සය්ටම්

ලංකාවේ ඊනියා අන්ත වාමාංශිකයන් හා ඊනියා ප්‍රගතිශීලීන් නම් වන සංරක්ෂණවාදීන්ගෙනුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නම් වන පසුගාමී වෘත්තීය ගෝත්‍රික සංවිධානයේ විවිධ මට්ටම්වල සාමාජිකයන්ගෙනුත් බලු බැනුම් අසමින් අපි පසුගිය කාලයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වෙනුවෙන් පෙනීසිටියෙමු. එහිදී අප හඳුන්වනු ලැබුවේ සයිටම් එකට පක්ෂ පිරිස් ලෙසයි.

සයිටම් විශ්වවිද්‍යාලය යනු දේශීය ව්‍යවසායකයකු වන නෙවිල් ප්‍රනාන්දු විසින් තම අරමුදල් යොදවා කරන ලද අසාර්ථක ව්‍යාපෘතියකි. ලංකාවේ ධනපතියන්ට ලාභ ලැබීමට තිබෙන පහසුම ක්‍රමය වන්නේ මූල්‍ය සමාගමක් අටවාගෙන ව්‍යාපාරිකයන් හා මහජනතාව සූරාකෑමයි. රාජ්‍ය බැංකුවල සිට ගමේ පොළීකාරයා දක්වා පිරිස් කරන්නේ එයයි. එසේ තිබියදී නෙවිල් ප්‍රනාන්දු අතගසන්නේ අතිශය අවදානම් ආයෝජනයකටයි. එවැනි ආයෝජනයක් සාර්ථක වන්නට නම් ඔහුට රාජ්‍ය අනුග්‍රහයක් අවශ්‍යය. එසේම, මනා නියාමනයක් හා මගපෙන්වීමක් ද අවශ්‍යය. එහෙත්, අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එම නියාමනය හා මගපෙන්වීම වෙනුවට කළේ අකුල්හෙළීමයි. එහි ප්‍රතිඵලය වූයේ සයිටම් විශ්වවිද්‍යාලය ද විකාරයක් වීමයි.

ලංකාවේ ජනතාව තුළ පැලපදියම් කර තිබෙන වාමාංශික දෘෂ්ටිවාදය අනුව ව්‍යවසායකයන් කියන්නේ ලාභයම අරමුණු කරගත් දුෂ්ට බලවේගයකි. ලාභය යනු අපරාධයකි. ව්‍යවසායකයන් විනාශ කළ යුතුය. සියල්ල රජයට පවරාගත යුතුය. සියල්ල රජය විසින් කළ යුතුය. රජය පරම පිවිතුරුය. පෞද්ගලික අංශය පරම දුෂ්ටයි.

අප නම් සිතන්නේ එසේ නොවේ. පෞද්ගලික අංශයේද සිටින්නේ හොඳ නරක දෙකම ඇති සාමාන්‍ය මිනිසුන්ය. රජයේ සිටින්නේ ද එවැනිම අයයි. පෞද්ගලික ව්‍යවසායකයන් අවදානම්සහගත ආයෝජන සිදුකරන, තම ආයෝජන සාර්ථක කරගැනීම සඳහා මුළු ජීවිතයම කැපකරන, වැඩකරන පිරිසකි. සල්ලි ටිකක් වීසි කර නිකම් බලාසිටියාට ආයෝජන සාර්ථක වන්නේ නැත. ඒවා මැනැවින් කළමනාකරණය කළ යුතුය. ලාභය යනු පාපයක් නොවේ. ලාභය බොහෝවිට නැවතත් ආයෝජන බවට පත්වේ. ව්‍යවසායකයන් තම ලාභය අලුත්, අලුත් ආයෝජන සඳහා යොදවන විට ආර්ථිකය වර්ධනය වේ.

සයිටම් අරගලය යනු පෞද්ගලික අංශය වෙනුවෙන් කළ අරගලයකි. අපි එයින් පැරදුණෙමු. ඊනියා යහපාලන ආණ්ඩුව සයිටම් වසාදැමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට හා අන්ත වාමාංශිකයන්ට බියේය.

සයිටම් තිබුණත්, නැතත්, වෛද්‍ය අධ්‍යාපනය ලබාගත හැක්කේ ධනවතුන්ටය. ඒ සඳහා එක්කෝ රජයේ වෛද්‍ය පීඨයකට තේරීමට සමත් විය යුතුය. එසේ තේරෙන සාතිශය බහුතරය හොඳ රජයේ පාසල්වලට යාමට අවස්ථාව ලබාගත්, හොඳම ටියුෂන් අධ්‍යාපනය ලබාගත හැකි ධනවත් හෝ මධ්‍යම පන්තික පවුල්වල දරුවන්ය. ඉඳහිට දිළිඳු පවුල්වල දරුවන්ට ද වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවස්ථාව ලැබේ. එහෙත් ඒ අතිශය කලාතුරකිනි. ඒ සඳහා අසාමාන්‍ය දක්ෂතාවක් තිබිය යුතුය.

සයිටම් එකට විරුද්ධ වූ වෛද්‍යවරුන් වැනි ඉහළ ආදායම් සහිත, අඩුවෙන් බදුගෙවන අයට තමන්ගේ දරුවන් වෛද්‍යවරයකු කිරීමට අවශ්‍ය නම් හා ඔවුන්ට තම දරුවා රජයේ වෛද්‍ය පීඨයකට යැවීමට නොහැකි නම් ඔවුන් කරන්නේ තමන් උපයන අධිකතර ධනය භාවිතා කර තම දරුවන් රුසියාව, බෙලරස්, නේපාලය, ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටක සයිටම් එකකට යවා වෛද්‍ය උපාධිය ලබාගැනීමට සැලැස්වීමයි.

මෙතැන් සිට ව්‍යාපාරික ධම්මික පෙරේරා ලංකාදීප පුවත්පතට කරනු ලබන මෙම ප්‍රකාශය උපුටා දක්වමි. අපට වුණ වරද නිවැරදි කිරීමට ක්‍රමයක් ඔහු යෝජනා කරයි. එයටවත් රාජ්‍ය අනුග්‍රහය ලබාදී පෞද්ගලික අංශයට උපකාර කළ යුතුය. පෞද්ගලික අධ්‍යාපනය මැනවින් නියාමනය කළ යුතුය.

වසරකට මෙරට සිසුහු 25,000ක් පමණ විදෙස් රටවල අධ්‍යාපනය සඳහා පිටව යති. ඒ සිසුවකු සඳහා රටින් පිට වසරකට ඇදී යන මුදල ඇමෙරිකන් ඩොලර් 30,000කි. විසිපන්දහස තිස්දහසකින් වැඩි කළ විට ලැබෙන පිළිතුර (25,000 x 30,000) ඇමෙරිකන් ඩොලර් මිලියන 750කි. පළමු, දෙවැනි හා තෙවැනි ලෙස වසර තුනක සිසුන් විදෙස් රටවල අධ්‍යාපනය ලබන නිසා ඒ ගණන එනම් ඩොලර් මිලියන 750 තුනෙන් වැඩි කළ යුතුය. එවිට ලැබෙන පිළිතුර ඇමෙරිකන් ඩොලර් බිලියන 2.25කි. ඒ අනුව මෙරට සිසුන් 25,000ක් ඔස්සේ අවුරුද්දකදී රටින් පිටට යන මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 2.25කි. පිටරටවලට යන සිසුන් සංඛ්‍යාව තවත් ඉහළ නොයා තබා ගැනීමට සුදුසු ක්‍රමයක් ගැන දැන් මම කියමි.

එකවර සිසුන් 30,000කට අධ්‍යාපනය ලැබිය හැකි විශ්වවිද්‍යාල පහකින් (05) යුත් ගම්මානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට විනාඩි 30කින් ළඟා විය හැකි ප්‍රදේශයක රජය මගින් ඉදිකළ යුතුය.

අනතුරුව ඒ විශ්වවිද්‍යාල පහේම කළමනාකාරීත්වය ජාත්‍යන්තරව පිළිගත් හා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අතින් ඉහළින්ම තිබෙන ජාත්‍යන්තර විශ්වවිද්‍යාල පහකට පැවරිය යුතුය. එවිට විදෙස් විශ්වවිද්‍යාලවලට ඇදී යන දරුවන් පිරිස මෙරටෙහි නවතා ගත හැකිය. ඒ දරුවන්ට ඉහත කී විශ්වවිද්‍යාල පහෙන් උපාධි ලබාදිය යුතුය. එමගින් ඔවුනට ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධියක් මෙරටෙහිදීම ලබාගත හැකිය.

මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සමඟ එක්ව ඒ දරුවන්ට සහනදායී අධ්‍යාපන ණය ක්‍රමයක් හඳුන්වාදිය යුතුය. එසේම ඒ විශ්වවිද්‍යාල පහ මගින් වසරකට විදේශීය සිසුන් 25,000ක් ගෙන්වා ගත යුතුය. එසේ කිරීමෙන් අපේ ආර්ථිකයට වසරකට ඇමෙරිකන් ඩොලර් බිලියන 2.25ක ආදායමක් එක් කළ හැකිය.

මෙරට සියලු රාජ්‍ය විශ්වවිද්‍යාලවල උගන්වන තොරතුරු තාක්‍ෂණ, ඉංජිනේරු සහ පරිගණක භාෂා (Programming) පාඨමාලා ඉගැන්වීමේ කටයුතු පෞද්ගලික අංශයට ද විවර කළ යුතු බවය.

ඒ පෞද්ගලික ආයතනවල ඉගෙන ගන්නා සිසුන්ට විභාග පැවැත්විය යුත්තේ ඒ ඒ රාජ්‍ය විශ්වවිද්‍යාල මගිනි. රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් පවත්වන ඒ විභාගවලින් සමත් වන සිසුන්ට බාහිර උපාධි පිරිනැමිය යුතුය. එමගින් ඉදිරි වසර පහේදී සිසුන් ලක්‍ෂ දෙකකට තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රයේ රැකියා ලබා ගැනීමට හැකිවෙයි. ඒ පාඨමාලා හැදෑරූ සිසුන් සොයන සමාගම් ලෝකයේ ඕනෑ තරම් තිබේ. එහෙත් ප්‍රශ්නයකට තිබෙන්නේ ඔවුනට අවශ්‍ය ශ්‍රමිකයන් නැතිකමය. ඉහත ක්‍රමයට අප ඒ ශ්‍රමිකයන් බිහි කළොත් ඔවුන්ට තොරතුරු තාක්‍ෂණ සමාගම්වල රැකියා ලබාගත හැකිය. ඒ රැකියා මෙරටදීම කළ හැකිය. එහෙත් එමගින් වසරකට ඇමෙරිකන් ඩොලර් බිලියන දෙකක ආදායමක් ජාතික ආර්ථිකයට එක් කළ හැකිය. දැනට එවැනි රැකියා කරන්නේ ලක්‍ෂයකි. ඔවුන් උපයන මුදල ඇමෙරිකන් ඩොලර් බිලියනයකි. මා කියන්නේ එයට තවත් ඩොලර් බිලියන දෙකක් එකතු කරන ක්‍රමයකි.

1 thought on “සයිටම් හා ධම්මික පෙරේරා

  1. මෙයට එකතු විය යුතු තවත් තර්කයක් තිබේ. එනම් උසස් පෙළ ඉහල සුදුසුකම් ලැබූ එහෙත් පෞද්ගලික අධ්‍යාපනයට වත්කම් නැති අය එළියේ සිටියදී මුදල් ඇති එහෙත් අඩු සුදුසුකම් ඇති අය වෛද්‍යවරුන් වන බවයි. ඒ පිළිබඳව ද අදහසක් මෙයට එකතු කරන්නේ නම් සුදුසු ය.

Leave a Reply to Mahinda Abeysinghe Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: