Indian PM Modi at Dussehera

මෝදි රාවණාට ඊයෙන් විද්ද දශහරා උත්සවය

නිශාන් පෙරේරා – පානදුර

භාරතයේ වසර පුරාම විවිධ උත්සව වලින් පිරී පවතී. මේ උත්සව අතර ඊයේ පැවැත්වුණ දශහරා උත්සවය හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන උත්සවයකි. මේ වසරේ දශහරා උත්සවය ඔත්තොම්බර් අට වන දිනට යෙදී තිබිණි. එයට ඉන්දීය අගමැති මෝදි ද සහභාගි විය.

Translations by Creative Content Consultants

දශහරා උත්සව ඉන්දියාව පුරා පැවැත්වුනත් ප්‍රධාන උත්සවය පවත්වන්නේ නවදිල්ලි නුවර රතු බලකොටුව ඉදිරිපිට පිහිටි රාම්ලීලා ක්‍රීඩාංගනයේදී ය. එදින සවස රාම්ලීලා නාට්‍ය (රාමායණයේ යුද්ධ කාණ්ඩ කොටස) දක්වනු ලැබේ. රාම, සීතා, ලක්ෂ්මණ, හනුමාන්, රාවණ ,කුම්භකර්ණ, මේඝනාද ආදී ප්‍රධාන චරිත නළු නිළියන් විසින් රඟදක්වනු ලැබේ. ක්‍රීඩාංගනය මැද රාවණගේ, රාවණගේ පුත් මේඝනාදගේ හා කුම්භකර්ණගේ විශාල පිළිම තුනක් සාදා තබා ඇත. මේවා සාදන්නේ අපේ රටේ පඹයන් සාදන මූලධර්මයටය. එහෙත් මෙම පිළිම ඉතා විචිත්‍රවත්ව සාදනු ලැබේ. ඔවුහු ඉතා පහසුවෙන් ගිනි ගන්නා ද්‍රව්‍යන්ගෙන් සාදන මෙම පිළිම අඩි තිහක් හෝ ඊටත් වඩා උසට සාදන අතර ඊට විසිතුරු මල් වෙඩි අහස්කූරු ආදී විචිත්‍රවත් ගිණිකෙළි ඇතුලත් කර සාදති. එසේ උසට මේවා තනන්නේ පාපයේ විශාලත්වය විදහා පෑමටය.

රාත්‍රී හත පසුවන විට නාට්‍යයේ රාවණ සංහාරක අවස්ථාව එළඹෙයි. රාවණ පිළිමයට ගිනිදල්වන ලද ඊතල විදින්නේ එවිටය. එහෙත් මෙහි විශේෂත්වය වන්නේ රාම ලෙස රඟපාන නළුවා පළමු ඊතලය රාවණ වෙත විදින්නේ නැති අතර එම හීය විදින්නේ අගමැති වරයා ය. එරට අගමැතිවරයා ,ජනාධිපතිවරයා හා විපක්ෂ නායකවරයා මෙම උත්සවයට සහභාගී වෙති. පිළිම වෙත ගිනි ඊතල වැදීමෙන් පිළිම ගිනිගනී. පිළිම දැවෙන විට ඒතුල තිබූ මල්වෙඩි අහස්කූරු ආදිය දැල්වෙන අතර ඉතා චමත්කාර දසුන් මවා පායි. නරඹන්නන් ප්‍රීති ඝෝෂා දෙයි. නපුරට එරෙහිව යහපත ජය ගැනීම සංකේතවත් කරන දශහරා උත්සවය මෙයින් නිමාවට පත්වේ. මෙම අවස්ථාව ඉන්දියාවේ ආගමික රූපවාහිනී නාලිකා වලින් පමණක් නොව ප්‍රවෘත්ති නාලිකා වලින්ද ලොව පුරා සජීව ලෙස විකාශය කරනු ලබයි.

රාවණාගේ රූපය

දශහරා හා විජයදෂමි උත්සවය හින්දු මාස ක්‍රමය අනුව අශ්වින් මාසයේ (සැප්තැම්බර් පහළොව සිට ඔක්තොම්බර් පහළොව අතර) පුර පක්ෂයේ දශමි (දසවක) දිනයේදී අති උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබේ. මෙම උත්සවය එක්තරා ආකාරයක නිර්භීත නමස්කාරකයකි. ඉන්දියානු සංස්කෘතියේ වීරෝදාර නමස්කාරකයකි. පුද්ගලයා හා සමාජය තුළ වීරත්වය විදහා දැක්වීම දශහරා සැමරුම තුල ගැබ්ව ඇත.

රාමායනයේ සඳහන් පරිදි, රාම දෙවියන් විසින් රාවණාව (සිංහල රාවණා නොවේ) ඝාතනය කළේය. එය සමරනු ලබන්නේ අසත්‍යයට එරෙහිව සත්‍යයේ ජයග්‍රහණය ලෙස ය. නැතහොත් පාපය පරදා පුණ්‍ය (පින) ජයග්‍රහණය කිරීම ලෙසයි. මේ දශමි දිනය (දසවක) විජයදෂමි ලෙස හඳුන්වන්නේ එබැවිනි. දශහරා යනු වසරේ වඩාත්ම සුබ දිනයන් තුනෙන් එකක් වන අතර අනෙක් දෙක වන්නේ චෛත්‍රී ශුක්ල ප්‍රතිපදා (චෛත්‍රී මාසය හින්දු චන්ද්‍ර මාස ක්‍රමය අනුව නව වසරේ ආරම්භක මාසයයි. එහි පුරපක්ෂ‍යේ පෑලවිය චෛත්‍රී ශුක්ල ප්‍රතිපදා ලෙස හැඳින්වේ) සහ කාර්තික් ශුක්ල ප්‍රතිපදා දිනයයි (කාර්තික් ශුක්ල ප්‍රතිපදා යනු කාර්තික් මාසයේ පුර පස පෑලවියයි)  මෙම දිනයේ මිනිසුන් නව වැඩ ආරම්භ කරති.

2019 දශහරා උත්සවයේදී මෝදි

අතීතයේ දී, රජවරු තම ජයග්‍රහණය උදෙසා දෙවියන්ට යාඥා කරමින් මේ දිනවල යුධ ආයුධ රුගෙන පෙරහැර ගියහ. කාම, ක්‍රෝධ, තෘෂ්ණාව, මෝහ, ආත්මාර්ථය, අහංකාරය, කම්මැලිකම, ප්‍රචණ්ඩත්වය සහ සොරකම යන පව් වර්ග දහය අතහැර දැමීම දශහරා උත්සව‍යේ  අර්ථයයි.

දශේරා හෝ දශහරා යන වචනය ව්‍යුත්පන්න වී ඇත්තේ ‘දස්’ (දහය) සහ ‘අහ්න්’ (පාප විනාශ) යනුවෙනි. දශහරා උත්සවයේ ආරම්භය පිළිබඳව බොහෝ මන:කල්පිතයන් නිර්මාණය කර ඇත. සමහරු විශ්වාස කරන්නේ එය කෘෂිකර්මාන්තයේ සැමරීමක් බවයි. ඉන්දියාව කෘෂිකාර්මික රටක් නිසා දශහරා උත්සවයේ කෘෂි සංස්කෘතික අංගයක් ද ඇත.

ගොවියෙකු තම කෙතේ  බෝගයන් වගා කර අස්වනු ධාන්‍ය (ධනය) ගෙදර ගෙන එන විට, ඔහු ප්‍රීති‍යෙන්  ඉපිලේ. මෙම ප්‍රීතිමත් අවස්ථාවෙහිදී, ඔහු එය දෙවියන් වහන්සේගේ (විෂ්ණු) වරප්‍රසාදයක් ලෙස සලකන අතර එයට ස්තූති කිරීමට දෙවියන්ට නමස්කාර කරයි. එබැවින් සමහර අයගේ මතය අනුව, එයින් අදහස් කරන්නේ, දශහරා සමයේදී වර්ෂාව නතර වී, ගංගාවල ගංවතුර නැවතී, වී ආදී ධනධාන්‍යවලින් අටු කොටු පිරී ඉතිරී යන නිසා මෙය කෘෂි සංස්කෘතියේ අංගයන් බවයි.

මෙම උත්සවය නවරාත්‍රි උත්සවයට ද සම්බන්ධ වන අතර එය සිදුවන්නේ නවරාත්‍රී උත්සවයට පසුව පමණක් වන අතර මහීෂ අසුරයාට එරෙහිව දුර්ගා දේවියගේ ධෛර්ය සම්පන්න ක්‍රියා ද මෙහිදී ස්මරණය කිරීම සිදු වේ.

නවරාත්‍රියෙන් පසු දහවන දිනයේදී දශහරා හෝ විජය දශමි සමරනු ලැබේ. රාමායනයට අනුව රාවණා රාම දෙවියන්ගේ බිරිඳ වන සීතා දේවතාවිය පැහැරගෙන ලංකාවට ගෙන ගිය අතර රාම දෙවියන්, යුද්ධයේ දේවතාවිය වූ දුර්ගා මවගේ බැතිමතෙකු නිසා , රාම  යුද්ධයේ පළමු දින නවය සඳහා දුර්ගා මවට වන්දනාමාන කළ අතර දහවන දින නපුරු රාවණා මරා දැමුවේය. එබැවින් විජයදාෂාමි ඉතා වැදගත් දිනයකි. රාමගේ ජයග්‍රහණයේ සංකේතයක් ලෙස මෙම උත්සවය ‘විජයදාෂි’ ලෙස ද හැඳින්වේ.

වර්තමානයේ දශහරා උත්සවය සැමරීම සඳහා විවිධ ස්ථානවල විශාල පොළවල් සංවිධානය කෙරේ. මිනිසුන් තම පවුලේ අය, මිතුරන් සමඟ මෙහි පැමිණ විවෘත අහස යට ප්‍රදර්ශන පොළ  කරති. පොළේ විවිධ භාණ්ඩ, වළලු, සෙල්ලම් බඩු සහ ඇඳුම් විකුණනු ලැබේ. මේ සමඟම පොළේ විවිධ රසවත් ආහාර වර්ග වලින්ද පිරී ඇත.

රාම්ලීලා උත්සවය ද මේ අවස්ථාවේ සංවිධානය වේ. රාවණාගේ විශාල පිළිරුවක් සාදා එයට ගිනි දල්වනු ලැබේ. දශහරා හෝ විජයදශමි රාමාගේ ජයග්‍රහණය ලෙස සළකා පවත්වන අතර  දුර්ගා පූජාවන්ද හින්දු බැතිමත්හු  පවත්වති. මෙම දෙයාකාර උත්සව දෙකේම ශක්ති-පූජා, ශාස්ත්‍ර පූජා, හර්ෂ්, උල්ලාස් සහ විජය යන උප උත්සවයන් ඇතුලත් වේ.

මෙම දිනයේදී ක්ෂත්‍රියවරු ආයුධ වන්දනා කරති. ශක්ති වන්දනා උත්සවය ආදිසනාතන යුගයේ සිට නිශ්චිත දින නවයක් පවැත්වේ.චන්ද්‍රයාගේ ගමන අනුව පළමුවැනි දින ප්‍රතිපදා (පෑලවිය) සිට නවමි (නවවක) දක්වා වූ බලයන් නවයේ නව භක්තිය සමඟ සමරනු ලැබේ. මෙම නවරාත්‍රී දින නවයේ දී දුර්ගා දේවියගේ ස්වරූප නවය  සඳහා මිනිසුන් යාඥා කරන අතර බලවත් ලෙස සිටීමට ප්‍රාර්ථනා කරති. එය ධර්ම කථා, භජන් ගායනා, නර්තන ආදියෙන් විචිත්‍ර වෙයි. ඉන්දියානු සංස්කෘතිය සැමවිටම නිර්භීතකමේ සහ නොසැලෙන අධිෂ්ඨානයේ ආධාරකරුවෙකි. දසහරා උත්සවය ද ශක්තියේ සංකේතයක් ලෙස සමරනු ලබන උත්සවයකි.

                                                                                                    https://hindi.webdunia.com  ඇසුරිනි