good governance

අජිත් පැරකුම් ජයසිංහ (උපුටාගැනීම: ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ වෙබ් අඩවියෙනි)

ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය හා නවීනත්වය රටක් වෙත පිටතින් ආනයනය කිරීමට හෝ පැවරීමට නොහැක.
– ලෙබනනයේ හිටපු ජනාධිපතිවරයකු වන එමිල් ලැහූඩ්

රාජ්‍ය පාලනය හෙවත් Governance හා යහපාලනය හෙවත් Good Governance පිළිබඳ වර්තමානයේදී බොහෝ සංවාද නිර්මාණය වී තිබේ. ඇතැම් දේශපාලකයන් හා ජනමාධ්‍ය යහපාලනය යන වචනය යොදන්නේ 2015-2019 වකවානුවේ ශ්‍රී ලංකාවේ පැවති රජය හඳුන්වන්නටය. ඇතැමෙක් සිතාමතා මෙම වදන උපහාසාත්මකව භාවිතා කරති. එම උපහාසාත්මකභාවය හුදෙක්ම භාෂාව සම්බන්ධ කාරණයක් නොවේ. යහපාලනයට අවමන් කරන ඇතැමෙක් සංකල්පයට පවා දැඩි අකැමැත්තක් දක්වති.

රාජ්‍ය පාලනය ඉතා පැරණි සංකල්පයකි. එහි සාමාන්‍ය අර්ථය වන්නේ පාලකයන් විසින් ප්‍රතිපත්තිමය තීරණ තීන්දු ගැනීම, නොගෙන සිටීම හා තීන්දු ක්‍රියාත්මක කිරීම හෝ නොකර සිටීමයි. පාලකයන් ජාත්‍යන්තර, ජාතික මෙන්ම ප්‍රාදේශීය ද විය හැකිය. එසේම, රාජ්‍ය පාලනය යනු ආණ්ඩුව පමණක් නොවේ. ශ්‍රී ලංකාවේ වර්තමාන සංදර්භය තුළ නම්, ජනාධිපති, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, පළාත් සභා, පළාත් පාලන ආයතන, හමුදා, පූජකවරුන්, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, රාජ්‍ය නොවන සංවිධාන, ජනමාධ්‍ය, සමාගම් මෙන්ම ඇතැම් ජාවාරම්කරුවන් හා අපරාධකරුවන් ද රාජ්‍ය පාලනය සමග විවිධ මට්ටම්වලින් සම්බන්ධය.

සාමාන්‍ය රාජ්‍ය පාලනය හා යහපාලනය අතර පැහැදිලි වෙනසක් තිබේ. වචනයෙන් ම ඇඟවුම් කරන ආකාරය අනුව, යහපාලනය යනු මනා රාජ්‍ය පාලනයකි.

ආසියා හා ශාන්තිකර කලාපවල එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිෂන් සභාව (United Nations Economic and Social Commission for Asia and the Pacific) විසින් යහපාලනය තුළ ප්‍රධාන ලක්ෂණ අටක් හඳුනා ගනියි.

සහභාගීත්වය:තීරණ ගැනීමේදී හා ප්‍රතිපත්ති සම්පාදනයේදී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේ සහභාගීත්වය ඉතා වැදගත්ය. එසේම, මහජන නියෝජනය හා සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය ද අවශ්‍යය. ම අවදානමට ලක්වන කණ්ඩායම්වල අදහස් තීරණ ගැනීමේදී සැලකිල්ලට ගැනීම සහ තොරතුරු මත පදනම්ව තීරණ ගැනීම ද වැදගත්ය.

නීතියේ ආධිපත්‍යය: සාධාරණ නීතිමය රාමුවක් පැවතිය යුතු අතර මානව හිමිකම්වලට ගරු කළ යුතුය. එහිදී සුළුතර ප්‍රජාවන් කෙරෙහි සැලකිලිමත් වීම අත්‍යවශ්‍යය. ස්වාධීන අධිකරණයක හා දූෂණයෙන් තොර පොලිස් සේවාවක පැවැත්ම ද මෙහිදී ඉතා වැදගත්ය.

විනිවිද පෙනෙනසුලුබව: තීරණ ගැනීම හා ඒවා ක්‍රියාත්මක කිරීම නීත්‍යානුකූලව සිදු විය යුතුය. තීරණවලට පාදක වන තොරතුරු පහසුවෙන් හා අවබෝධ කරගත හැකි ආකාරයෙන් ලබාගත හැකි විය යුතුය. එය විශේෂයෙන්ම තීරණවලින් බලපෑමට ලක්වන ප්‍රජාවන්ට ප්‍රයෝජනවත් වේ.

ප්‍රතිචාරාත්මකබව:ආයතන හා ක්‍රියාවලි විසින් සියලු පාර්ශ්වකරුවන් හට සාධාරණ කාලසීමාවක් තුළ ප්‍රතිචාර දැක්විය යුතුය.

එකඟත්වය: තීරණ ගැනීමේදී සමාජයේ විවිධ කොටස්වල ඓතිහාසික, සංස්කෘතික හා සමාජ සංදර්භයන්ට අනුකූලව, විවිධ සමාජ අභිලාෂයන් හා තිරසර සමාජ සංවර්ධනය ද සැලකිල්ලට ගනිමින් පුළුල් එකඟත්වයන්ට එළැඹිය යුතුය.

සාධාරණත්වය හා සියල්ලන් ඇතුළත් කරගැනීම: සමාජයේ සියලු කොටස්වලට තමන් රාජ්‍ය පාලනයේ කොටස්කරුවන් බව දැනිය යුතුය. අවදානමට ලක්වූ හා කොන් කරන ලද ජනයා ඇතුළු කිසිවකු අතහැර නොදැමිය යුතුය.

ඵලදායිතාව හා කාර්යක්ෂමබව: යහපාලනය තුළ ආයතන හා ක්‍රියාවලි විසින් සමාජ අවශ්‍යතා ඉටුකරන ප්‍රතිඵල ලබාදිය යුතුය. තිරසර අන්දමින් සම්පත් භාවිතා කළ යුතුය. පරිසරය ආරක්ෂා කළ යුතුය.

වගවීම: නීතියේ ආධිපත්‍යයට අනුව හා විනිවිද පෙනෙනසුලු අන්දමින් රාජ්‍ය, පෞද්ගලික මෙන්ම සිවිල් සමාජ සංවිධාන ද පාර්ශ්වකරුවන්ට හා මහජනතාවට වගවිය යුතුය.

ඉහත දක්වන ලද කරුණු පදනම් කරගෙන සලකා බැලූ කල යහපාලනය යනු අමුතු සංකල්පයක් නොවන බව ද, අපගේ මෑතකාලීන ඉතිහාසය පුරාම රාජ්‍ය පාලනය විසින් අඩුතරමේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවලදී හෝ යහපාලනය ඉලක්ක කරන ලද බව ද පෙනේ. එහෙත්, ඉතිහාසය පුරාමත් යහපාලනයට එරෙහි අදහස් ද රාජ්‍ය පාලනය තුළ තිබිණි. එසේ වුවද, කිසිදු පාලකයකු තමන් කටයුතු කරන්නේ සංකල්පීය වශයෙන් යහපාලනයට එරෙහිව යයි කියා නැත.

යහපාලනයට එරෙහි අදහස් මොනවාද යන්න දළ වශයෙන් ගොනුකරගැනීමට උත්සාහ කිරීම ප්‍රයෝජනවත් විය හැකිය. පහත දැක්වෙන්නේ එවැනි උත්සාහයකි:

  • තීරණ ගැනීමේදී එක් පුද්ගලයකු හා එම පුද්ගලයා වටා ගොනු වූ සීමිත, සමීප කවයක් ප්‍රධාන වීම.
  • පාර්ලිමේන්තුව, පළාත් සභා, පළාත් පාලන ආයතන වැනි මහජන නියෝජන සභාවල බලය නොරිස්සීම.
  • අධිකරණය, රාජ්‍ය සේවය, පොලිසිය වැනි ආයතනවල ස්වාධීනත්වයට අකැමැති වීම.
  • ස්ත්‍රී නියෝජනය, සුළු ජාතීන්ගේ අභිලාෂයන්, සංස්කෘතික විවිධත්වයන් ආදිය නොතැකීම
  • සුළුතර ලිංගික ප්‍රජාවන්, ආබාධ සහිත පුද්ගලයන් වැනි කොන්කරන ලද ප්‍රජාවන් අතහැර දැමීම.
  • ප්‍රතිපත්ති සම්බන්ධයෙන් බලපෑම් කරන සිවිල් සමාජ ක්‍රියාකාරීත්වයන් නොඉවසීම.
  • ප්‍රතිපත්ති තීරණවලින් අවදානමට ලක්වන ප්‍රජාවන්ගේ ගැටලු කෙරෙහි සංවේදී නොවීම.
  • රාජ්‍ය පාලනය සම්බන්ධ තොරතුරු මහජනතාව වෙත ලබාදීමට අකැමැත්තක් දැක්වීම.
  • මහජනතාවගේ අවශ්‍යතාවලට හා විමසීම්වලට කඩිනමින් හා පූර්ණ ලෙස ප්‍රතිචාර නොදැක්වීම.
  • නිලධාරිවාදය හා දූෂණය.
  • වැරදිකරුවන් ආරක්ෂා කිරීම.
  • විගණනයට, වගවීමට, පිළිතුරු දීමට කැමැත්තක් නොදැක්වීම

මෙම ලැයිස්තුවට තවත් බොහෝ කරුණු ඇතුළත් කළ හැකිය. එහෙත්, අපගේ උත්සාහය වන්නේ යහපාලනය යනු කුමක්ද යන කාරණය කෙරෙහි මූලික අවබෝධයක් නිර්මාණය කිරීම පමණි.

යහපාලනය යන වචනයෙහි වර්තමාන අර්ථයන් විකෘති වී තිබේ. පසුගිය කාලයේ පැවති රාජ්‍ය පාලනයක් හැඳින්වීම සඳහා යහපාලනය යන වචනය අන්වර්ථ නමක් ලෙස භාවිතා කරනු දැකිය හැකිය. එමගින් එම වචනය තුළට උපහාසාත්මක අරුතක් ද නිර්මාණය වී තිබේ.

සැළලිහිණි සංදේශයේ එන ‘සිසිවන උවන ඉඟසුඟ ගතහැකි මිටින’ යන පැදියෙහි ඉඟසුඟ යනු සිහින් ඉඟයි. අතීතයේදී සුඟ යනු ප්‍රමාණයෙන් කුඩා දෙයකි. එහෙත්, එයින් බිඳී පැමිණි වර්තමාන ‘හුඟ’ නම් පදයෙහි අර්ථය සම්පූර්ණ විරුද්ධාභාසයක් වන විශාල දෙයකි. වාග් විද්‍යාත්මකව ගත් කල යහපාලනය නම් වචනයට ද එවැනි ඇබැද්දියක් සිදු වී තිබේ.

එහෙත්, යහපාලනය නම් වදන සම්බන්ධ වාග් විද්‍යාත්මක ගැටලුවට වඩා යහපාලන සංකල්පය හා සම්බන්ධ දේශපාලන විද්‍යාත්මක ගැටලුව ප්‍රබලය. අප උත්සාහ කළ යුතුව තිබෙන්නේ එය විසඳාගැනීමටය.

සිංහල බසින් යහපාලනය ගැන තිබෙන සමාජ ආකල්ප කෙසේ වෙතත්, ජාත්‍යන්තර රාජ්‍ය පාලනයේදී Good governance යනු නිරවද්‍යභාවය සම්බන්ධයෙන් පිළිගත් මූලධර්මයකි. ජාත්‍යන්තර ප්‍රජාව සමග සම්බන්ධ වීමේදී, වෙළඳාමේදී, ආධාර ලබාගැනීමේදී හා තවත් බොහෝ කටයුතුවලදී ශ්‍රී ලංකාව විසින් යහපාලනය අනුගමනය කළ යුතු යයි අපේක්ෂා කරනු ලැබේ.

ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම යහපාලනය ද ඔක්සිජන් වැනිය. අපට එහි වටිනාකම දැනෙන්නේ එය අහිමි වූ විටය. එහෙත්, ඒ වන විට ප්‍රමාද වී වැඩි විය හැකිය.

1 thought on “ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම යහපාලනය ද ඔක්සිජන් වැනිය

Leave comment

Your email address will not be published. Required fields are marked with *.