

මහජනයාට රාජ්‍ය සේවා වෙත ප්‍රවේශය වර්ධනය කිරීම සඳහා රාජ්‍ය අංශය නවීකරණය සහ ඩිජිටල්කරණය කළ යුතු බව ලෝක මට්ටමෙන් ම පිළිගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන එවැනි පරිවර්තනයන් සඳහා ශ්‍රී ලංකාවට ආධාර කරන අතර, පසුගියදා ඒ වෙනුවෙන් රාජ්‍ය අංශය නවීකරණය පිළිබඳ සංවාද සභාවක් ද පවත්වන ලදී. දේශීය හා ජාත්‍යන්තර විද්වතුන්ගෙන් හා ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් සැදුම්ලත් මෙම සංවාද සභාව සංවිධානය කරන ලද්දේ ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් ඇන්ඩ් පොලිටිකල් සයන්ස්හි දකුණු ආසියානු මධ්‍යස්ථානය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයේ ද සහයෝගයෙනි.

රාජ්‍ය සේවයේ ඩිජිටල්කරණය සම්බන්ධයෙන් සලකා බලන කල, 2016 වසරේ සංඛ්‍යාති අනුව, රාජ්‍ය සේවකයන් අතරින් 66%ක් පරිගණක භාවිතය පිළිබඳ හුරුපුරුදු ය. 36%ක් අන්තර්ජාලය භාවිතා කරන අතර, 36%ක් ඊමේල් භාවිතා කරති. දැන් මෙම ප්‍රතිශත සංවර්ධනය වී තිබිය යුතු ය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය පිළිබඳ බාහිර නිරීක්ෂණයක් ඉදිරිපත් කරමින් සසෙක්ස් විශ්වවිද්‍යාලයේ, ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ආයතනයේ මහාචාර්ය මයිකල් මුවර් පැවසුවේ වැඩ කරන ජනගහනයෙන් 20%ක් වන රාජ්‍ය සේවය අවශ්‍යතාවට වඩා විශාල බවයි. “රාජ්‍ය අංශය මිනිස් සම්පත්වලින් හැර අන් සියලු කාරණා අතින් ඌනතා සහිතයි. ඒ වගේ ම, රාජ්‍ය සේවකයන්ගේ වැටුප්වල මූර්ත අගයන් ද පහත යමින් තිබෙනවා.

Translations by Creative Content Consultants

“1977න් පසු, රාජ්‍ය ප්‍රතිපත්ති සහ ආර්ථිකය සම්බන්ධ කැපී පෙනෙන වෙනස්කම් සිදු කරනු ලැබුවා. ඒ සමග විරැකියාව අවම වුණත්, තවමත්, රාජ්‍ය අංශයේ රැකියා සඳහා විශාල ඉල්ලුමක් තිබෙනවා. විශේෂයෙන් ම සාපේක්ෂ වශයෙන් අඩු කුසලතා අවශ්‍ය රැකියා සඳහා ඉල්ලුම ඉහළයි. රජය මෙවැනි පුද්ගලයන්ට රැකියා දීමට දක්වන උනන්දුව ද ඉහළයි. දැන් රජයට එතරම් මුදල් නැහැ. කෙසේ වෙතත්, වැටුප් ගෙවීම සම්බන්ධයෙන් දැනට අර්බුදයක් නැහැ. එහෙත්, දීර්ඝකාලීන ප්‍රශ්නයක් තිබෙනවා. ප්‍රතිසංස්කරණ සිදුවන්නේ සෙමින්. ඒවායේ ප්‍රගතිය දැකගැනීමට අමාරුයි.

“එහෙත් මෙම කතාවේ යහපත් පැතිකඩක් තිබෙනවා. ඒ තමයි, පසුගිය අවුරුදු 50 තුළ වරින් වර ඇති වූ කැරැලි නැවත ඇති වීමට තිබෙන අවස්ථාව අවමයි. එයට හේතුව ජන විකාස වෙනස්කම්. ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය වර්ධනය වෙමින් තිබෙනවා. තරුණ කැරැලි ඇති වන්නේ විශාල තරුණ ජනගහනයක් සිටින රටවලයි.”

රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාවන් ඉහළ යන පමණින් කාර්යක්ෂමතාව හා ඵලදායිතාව සංවර්ධනය වන්නේ නැත. ශ්‍රී ලංකාවට අවශ්‍ය වන රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව තීරණය කිරීම සඳහා සංවිධාන අවශ්‍යතා තක්සේරුවක් සිදු කළ යුතු බව ජාතික වැටුප් හා කාර්ය මණ්ඩල කොමිෂමේ සභාපති එස්. රනුග්ගේ පෙන්වා දුන්නේ ය. රාජ්‍ය අංශයට නවෝත්පාදනය අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේ ය.

රාජ්‍ය අංශයේ නවෝත්පාදනයට හරස් වන බාධකයක් ලෙස ජාත්‍යන්තර සම්බන්ධීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය  ගරු සුසිල් ප්‍රේම ජයන්ත මහතා පෙන්වා දුන් ගැටලුවක් වන්නේ පසුගිය වසර 25ක කාලය තුළ රාජ්‍ය සේවය සම්බන්ධ පරිපාලන රෙගුලාසි සහ මුල්‍ය රෙගුලාසි සංශෝධනය කර නොමැති බවයි. “මෙවැනි යල්පැන ගිය නීති සමග රාජ්‍ය සේවකයන් තම කාර්යසාධනය වර්ධනය කරගන්නේ කොහොම ද? රාජ්‍ය සේවයේ නවීකරණය වෙනුවෙන් අපට මූලෝපායික සැලැස්මක් අවශ්‍යයි. අප දැන් පරිපාලකයන්ගේ සහ කළමනාකරුවන්ගේ යුග පසු කර හමාරයි. අප දැන් ඉන්නේ නායකත්වයේ යුගයකයි. ඕනෑම තත්වයකට මුහුණ දීමේ ධෛර්යය සහිත ජනාධිපතිවරයකුගේ හා ඇමති මණ්ඩලයක නායකත්වය අපට තිබෙනවා.”

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ පවතින තල තුන ම වර්තමානය වන විට එක් අමාත්‍යාංශයක් යටතට ගෙන ඇති බව ජාත්‍යන්තර සම්බන්ධීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගරු සුසිල් ප්‍රේම ජයන්ත පැවසී ය. එම අමාත්‍යාංශය නම් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයයි. එම අමාත්‍යාංශය යටතට මධ්‍යම රජය, පළාත් සභා සහ පළාත් පාලන යන රාජ්‍ය අංශ තුන ම අයත් වේ.

“දැන් ප්‍රතිපත්ති තීරණ ගන්න ලේසියි. රජයේ සේවකයන්ට හොඳින් වැඩ කරන්නට මෙය කදිම අවස්ථාවක්,” යි ඇමති සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසී ය.  

මෙම සංවාද සභාවට මැදිහත් වී ඉතා වටිනා අදහස් ඉදිරිපත් කළ පිරිස ගණනින් විශාල ය. ඒ අතරින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සභික වසන්ත දේශප්‍රිය විසින් ඉදිරිපත් කරන ලද අදහස කෙරෙහි අවධානය යොමු කරමු. “පටිපාටි, කාර්ය මණ්ඩල සහ සම්පත් පිළිබඳ ගැටලු නිසා රාජ්‍ය අංශය පීඩනයට ලක් වෙලායි තිබෙන්නේ. ඩිජිටල්කරණය මගින් අපට පටිපාටි හා පද්ධති සරලකරණය කරන්නට පුළුවන්. අප සාමාන්‍යයෙන් අලුත් පද්ධතියක් හඳුන්වා දීමට පෙර ව්‍යාපාර ක්‍රියාවලි නැවත හැඩගස්වනවා. අවුරුදු 11කට පෙර ICTA ආයතනය විසින් අන්තර්ජාලය ඔස්සේ ආදායම් බලපත්‍ර ලබාදීම හඳුන්වා දුන්නා. බැහැරින් ලබාගන්නා ලද සේවාවක් වූ එහි හිමිකරුවන් වුණේ පළාත් දෙපාර්තමේන්තුවක්. එම හඳුන්වා දීමත් සමග සමස්ත රාජ්‍ය සංවිධාන සංස්කෘතිය ම වෙනස් වුණා. මෙවැනි ඩිජිටල් පරිවර්තනයකට පහසුකම් සපයන්නට ආයතනයේ ප්‍රධානියා එඩිතර නායකත්වයක් සැපයිය යුතුයි. අපට එවැනි නායකයන් බිහි කරගැනීම සඳහා මානව සම්පත් සංවර්ධන ප්‍රතිපත්තියක් නැහැ. අප විසින් එවැනි මානව සම්පත් නිර්මාණය කරගත්තත්, ඔවුන්ට ගෙවනු ලබන වැටුප පෞද්ගලික අංශයේ සමාන තනතුරු සඳහා ගෙවන වැටුපෙන් දහයෙන් පංගුවක් පමණයි. අප ඔවුන්ට නිසි වැටුප් ගෙවිය යුතුයි. විසඳුම් තිරසර කිරීම සඳහා අපට නිසි කාර්ය මණ්ඩලයක් සිටිය යුතුයි. උදාහරණයක් ලෙස, කලින් සඳහන් කරන ලද සංවිධානය දැන් එම පද්ධතියේ දෙවෙනි පිටපත සංවර්ධනය කරගැනීමට පොරබදමින් ඉන්නවා. අවුරුදු 11කට පසු එහි මුල් පිටපත යල් පැන ගොස් තිබෙනවා.”

රාජ්‍ය අංශය ඩිජිටල්කරණය සඳහා වන රජයේ සැලසුම් හා රාජ්‍ය අංශයේ මානව සම්පත් ප්‍රසාරණය කරන බඳවාගැනීම් අතර බරපතල පරස්පරතාවක් තිබුණත්, ඩිජිටල්කරණය යනු මගහැරිය නොහැකි තත්වයකි.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.