Invasive plants of Sri Lanka

ලංකාව ආක්‍රමණය කරන මේ විදේශීය බලවේග ගැන අවධානය මදි

ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලය විසින් 2016 වසරේදී සම්මත කරන ලද ආක්‍රමනික ආගන්තුක ජීවීන් පිලිබඳ ජාතික ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් මේ වන විටත් නව සත්ව සහ ශාක විශේශ ගණනාවක් මෙරටට ගෙන්වා ඉන් ඇතැමෙකු මේ වන විටත්ස්ව භාවික පරිසරයට එක්ව බෝවීමටද පටන් ගෙන තිබෙන බව පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන පෙන්වා දෙයි.

නව විශේෂවලින් සමහරක් මෙරට තුල අනාගතයේදී ආක්‍රමණික ආගන්තුක විශේෂයන් බවට පත්වීමේ අවදානම මේ වන විටත් පෙන්නුම් කර ඇති බව ඒ මහතා පෙන්වාදෙයි.

යම් නව ජීවී විශේෂයක් මෙරටට ගෙන්වීමට ප්‍රථම පාරිසරික අවදානම් තක්සේරුවක් (Environmental Risk Assessment) සිදුකර එමඟින් පෙන්නුම් කරන ප්‍රවණතාවන් සැලකිල්ලට ගෙන යම් නව ජීවියෙකු මෙරටට ගෙන්වන්නේද නැද්ද යන්න තීරණය කළ යුතු බව ජගත් ගුණවර්ධන මහතා පවසයි.

අවාසනාවකට මේ ප්‍රථම පියවරටවත් අවනතව මෙරටට නව ජීවියකු ගෙන එන ලද එකම අවස්ථාවක් හෝ ගෙවීගිය පස්වසර තුල දැන ගන්නට ලැබී නොමැති බව පෙන්වා දෙන ඔහු ශ්‍රී ලංකාව දැනදැනම අවදානම්කාරී තත්වයන් තවතවත් ඇතිකර ගන්නා බව පවසයි.

ආක්‍රමණික ආගන්තුක විශේශ නිසා අනාගතයේ සිදුවිය හැකි ව්‍යසනයන් වලක්වා ගැනීම පිනිස නොපමාව මේ අවස්ථාවේ සිට හෝ ක්‍රියාත්මක වීමේ අත්‍යාවශ්‍යභාවය ඔහු අවධාරණය කරයි.

සැල්වීනියා හා ජපන් ජබර නම් ජලාශවල වැවෙන ශාක විශේෂ ශ්‍රී ලංකාව පුරාම පැතිරී තිබෙන ආක්‍රමණික ශාකයකි. කලක් රාජ්‍ය අනුග්‍රහයෙන් ව්‍යාප්ත කරන ලද ඇකේෂියා ශාකය විනාශ කිරීමට දැන් රජයම තීරණය කර තිබේ. අන්දර, පොඩිසිංඤොමරන්, දියපර, ගිනිතණ, කහ කරාබු, යුලෙක්ස්, වෙඩේලියා, ගල් ගොරක, ගඳපාන, පතන් පාළු, කට කළු බෝවිටියා, හම්බු පන්, පාතීනියම්, යෝධ නිදිකුම්බා, ඉපිල් ඉපිල්, වැලන්ටයින්, ඇලිගේටර්, ලුඩ්වීජියා, වෙල් අල කොළ වැනි ආක්‍රමණික හා ආක්‍රමණික තත්වයට පත්විය හැකි ශාක විශේෂ 30කට අධික සංඛ්‍යාවක් නිසා ශ්‍රී ලංකාවට පාරිසරික තර්ජන ඇති වී තිබෙනවා. මේ ශාක පරිසරය ආක්‍රමණය කරමින් පැතිරී යාම නිසා වෙනත් ශාක වඳවී යාම මෙන්ම සතුන්ට ආහාර හිඟයක් ද ඇතිවෙනවා.

ශ්‍රී ලංකාවේ ආගන්තුක ආක්‍රමණශීලී ශාක සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට 1999 අංක 5 දරන පැළෑටි සංරක්ෂණ පනත හඳුන්වා දී තිබෙන අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැළෑටි සංරක්ෂණ සේවය එම පනත ක්‍රියාත්මක කිරීමේ ආයතනය ලෙස සැලකේ.

ආක්‍රමණික සතුන් රට තුළ පැතිරී යාමට ප්‍රධාන හේතුවක් වන්නේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයයි. ටැංකි සුද්දා මේ සඳහා උදාහරණයකි. විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා ආනයනය කරන ලද ටැංකි සුද්දා මේ වන විට පහතරට තෙත් බිම් සහ මහවැලි ගං ද්‍රෝණියේ ව්‍යාප්ත වී සිටී. පතුල්වාසී ජීවියකු වන ටැංකි සුද්දා, දේශීය විශේෂවල බිත්තර සහ ආහාර බුදියි. මේ මත්ස්‍ය විශේෂය මේ වන විට විශාල ලෙස ව්‍යාප්තව පවතී. දේදුනු ට්‍රවුට්, මන්නයා, ඇපල් ගොළුබෙල්ලා, රතු කන් ඉබ්බා, පුල්ලි මගුරා තවත් එවැනි විශේෂ කීපයකි. සතුන් ආනයනය කිරීම සම්බන්ධයෙන් අදාළ වන්නේ සත්ව නිරෝධායන පනතයි.

මෙම ප්‍රශ්නය පිළිබඳ විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාවක් මෙතැනින්

Creative Content Consultants